Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රුසියාවේ තෙල් කාන්දුවක්.

රුසියාවේ තෙල් කාන්දුවක්.

රුසියාවේ මෑත ඉතිහාසයේ සිදු වූ දෙ වන විශාලතම අනතුර හේතුවෙන් මේ වන විට එරට බරපතල පාරිසරික ගැටලුවකට මුහුණ පා තිබේ. භූගත තෙල් ටැංකි කිහිපයක සිදු වූ කාන්දුවක් හේතුවෙන් ඩීසල් ටොන් 20,000ක් පරිසරයට එකතු වී ඇත. එමඟින් වර්ග කිලෝමීටර 350ක පමණ ප්‍රදේශයක් විනාශ මුඛයට පැමිණ තිබෙන අතර එරට ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මෙම ව්‍යසනය හේතුවෙන් බොහෝ කෝප වී තිබෙන බව පෙනේ. එලෙස ම මේ වන විට ඔහු එම ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කොට තිබේ.

“නොරිල්ස්ක් නිකල්” ආයතනයට අයත් බලාගාරයක සිදු වී ඇති මෙම තෙල් කාන්දුවෙන් වැඩි වශයෙන් හානියට පත්ව තිබෙන්නේ “අම්බර්නයා” ගංගාව හා ඒ ආශ්‍රිත ප්‍රදේශය යි. ගංගාව දිගේ කිලෝමීටර 12ක පමණ ප්‍රමාණයක් තද රතු පැහැයට හැරී ඇති බව වාර්තා වෙයි. කෝපයට පත් ජනාධිපතිවරයා වෙත නිදහසට කරුණු දක්වමින් එම ආයතනය පවසන්නේ මෙයට හේතුව ස්වභාවික විපතක් බව යි. එනම්, පොළොව අභ්‍යන්තරයේ තැන්පත් ව තිබෙන ස්ථිර හිම දිය වී යාමෙන් පොළොව හදිසියේ ගිලා බැසීම ය.

කාරණාව සත්‍ය වුවත් ප්‍රසිද්ධියේ ආයතනය විවේචනය කළ ජනාධිපතිවරයා, කාන්දුව සිදු වී දින දෙකක් ගත වන තුරුත් ඒ පිළිබඳ රජයට දැනුම් නොදී සිටීම බරපතල වරදක් බවට චෝදනා කළේ ය. මන්දයත් සමාජ මාධ්‍ය මේ පිළිබඳ හෙළි කරන තුරු අමාත්‍යංශය කිසිවක් දැන නොසිටි හෙයිනි. “මං රටේ වෙන දේවල් දැන ගන්න ඕනෙ සෝශල් මීඩියාවලින්ද?” යි අසමින් කෝප ගත් පුටින්, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ ආයතන ප්‍රධානියා අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වුවත් මෙම වරද නිවැරදි කිරීම වෙනුවෙන් රූබල් බිලියන 100ක් වත් වැය වන්නා සේ ම වසර දහයක් පමණ ගත වනු ද ඇත.