Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දේශීය සංචාරකයන්ට දොර වසා, යුක්‍රේන නඩයක් සීගිරිය බලයි – හමුදා ආරක්ෂාවත් දෙයි

මෙරටට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයෝ 45 දෙනෙකු අද දින දහවල් සීගිරිය නැරඹීම සඳහා පැමිණ සිටියා.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ගේ ප්‍රධානත්වයෙන් මෙම යුක්රේන සංචාරක කණ්ඩායම සීගිරියට පැමිණ තිබුණු අතර මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් ඔවුන් මහත් හරසරින් පිළිගනු ලැබුවා.

බස් රථ වලින් සීගිරියට පැමිණි මෙම යුක්රේන විදේශීය සංචාරකයන් හට පොලිසිය සහ යුද හමුදාවේ පූර්ණ ආරක්ෂාව ද සපයා තිබු බවයි වාර්තාවන්නේ.

සංචාරක පිරිස සඳහා ආරක්ෂාව සැපයීමට පැමිණ සිටි පොලිසිය,යුද හමුදාව මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල කණ්ඩායමද ආරක්ෂිත ඇඳුම් වලින් සැරසී පිරිසට පහසුකම් සැපයීම සඳහා ක්‍රියා කර තිබෙනවා.

සීගිරියට පැමිණි යුක්‍රේන සංචාරක කණ්ඩායම මුලින්ම ‍මධ්‍යම  සංස්කෘතික අරමුදල සීගිරි කෞතුකාගාරය නැරඹීමට එක් වී ඇති අතර සීගිරි පර්වතයට ප්‍රවේශ වීම සඳහා ප්‍රවේශපත්‍ර ලබා ගැනීමෙන් අනතුරුව මෙම කණ්ඩායම කණ්ඩායම් දෙකකට බෙදී මගපෙන්වන්නන් දෙදෙනෙකුගේ සහයෝගය ඇතිව සීගිරි ජල උද්‍යානයේ මෙන්ම සීගිරි උද්‍යානයේ ද නැරඹීම සිදු කර තිබෙනවා.

ඉන්පසුව මෙම කණ්ඩායම සියලු දෙනා සීගිරි පර්වතය තරණය කර තිබෙනවා.

මෙම කණ්ඩායම සීගිරි පව්ව තරණය කරන අවස්ථාවේ කිසිදු දේශීය සංචාරකයකුට සීගිරියට ගමන් කිරීමට අවසර ලබා නොදුන් අතර මෙම පිරිස පිටත්ව ගිය පසු විසබීජහරණය කර දේශීය සංචාරකයන්ට විවෘත කිරීමට පියවර ගන්න බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් සදහන් කර තිබෙනවා.