Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රථවාහන රැසක ඉන්ධන කාර්යක්ෂමතාවය වේගයෙන් පහලට : බාල ඉන්ධන ගෙන්වන බවට චෝදනා

ඔක්ටේන් අගය අඩු කරලා

තත්ත්වයෙන් බාල කිරීම හේතුවෙන් ගෑස් සිලින්ඩර පුපුරා යන බවට මතයක් සමාජගත වී ඇති මොහොතක බාල ඉන්ධන පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

ඉන්ධන කාර්යක්ෂමතාව සහ පරිසර දූෂණය අවම කිරීම සඳහා ඉන්ධන වල ඔක්ටේන් අගය ඉහළ දැමීම සිදු කෙරෙනවා.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාවේ භාවිත වන පෙට්‍රල් වල ඔක්ටේන් අගය පාරිභෝගිකයන්ට නොදන්වා පහළ දමා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දැනට මෙරට වෙළඳ පොළේ ඔක්ටේන් අගය 92 සහ 95 වන පෙට්‍රල් අලෙවි කෙරෙන බව ප්‍රසිද්ධ කර ඒ සඳහා මිල නියම කර තිබුණද මේ වන විට ඔක්ටේන් අගය 91 දක්වා අඩුකළ පෙට්‍රල් ද වෙළඳපොලේ පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.

මේ තත්ත්වය වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාවට සේම එන්ජින් වල පැවැත්ම ද යම් බලපෑමක් ඇතිවීමේ අවදානමක් පවතිනවා.

අනෙක් කරුණ වන්නේ පරිසරය රැක ගැනීම සම්බන්ධයෙන් කතා කරමින් ඔක්ටේන් අගය ඉහළ දැමීමට කටයුතු කළ ශ්‍රී ලංකාව ආපස්සට ගමන් කරමින් ඔක්ටේන් අගය අඩු කිරීමට කටයුතු කිරීමයි.

ලෝකයේ සියලුම රටවල් පාහේ ඔක්ටේන් අගය තවදුරටත් ඉහළ නංවමින් පරිසර දූෂණය අවම කිරීමටත්, ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් කටයුතු කරමින් සිටින මොහොතක ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා හෙලි කරන ආකාරයට පෙට්‍රල් වල ඔක්ටේන් අගය පහළ දැමීමට අනුමැතිය දුන්නේ කවුද යන්න බරපතල ගැටලුවක් නොවන්නේ ද?

එමෙන්ම සමාජයේ බොහෝ දෙනෙකු පවසන්නේ ඉන්ධන වල කාර්යක්ෂමතාව පිළිබඳ තමන්ටද මේ වන විට යම් ගැටලුවක් මතු වී ඇති බවයි.

අමු අමුවේ උල්ලංඝනය වන පාරිභෝගික අයිතිය

වසන්ත සමරසිංහ මහතා පවසන ආකාරයට ඔක්ටේන් 92 වෙනුවට මිලෙන් ද අඩු ඔක්ටේන් 91 පෙට්‍රල් ඔක්ටේන් 92 ලෙස සදහන් කරමින් වැඩි මිලකට විකුණන්නේ නම් එය බරපතළ ලෙස පාරිභෝගික අයිතීන් උල්ලංඝනය කිරීමකි.

අනෙක් කරුණ වන්නේ ඉන්ධන වල ගුණාත්මක භාවය අඩුවීම හේතුවෙන් රථවාහන වල එන්ජින් වලට ඇතිවිය හැකි අහිතකර බලපෑමයි.

මෝටර් රථ අමතර කොටස් පවා නොමැති කාලයක වාහන වල යම් දෝෂ සහගත තත්ත්වයක් මතුවුව හොත් ඒ සඳහා වගකීම බාරගන්නේ කවුද?

මීට පෙරත් ලංකාවට ගෙන ආ බාල ඉන්ධන

ලංකාවට තත්ත්වයෙන් බාල ඉන්ධන රැගෙන ආ අවස්ථාවක් මීට පෙර ද වාර්තා වූයේ සුසිල් ප්‍රේමජයන්ත මහතා අදාල විෂය භාරව කටයුතු කරන අවස්ථාවේදීයි.

මීට වසර දහයකට පමණ පෙර වාර්තා වූ අදාළ සිද්ධියේදී රථවාහන රැසක් මහ මඟ නතර වුණා.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වාහනයක්ද මෙහිදී නතර වීමට ලක් වූයේ මේ පිළිබඳව අවධානය තවදුරටත් ඉහළ නංවමින්.

ගුවන් යානාවල ගමනත් අවදානම්

පසුගිය දිනක කටුනායක ප්‍රදේශයේ දී හදිසි ගොඩබෑමකට ලක් කළ අභ්‍යන්තර ගුවන් සේවා සඳහා යොදා ගන්නා ගුවන් යානය පිළිබඳ සිදුකළ විමර්ශනයේදී හෙළි වී තිබෙන්නේ ගුවන් යානයට ලබාදුන් ඉන්ධනවල ගුණාත්මකභාවය නියමිත ප්‍රමිතියෙන් යුතු නොවූ බවයි.