Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලුකෂෙන්කෝගේ ගෑනු දඩයම

පසුගිය දිනෙක බෙලාරුසියාවේ පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් සුපුරුදු පරිදි ජය ගත්තේ ලුකෂෙන්කෝ ය. වසර 26ක් තිස්සේ බෙලාරුස් රජය පාලනය කරමින් සිටින ඔහු ගෙවී ගිය අගෝස්තු 9 වන දා ද ජය වාර්තා කිරීම නියත වශයෙන් ම වංචනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව එරට වැසියන්ගෙන් සියයට අනූවකගේ ම විශ්වාසය යි. එහෙයින් එදින පටන් අද දක්වා ම සෑම සති අන්තයක ම ජනතාව වීදි බසිමින් ලුකෂෙන්කෝගේ ඒකාධිපතිවාදයට විරුද්ධ ව උද්ඝෝෂණයේ යෙදෙමින් සිටිති. 

පසුගිය සෙනසුරාදා පැවැති උද්ඝෝෂණයට නායකත්වය ලබා දුන්නේ කාන්තාවන් තිදෙනෙකි. ඒ, “මාරියා කොලෙස්නිකෝවා”, “ස්වෙට්ලානා ටිඛනොව්ස්කායා” සහ “වෙරෝනිකා ට්සෙප්කාලෝ” ය. එම උද්ඝෝෂණය සඳහා කාන්තාවන් පමණක් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී ඇති බව පෙනේ. එහෙත් මඳ වේලාවකට පසු එම ස්ථානය වෙත පැමිණි බෙලාරුස් පොලිසිය, එක් එක් කාන්තාව සිය අත්අඩංගුවට ගැනීමට පටන් ගත්හ. සැලකිය යුතු වේලාවකට පසු අවධානයෙන් බැලීමේ දී උද්ඝෝෂණයට සහභාගී වූ කතුන් අතරින් තුන්සියයකට අධික සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවේ පසු වන බව පෙනිණි. ඒ අතරින් වඩාත් කැපී පෙනුණේ 73 හැවිරිදි වියේ පසු වන මහලු කාන්තාවක වූ “නීනා බහින්ස්කායා” ය. මේ වන විට ඇය එම සිද්ධියේ ජනප්‍රියතම වීරවරිය බවට පත් ව තිබේ. 

මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කළ ජනතාව ” කාන්තාවන්ට පහර දෙන්නේ බයගුල්ලෝ” යනුවෙන් කෑ ගැසූහ. එහෙත් ඉන් පලක් වූ බවක් නොපෙනේ. උද්ඝෝෂකයින්ගේ ආදර්ශ පාඨය වන “හුස්ම ගැනීමේ නිදහස” යන්න පවා මෙම සිදුවීම හේතුවෙන් විහිළුවට ලක් වී තිබේ. පොලිසිය විරෝධතාකරුවන් බොහෝ දෙනෙකු රඳවාගෙන සිටි අතර ඔවුන්ට එම සිර කාමරවලින් එළියට විත් වෑන් රථවලින් පැන ගොස් සමහර කාන්තාවන් නිදහස් කර යැවීමට සිදු වූ බව ඒ. එෆ්. පී. ප්‍රවෘත්ති සේවය පවසයි. බහින්ස්කායා මහත්මිය ද පොලිසිය විසින් රැගෙන ගොස් ටික වේලාවකට පසුව නිදහස් කළ බව එහි වාර්තා විය.

නායිකාවන් අතරින් මාරියා, රටින් පිටුවහල් කර යැවීමට එරට රජය ගත් උත්සාහය වැරදී තිබේ. එසේ පිටුවහල් කිරීමට තීරණය කළ පසු ඇය මැදිහත් වෙමින් රජයේ නිළධාරීන් විසින් සිය ගමන් බලපත්‍රය ඉරා දැමූ වගට චෝදනා කළා ය. එමඟින් අධිකරණය ලබා දුන් පිටුවහල් තීරණය කණපිට පෙරළිණි. විපක්ෂයේ අපේක්ෂිකාව ලෙස ලූකෂෙන්කෝ මහතාට එරෙහිව නැගී සිටි ටිඛනොව්ස්කායා කියා සිටියේ තමන් මැතිවරණය ජයග්‍රහණය කළ නමුත් ටික දිනකට පසු ඇයට ලිතුවේනියාවට පලා යාමට රජයෙන් බල කළ බව ය. ඇය නුදුරු දිනෙක ම බ්‍රසල්ස්හි යුරෝපා සංගමයේ විදේශ ඇමතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානියා හමුවීමට නියමිතය.

අනිසි අන්දමින් විරෝධතා මර්දනය කිරීම හේතුවෙන් යුරෝපා සංගමය ලුකාෂෙන්කෝගේ රජයට එරෙහි ව නව සම්බාධක පැනවීම පිළිබඳ සලකා බලමින් සිටියි. එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු “ඇනස් මැරින්”ට අනුව සාමකාමී විරෝධතාකරුවන් 10,000කට වැඩි පිරිසක් අපයෝජනයට ලක් කොට අත්අඩංගුවට ගෙන ඇති අතර රාජ්‍ය නියෝජිතයින් විසින් සිදුකරන ලද වධහිංසා පැමිණවීම් 500 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. මෙම පෙළපාලිවලට විදේශීය බලවතුන්ගේ සහාය ද ලැබෙමින් පවතී. ඒ අතර ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීම සඳහා තමා ඉදිරිපත් වී ඇති නමුත් ඔවුන් අණ කරන පරිදි ඉල්ලා අස්වීම භාර දීම තමා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ලූකෂෙන්කෝ මහතා පවසයි. මේ මස මුල දී ඔහු රුසියාවෙන් ඩොලර් බිලියන 1.5(ඩොලර් බිලියන 1.2)ක ණයක් ද ලබා ගෙන තිබෙන්නේ සිය රටෙහි ඇති මෙම ගැටලුව විසඳා ගැනීමට මුදල් අවැසි බව පවසමිනි.

ශ්‍රීනි ලංකා ජයකොඩි