Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සහ ජනපති අතර අමුතු බැදීමක් තිබුණා ? – හේමසිරි නැවත ගැලරිය උණුසුම් කරයි

පෙර දැනුවත් කිරීම් කර තිබියදීත්, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට නොහැකිවීමේ වරදකරු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ අද (21) පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පස්වන දිනටත් සාක්ෂි ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

කොමිසම හමුවේ සාක්ෂිදෙමින් ඔහු කියා සිටියේ  බුද්ධි තොරතුරු විධිමත්ව ඉදිරිපත් නොකිරීම සහ ඒ පිළිබඳ වගකිවයුතු නිලධාරින් නිසි ලෙස දැනුවත් නොකිරීමට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා වරදකරු බවය.

එසේම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවතියේ පිය – පුතු සම්බන්ධතාවයකටත්, එහා ගිය බැඳීමක් බව හිටපු ආරක්ෂක ලේකම්වරයා අද හෙළිදරව් කළේය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියේ සහරාන් හෂීම් සමාජ ජාලා ඔස්සේ අන්තවාදය පතුරුවා හරිනවා යැයි රාජ්‍ය බුද්ධි සේවය ඔබට වාර්තා කර තිබුණේද යන්නය.

එයට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ සහරාන් හෂීම් සමාජ ජාලා ඔස්සේ අන්තවාදය පතුරුවනවා යැයි රාජ්‍ය බුද්ධි සේවය විසින් තොරතුරු වාර්තා කර තිබුණද, ඒවා විශ්ලේෂණාත්මකව සකස් කර තිබු බුද්ධි තොරතුරු නොවු බවය.

නිවැරදි විශ්ලේෂණාත්මකව තොරතුරු ඉදිරිපත් නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරින්ට ක්‍රියාත්මක විය නොහැකි බව, පැවසු හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ ලේකම්වරයෙකු ලෙස තමන් සිය වගකිම් නිසි පරිදි ඉටුකළ බවය.

“එක ඔබතුමා කියන දේනේ. නමුත් පෙරහැර හොඳට පේන්නේ පෙරහැරේ යන අයට නෙමේ බලාගෙන ඉන්න අයටනේ ” යනුවෙන්  එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය.

“ස්වාමිනි, මා මේ ප්‍රහාරයට වගකිවයුතුයි කියලා කොමිසම පුර්ව නිගමනයකට ඇවිල්ලාද මගෙන් සාක්ෂි විමසීම සිදුකරන්නේ. මට හැගෙන්නේ එහෙමයි. මම අනිත් සාක්ෂි විමසීම් බලන් හිටියා. ඒවා එහෙම නැහැ,” යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ ප්‍රශ්න කළේය.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළකළ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා, “කොමිසම කිසිදු සාක්ෂිකරුවෙක් සම්බන්ධයෙන් එහෙම නිගමනයකට ඇවිල්ලා නැහැ. ඒ නිසයි ඔබ වෙනුවෙන් නීතිඥ නියෝජනයකට සහ හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව දිලා තියෙන්නේ. සියලු සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විමසීම අවසාන වීමෙන් පසුවයි කොමිසම නිගමනවලට එළඹෙන්නේ,” යනුවෙන් එම විමසීමට පිළිතුරු ලබාදුනි.

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීමේ සිදුවීම සහ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම වැනි සිදුවීම් කෙරෙහි පරීක්ෂණ මෙහෙයවු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි විමර්ශන අංශ වලින් ඔබ වැඩිදුර වාර්තා කැඳවීමට පියවර ගත්තේද යන්නයි.

එයට පිළිතුරු දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ, “ස්වාමිනි මම වාර්තා කැඳවන්න ඕනේ නැහැ. විමර්ශකයින් වාර්තා ඉදිරිපත් කිරීමට බැඳිලා ඉන්නවා. විදේශ බුද්ධි අංශයකින් ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු ලැබෙනකන් මෙරට ප්‍රධාන බුද්ධි තොරතුරු රැස්කිරීමේ ආයතනය වු ‍රාජ්‍ය බුද්ධි සේවය ප්‍රහාරයක් පිළිබද අනතුරු අඟවා තිබුනේ නැහැ. ඒ වගේම 04 වැනිදා ලද විදෙස් බුද්ධි තොරතුර සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන මහතාටත් අවිනිශ්චිතතාවයක් තියෙන්න ඇති”.

“බෝම්බය පුපුරන කල් රාජ්‍ය බුද්ධි සේවය එම විදෙස් බුද්ධි තොරතුර සනාථ කර තිබුණේ නැහැ. “

මෙහිදි ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ඔබට දිය යුත්තේ බුද්ධි තොරතුරු නොවේද යන්නයි.

