Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වඳුරු ගෙවල්, දෙමලිච්චි කුඩූ සහ දැක්මක් හා ආශාවක් ඇති බලවේගයක් – රජිත් කීර්ති තෙන්නකෝන්

මාස තුනකට ආසන්න කාලයක් මම වත්තට වෙලා, වගා කළෙමි. ගහ කොළ සතා සිව්පාවා සමඟ ගනුදෙනු කළෙමි. ස්වභාව ධර්මයේ රටා විදන්නෙමි.

දෙමළිච්චියෝ ගෙවල් හදන හැටි දන්නවාද?

දෙමළිච්චියෝ ඉන්නේ පහක් හයක් රංචු විදිහට. උන් කුඩුවක්, ගෙයක් හදන්න ඕනි වුනාම රංචුවම කණ්ඩායම් විදිහට එකතුවෙලා ඉස්සරවෙලා එක ගෙයක් හදනවා. කණ්ඩායම් වැඩ නිසා කුඩුව ඉක්මනට හැදෙනවා. කණ්ඩායම තවත් කෙනෙකුට අර විදිහටම, කුඩුවක් හදන්න පටන් ගින්නවා.

ඉස්සර අපේ රටේ මිනිසු මිනිස්සු ගෙවල් හැදුවෙත් දෙමළිච්චෝ වගේ, කණ්ඩායමක් විදිහට එකතුවෙලා.

තනි තනියෙන් ගෙවල් හදන්න ලේසි නෑ. අපිට කණ්ඩායම් විදිහට ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන් නම් ඉතා ඉක්මනට රටේ ප්‍රශ්න ගැටළුවලට උත්තර හොයා ගන්න පුළුවන්.

දෙමළිච්චෝ වගේ එකට එකතුවෙලා ගෙවල් හදන ක්‍රමයක් අපට අවශ්‍යයි. ප්‍රශ්නවලට, අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් සමාජයක්, කණ්ඩයමක්, අපට අවශ්‍යයි. එවන් කණ්ඩායමක සමාජිකයින්වීමට බොහෝ දෙනා බලාගෙන ඉන්නවා.

වැස්සට වඳුරෝ ගෙවල් හදනවා වගේ කියලා කතාවක් තියෙනවා. අද රටේම තියෙන්නේ වැස්සට වදුරු ගෙවල් හදනවා වගේ වැඩ. අපි නැවතත් දෙමළිච්චෝ වගේ එක්ව අපේ ප්‍රශ්නවලට උත්තර හොයන්න පටන් ගත යුතුව තිබෙනවා.

අනාගතයක් නැද්ද?

මීට කාලෙකට ඉස්සර පාකිස්ථානයත් අද ලංකාව වගේ දේශපාලන, ආර්ථික අස්ථාවර රටක් බවට පත් වුණා. බෙනාසීර් භූතෝ – නවාස් ෂෙරීෆ් වගේ දැවැන්ත චරිත එක්කම ඒ පක්ෂ දුර්වල වුණා.

දැක්මක් (vision) හා ආශාවක් (Passion) සහිත දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දුන්නු ඉම්රාන් ඛාන් ක්‍රමයෙන් 2017 – 2018 දී ඉහළට මතුවෙලා එනවා. අවසානයේ පාකිස්ථානයේ රාජ්‍ය බලය ලබා ගන්නවා.

අද ලංකාවේ දේශපාලන බලවේග සියල්ලම පාහේ දැක්මක් (vision) හා ආශාවක් (Passion) සහිත කණ්ඩායම් නොවෙයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රා දේශීය සභා මන්ත්‍රීවරු, හිටපු පලාත් සභා මන්ත්‍රීවරු විතරක් නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ඉන්නේ දැඩි කළකිරීමකින්. ඔවුන්ට මේ සිදුවන දේ යහපත් නොවන බව වැටහෙනවා. ආණ්ඩුව වෙනුවෙන් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ පිරිස් අපහාස – උපහාස මැද දැවැන්ත කඩාවැටීමකට ලක්වී තිබෙනවා.

විපක්ෂය – ඇත්තටම රටේ විකල්ප ආණ්ඩුවක් තියෙනවා ද කියන ප්‍රශ්නය මතුවෙනවා. උතුරේ දෙමළ කණ්ඩායම්, නැගෙනහිර මුස්ලිම් කණ්ඩායම්, වතුකරයේ බලවේග කෑගල්ලේ පැණි අධි මාත්‍රාෙවන් ගහලා මත් වෙලා වගේ ඉන්නවා නේද? මේක සෑම දේශපාලන පක්ෂයකටම එල්ල වෙන පොදු චෝදනාවක්.

සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය බිංදුවට වැටිලා තියෙන යුගයක් මේක.

රටේ පොහොර නෑ. ගොවියාට මිලක් නෑ. පාරිභෝගිකයාට කන්න නෑ. හැබැයි මේ ගැන කවුරුත් කතා කරන්නේ නෑ. පරිසර විනාශය, සම්පත් විකුණා දැමීම එහෙමයි. රට බලාගෙන ඉදිද්දී මංකොල්ල කනවා. කවුරුවත් සංවිධානාත්මකව කටයුතු කරන්නේ නෑ නේද?

සීනි වංචාව, බැදුම්කර වංචාව තරමට වඩා විශාලයි. පොල් තෙල් වංචාව යහපාලන ආණ්ඩුවේ ගම්මිරිස් ජාවාරමට වැඩි විනාශයක් සිද්ධ කරලා තියෙනවා. විදුලිබල කේෂ්ත්‍රයේ ගල්අඟුරු – ඩීසල් මාෆියාව ගැන කවුරුත් අද කතා කරන්නේ නෑ. යහපාලන ආණ්ඩුව කාළේ දී කතා කළ ‘දුෂණ විරෝධය‘ අද වියැකී ගිහින්.

දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා. ඩොලරයක විකුණුම් මිල රු. 198.40 යි. කවුරුවත් ඒ ගැන වද වෙන බවක් පෙනෙන්නේ නෑ.

මේ අර්බුදය ජයගන්න නම් අපි දෙමළිච්චෝ ගෙවල් හදනවා වගේ, එකමුතුව එකාවන්ව අපේ ප්‍රශ්නවලට උත්තර සොයන්න පටන් ගන්න ඕනි.

පවුල් උරුමය, අහඹු වාසානාව සහිත පිරිසකට රටට සිදු කළ හැකි ව්‍යවසනය අපි අත්දකිමින් සිටිමු. මේ අවසනාව, ව්‍යවසනය වෙනස් කළ හැක්කේ පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට නොවේ.

දැක්මක් හා ආශාවක් ඇති බලවේගයකට පමණී. Movement with Vision and Passion!

එවන් බලවේගයක් ඉබේ ඇතිවන්නේ නෑ. ගහක මලක් ඉබේ පිපෙන්නේ නෑ. ගහට ඕනෑ වෙළාවට ගහ ම මලක් පුබුද්දවා ගන්නවා.

© රජිත් කීර්ති තෙන්නකෝන්

About The Author