Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රනිල්,අනුර,ෆොන්සේකා,පාඨලී ඇතුළු රැසකට ප්‍රජා අයිතියත් අහිමිවන ලකුණු

යහපාලන රජය සමයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් විසිදෙදෙනකුට වැඩි පිරිසකට නියමිත දඬුවම් ලබාදීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබෙනවා.

2015 වසරේ බලයට පත් යහපාලන රජය විසින් ඊට පෙර බලයේ සිටි රාජපක්ෂ පාලනයට සම්බන්ධ දේශපාලකයින් සහ නිලධාරීන් සම්බන්ධයෙන් සිදු කරන ලද ඇතැම් නීතිමය කටයුතු හරහා දේශපාලන පලිගැනීමක් සිදුව තිබේ දැයි සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කොමිසමක් පත් කල අතර එහි අවසන් වාර්තාව පසුගියදා එළිදක්වා තිබෙන්නේ චෝදනා ලැබුවන් බොහෝදෙනෙකු නිදොස්කොට නිදහස් කරමින් සහ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල නිලධාරීන් හා දේශපාලන නායකයින් වරදකරුවන් බවට පත් කරමින්.

අදාළ දූෂණ විරෝධී කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තබූ අතර, හිටපු ඇමැතිවරුන් වන මංගල සමරවීර, චම්පික රණවක, රාවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක යන අයද කමිටුවේ සාමාජිකයෝ වෙති. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම,නීතිඥ ජේ.සී.වැලිඅමුණ, ආනන්ද විජයපාල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, පී. ප්‍රේමශාන්ත, නිහාල් අමරසිරි, සුජාතා කුමාරි, අයි. වීරරත්න, තුසිත් මුදලිගේ, ලාල් නානායක්කාර, අනුෂ කුමාරස්වාමි, දිනේෂ් පෙරේරා, හිටපු අගමැති ලේකම් සමන් ඒකනායක සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කර තිබෙනවා.

වගඋත්තකරුවන් අතර සිටින රාජ්‍ය සේවකයන් දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය යන නිල නොවන සංවිධානයේ සේවය කිරීමෙන් හෝ සේවයට යෙදවීමෙන් අල්ලස් පනතේ දූෂණය නමැති වරද කර ඇති බව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙයි.

ඔවුන් රජයේ මුදල් වැටුප් ලබමින් සාපරාධී සාවද්‍ය පරිහරණයක්ද සිදුකර ඇති බවද අදාළ වාර්තාවේ දැක්වෙනවා.

එම රාජ්‍ය නිලධාරීන් අතරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානි ශානි අබේසේකර මහතාගේ නම ද ඇතුළත් කර තිබෙනවා.

අගමැති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයෙන් රුපියල් මිලියන 3371ක මුදලක් වියදම් සඳහා ලබාගෙන තිබෙනවා.

පොදු දේපළ පනත යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ දඬුවම් ලැබිය යුතු සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද එමගින් කර ඇති බව කොමිෂන් සභාව නිර්දේශ කර ඇත. රාජ්‍ය නොවන සංවිධානයක් වන දූෂණ මර්දන කමිටුවේ රැස්වීම් පැවැත්වීම සඳහා රාජ්‍ය ආයතනයක් වන අරලියගහ මන්දිරය පාවිච්චි කිරීමෙන් පොදු දේපළ අවභාවිත කර ඇති බවද කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.

ඒ අනුව එම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබෙනවා.

ඒ, අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකොන් ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එහි සෙසු සාමාජිකයින් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ, අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ යන මහත්ම මහත්මීන් ය.

2015 ජනවාරි මස 08 වන දින සිට 2019 නොවැම්බර් 16 වන දින දක්වා කාලය තුළ දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පසුගියදා ජනාධිපතිවරයා අතට පත්වීමෙන් පසු එම වාර්තාවේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණේ එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබා ගැනීම සඳහායි.

ඒ අනුව එයට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිවීමෙන් පසු අදාළ වාර්තාවට අනුව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම මෙම තීරණයේ අරමුණයි.

ඒ අනුව, මාස 03 ක් ඇතුළත විමර්ශන සිදුකර අවශ්‍ය නිගමනයන් හා නිර්දේශවලට අනුව ලබාදෙන දඬුවම් දක්වමින් අවසන් වාර්තාව හෝ අතුරු වාර්තාව තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට නියෝග කර තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ අනුව වගඋත්තරකරුවන්ට

01.ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ලබාදී ඇති දිවුරුම කඩ කරමින් එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන උල්ලංඝණය කිරීම

02. බලය අනිසි ලෙස පරිහරණය කිරීම හෝ බලය අයථා පරිදි පාවිච්චි කිරිම, මැදිහත්වීම, වංචා කිරීම, දූෂණය, සාපරාධි සාවද්‍ය පරිහරණය , සාපරාධි විශ්වාසය කඩ කිරීම හෝ ඥාති සංග්‍රහය

03 යම් තැනැත්තෙකුගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම

04 යම් තැනැත්තෙකුගේ යම් පත්වීමක් දීමේදී හෝ මාරු කිරීමකදී , යම් උසස්වීමක් දීමේදී , සේවය අවසන් කිරීමේදී හෝ යම් අක්‍රමිකතාවක් , යම් ලිඛිත නීතියක් උල්ලංඝණය කිරීම සිදුකර තිබේ ද යන්න උක්ත වගඋත්තරකරුවන් එසේ වගකිවයුතු වන්නේ කොතරම් දුරකටද යන්න වග තවදුරටත් විමර්ශනය කර වාර්තා කිරීම ද මෙම කොමිසන් සභාවට පැවරෙන බවයි

ඊට අමතරව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභා පනතේ 8වන වගන්තියේ විධි විධාන ප්‍රකාරව එම වාර්තාව අනුව යම් තැතැන්තෙකු ප්‍රජා අශක්නුතාවකට යටත් කළයුතු බැවින් එකී නිර්දේශ කිරීම පිණිස ද මෙම කොමිසන් සභාවට බලය පැවරෙන බව අදාළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් ය.

ඒ අනුව මෙම ජනාධිපති කොමිසම හරහා චෝදනා එල්ලවී සිටින හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක,ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා,පාඨලී චම්පික රණවක ඇතුළු දේශපාලන නායකයින් රැසකගේ ප්‍රජා අයිතිය සම්බන්ධයෙන් බරපතල තත්වයක් නිර්මාණය වීමේ අවදානමක් මතුව තිබෙන්නේ ඔවුන් මේ වන විටත් දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයාබැලීමට පත්කළ කොමිසමට අනුව ප්‍රධාන වග උත්තරකරුවන් ලෙස නම් කර තිබීම හේතුවෙන්.

About The Author