“ඔව් ස්වාමිනි දියයුත්තේ විශ්ලේෂණාත්මකව බුද්ධි තොරතුරු පමණක්. නමුත් මට එවපු ගොඩාක් වාර්තා තොරතුරු පමණයි. අනික ලිපි නිකන් යොමු කරලා වැඩක් නැහැ. එක තැපැල් ස්ථානාධිපතිවරයෙකුගේ කාර්යය. රාජ්‍ය බුද්ධි සේවය වුණාම බුද්ධි තොරතුරු ඉදිරිපත් කරලා එම තොරතුරුවලට අදාළව නිර්දේශ ඉදිරිපත් කරන්නත් ඕනේ,” යනුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිතුරු දුනි.

මෙහිදී ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ඔබ පවසන ලෙස ප්‍රහාරය වළක්වා නොගැනීමේ වරද කාගෙද යන්නය.

එයට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ, “විධිමත්ව බුද්ධි තොරතුරු ඉදිරිපත් නොකිරීම, ඒ පිළිබඳ නිසිලෙස වගකිවයුතු නිලධාරින් දැනුවත් නොකිරීම නිසා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වරදකරු ” වන බවය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ, “අප්‍රේල් 21 හෝ ඊට පෙර ප්‍රහාරයක් එල්ල විය හැකියැයි අප්‍රේල් මස 20 වන දින රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ඔබ දැනුවත් කළේද යන්නය”.

“ඔව් මට Whatsapp පණිවුඩයක් යොමුකර තිබුණා. මගේ වයසේ හැටියට මම Whatsapp, Facebook වගේ දෙවල් වල පණිවුඩ කියවන්නේ නැහැ. ඒ තොරතුර ඔච්චර වැදගත් කරලා සැලකුවා නම් නිලන්තට Whatsapp නොකර පණිවුඩකරුවෙක් මාර්ගයෙන් යොමු කරන්න තිබ්බා. මොකද නිලන්තගෙයි, මගෙයි ගෙවල් අතර තියෙන්නේ කිලෝමීටර් 02ක පමණ දුරක්. කොහොමහරි නිලන්ත මට Call කරලා කිව්වා, සර් Whatsapp පණිවුඩයක් එව්වා බලන්න කියලා. ඊට පස්සේ මම පණිවුඩය බැලුවා. පස්සේ මම නිලන්තගෙන් ඇහුවා නිලන්ත දැන් මේකට මොකද කරන්න ඕනේ කියලා. නිලන්ත මට කිව්වා, “සර් මම පොලිස්පතිට කිව්වා. සර්ත් පොලිස්පතිට කියන්න කියලා. පස්සේ මම පොලිස්පතිවරයාට කතා කරලා ඇහුවා නිලන්ත පණිවුඩයක් දුන්නද කියලා. ඔව් සර් මම මේ පහළ නිලධාරින්ට කතා කරමින් ඉන්නේ. අන්තීම මොහොතේ මට කරන්න පුළුවන් මෙච්චරයි කියලා පොලිස්පති පූජිත් ජයසුන්දර මට පිළිතුරු දුන්නා,” යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීය.

ඔහු වැඩිදුරටත් කොමිසම හමුවේ කියා සිටියේ, “ආරක්ෂක ලේකම් ලෙස මම මගේ වැඩේ කළා. පොලිස්පතිවරයා ඔහුගේ වැඩේ කළා. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බෝම්බයක් බැඳගත්තට පස්සේ එක පිපිරවීම නැවැත්වීම ඉතාම අසීරු කටයුත්තක්. සහරාන්ව අල්ලන්න තිබ්බේ අවුරුද්දකට කළින්. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහරාන් පස්සේ යමින් හිටියේ. නමුත් ඒක නැවැත්තුවා. ඒ ගැන වැඩි විස්තර පොලිස්පතිවරයා සාක්ෂි ලබාදෙද්දි කියයි. සහරාන් ඇල්ලීම මගේ වැඩක් නෙමේ. බුද්ධි තොරතුරු සම්බන්ධයෙනුත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට මට උපදෙස් දෙන්න බැහැ. ඔහුට සෘජුව උපදෙස් දෙන්න පුළුවන් ජනාධිපතිවරයාට පමණයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අතර තිබුනේ පිය – පුතු සම්බන්ධතාවයකටත් එහා ගිය බැදීමක්. මට ඒ සම්බන්ධයට බලපෑම් කිරීමේ හැකියාවක් තිබුනේ නැහැ,” යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

මුලාශ්‍රය – අද දෙරණ

About The Author