Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සිරියාව කාගේ ද?

රුසියාවත් ඇමරිකාවත් සිරියාව බෙදා ගැනීමට නොහැකි ව ගැටුම් ඇති කර ගනිමින් සිටින බව පෙනේ. වසර ගණනාවක් තිස්සේ සිරියානු රාජ්‍යය තුළ එක්සත් ජනපදය හා රුසියානු හමුදා අතර නිරන්තර ගැටීම් පැවතිණි. එහෙත් මෑත සතිවල දී, ඊසානදිග සිරියාවේ මෙම ගැටලුව වඩ වඩාත් සටන්කාමී මුහුණුවරක් ගෙන තිබේ. අගෝස්තු මස අවසාන භාගයේ දී පමණ රුසියානු වාහනයක ගැටීමෙන් ඇමරිකානු සොල්දාදුවන් හත් දෙනෙක් තුවාල ලැබූහ. මෙම හදිසි අනතුර සම්බන්ධයෙන් රුසියානු සහ ඇමරිකා එක්සත් ජනපද රජයන් එකිනෙකාට දොස් පවරා ගත් අතර එය රූගත කර ට්විටර් වෙබ් අඩවියේ පවා පළ කරන ලදී. එක්සත් ජනපදය කියා සිටියේ රුසියානු හමුදා සිය ආරක්ෂක කලාපයකට ඇතුළු වී ඇති බවයි. එහෙත් රුසියාව කියා සිටියේ තමන් එහි මුර සංචාරයේ යෙදෙන බවට එක්සත් ජනපද හමුදාවට පූර්ව අනතුරු ඇඟවීමක් කර ඇති බවයි. 

මේ වන විට දෙපාර්ශවය අතර ගැටුම වඩාත් උත්සන්න වී ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය සිරියාව වෙත වැඩි වැඩියෙන් යුධ ආධාර ගෙන්වා ගනිමින් පවතී. එක්සත් ජනපද නිලධාරීන් පැවසුවේ “බ්‍රැඩ්ලි” සටන් වාහන 6 ක් සහ භටයන් 100ක් පමණ ඊසානදිග සිරියාවට යෙදවීමේ සැලැස්මක් තමන්ට ඇති බවයි. එක්සත් ජනපද නාවික හමුදා කපිතාන්වරයෙකු වන “බිල් අර්බන්” කියා සිටියේ මෙම පියවර සිය හමුදාවේ ආරක්ෂාව සහතික කරනු ඇති බවයි. පෙර කී සටන් වාහනවලට අමතරව එක්සත් ජනපදය විසින් “සෙන්ටිනල් රේඩාර් යන්ත්‍රයක්” ද යොදවා ඇති අතර එමඟින් එක්සත් ජනපද හමුදාවන්ට වඩා එක්සත් ජනපද ප්‍රහාරක මුර සංචාරයේ වාර ගණන වැඩි කරන බව ඔහු පැවසීය. ඇමරිකා එක්සත් ජනපදය සිරියාව හෝ වෙනත් කිසිදු රටක් සමඟ ගැටුම් ඇති කර ගැනීමට අපේක්ෂා නොකරන බවත්, එනමුදු අවශ්‍ය වුවහොත් සිය හමුදා ආරක්ෂා කර ගැනීම පිණිස ඕනෑම පියවරක් ගනු ඇති බවත් එක්සත් ජනපද මධ්‍යම අණදෙන ප්‍රකාශකවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

“ඉස්ලාමීය රාජ්‍ය” හෙවත් අයි. එස්. ජිහාඩ්වාදීන්ගේ තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සතුව හමුදා භටයෝ 500ක් පමණ සිටිති. රුසියානුවන් සිරියානු රජයේ හමුදාවන්ට සහාය ලබා දෙන අතර ඇමරිකානුවන් දේශීය කුර්දි සටන්කරුවන් හට සහාය දක්වයි. එය 2011 සිට රට අවුල් කළ සිවිල් යුද්ධයේ එක් කොටසකි. එහෙයින් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ හමුදාවන්ට සහාය දෙන රුසියාව, ඇමරිකා එක්සත් ජනපද හමුදාව රට තුළ සිටීම පිළිබඳ දිගු කලක් තිස්සේ සිය විරෝධතාව දැක්වීය. හේතුව කුමක්දැයි නොදන්නා නමුත් 2019 ඔක්තෝම්බර් මාසයේ දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කුර්දි නායකත්වයෙන් යුත් සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදා (එස්. ඩී. එෆ්.) සන්ධානයට සහය දක්වමින් ක්‍රියාත්මක වූ එක්සත් ජනපද හමුදා භටයින් 1,000ක් ඉවත් කර ගැනීමට තීරණය කළේය. මාස ගණනාවකට පසු ට්‍රම්ප් කියා සිටියේ තෙල් ළිං ආරක්ෂා කිරීම සඳහා පමණක් සිය හමුදා භටයින් සිය දෙනෙකු පමණ රට තුළ නවතා තැබීමට තමන් තීරණය කළ බවයි. අන් රටකට අයත් තෙල් ටැංකි ආරක්ෂා කිරීමේ වගකීම ඇමරිකානු ජනාධිපති හට ලබා දුන්නේ කවුරුන්ද යන වග සොයා බැලීම වටී. 

ශ්‍රීනි ලංකා ජයකොඩි