Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යතුර දෙන්න මේ ගේ දොර අනුන්ගේ

ශ්‍රී ලංකාවේ ජන සංස්කෘතියේ වටිනා ම අංගයක් තමයි ජනකවි. ඒවායිනුත් සංවාදාත්මක ජනකවි කියලා කියන්නේ හුඟක් ජනප්‍රිය වුණු අංගයක්. ඒකට හේතුව තමයි මේ කියන ජනශ්‍රැතියේ තිබුණු උපහාසාත්මක බව.

ඔන්න එක දවසක් කොල්ලෙක් කෙල්ලෙකුගේ ගෙදරට එනවා. කෙල්ල කිව්වට ඉතින් මෙයා දැන් වෙන කෙනෙක් කසාද බැඳලා. ඉස්සර ඇයි හොඳයි, පෙම්බස් තවමත් හිතේ තිබුණට මොකද දෙන්නම දන්නවා දෙන්නට ආයෙ ළං වෙන්න බැරි බව. අවුරුදු ගාණක් පරිස්සම් කරපු ආදරේ දැක්කම හිත මනමාලකම් කරන එක නතර කර ගන්න පුළුවන් කාටද? ඒත්  ඒ තරම් ලෙන්ගතුකමෙන් හිටිය කෙල්ල මේ කොල්ලට රෑට නිදා ගන්න දෙන්නේ එළියෙ පිළ. ඒ කිව්වේ ඉස්තෝප්පු කෑල්ලට පැදුරක් එළලා. ඉතින් කොල්ලට දුකයි. එයා මෙහෙම කවියකින් තමන්ගේ නෝක්කාඩුව කියනවා.

“ආදි අපි දෙන්නා දිය පිට මලක් වගේ

දැනට අපි දෙන්නා දිවි දුටු මුවන් වගේ

ගොඩ නුපුරුදු දිය නුපුරුදු සතුන් වගේ

උඹලගෙ සෙනේ හුණු නැති බුලත් විට වගේ”

ගෙට ගත්තෙ නෑ තමයි. ඒත් එළෙව්වෙ නෑ නෙ. පුළුවන් හැටියකට සත්කාර කරලා ඉන්න දුන්නා නේ. ඒ නිසා ඇත්තට ම කොල්ලා ඕනවට වඩා දේවල් ප්‍රාර්ථනා කරන එක වැරදියි නේද? දෙන්නම දැන ගන්න එපැයි සීමාව කොතනද කියලා. මොකද මනුස්ස හිත අසුරු සැනින් වෙනස් වෙනවා. පරණ ලෙන්ගතුකමට හිත ඉඩ දෙන්න බැරිත් නෑ. ඒ නිසා පරිස්සම් වෙන්න වෙනවා. අනික මේ ගෙදර තමන්ගෙ කසාද මනුස්සයාගේ නෙ. ඒ නිසා කෙල්ල මෙහෙම කියනවා. 

“ආදි අපි දෙන්න දෙන්නම තමන්ගේ

දැනට අපි දෙන්න දෙන්නම අනුන්ගේ

නොදැන නෙමෙයි පිළ පිට පැදුර දුන්නේ

යතුර දෙන්න මේ ගේ දොර අනුන්ගේ”

දෙවන රාජසිංහ රජ්ජුරුවෝ ගැන කතා සෑහෙන්න තියෙනවා. ඒ රජතුමා ටිකක් සෙල්ලක්කාරයා ලු නෙ. විහිළු තහළුවල අඩුවකුත් නැති ලු. 

දවසක් එයා රට වටේ ඇවිදින්න යනකොට දකිනවා බොහොම සරුසාරෙට මා වී වැවිලා තියෙන කුඹුරක්. මෙච්චර අපූරුවට වගේ ම දක්ෂ විදිහට වී වපුරලා, කුඹුර පරිස්සම් කරගෙන ඉන්න ගොවිරාල කවුද කියලා හොයන්න වටපිට බලනකොට, එයා දකින්නේ ලස්සන කෙල්ලක්. බටකොළවලින් හදපු පැල්කොටයක් ළඟට වෙලා හිටිය මේ අපූරු කෙලි පොඩිත්ත දැකපු රජතුමාගෙ ආශාවන් ඉහවහා යනවා. රජ්ජුරුවන්ට ඕනෙ වෙනවා මෙයා ව යාළු කර ගන්න. අඩු ගානෙ එක දවසකට හරි.

“වෙලක මහිම බල මා වී පැසීලා

පැලක මහිම බල බටකොළ ගොතාලා

මලක මහිම බල අතු අග පිපීලා

ලියක මහිම බල ගෝමර ඉසීලා”

කෙල්ලො ඉතින් ආසයි නෙ බොරුවට හරි තමන් වර්ණනා කරනවට. එතකොට නිකම්ම අර කොල්ලා දිහාට ඇදිලා යනවා. හැබැයි මෙයා නම් ඒවට අහු වුණේ නැහැ. මේ කෙල්ල දැනගෙන හිටියෙත් නෑ, ඒ ඉන්නෙ රජ්ජුරුවෝ කියලා. දැන ගත්තත් තමන් අකැමැති කෙනෙක් එක්ක යන්න කිසි වුවමනාවක් තිබුණෙත් නෑ. ඉතින් එයා මෙහෙම කිව්වා.

“වෙල හොඳ මොකද යල මහ පාළු වේ නම්

පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ නම්

මල හොඳ මොකද අතු අග පරව යා නම්

ලිය හොඳ මොකද ඉසි ගෝමර මැකේ නම්”

මේකෙන් එයා කියන්න උත්සාහ කළේ තමන් කසාද බැඳලා, පුරුෂයෙක් ඉන්න බව වෙන්නත් පුළුවන්. අන්තිම කවි පදයෙන් එහෙම අදහසකුත් එනවා. ආශාවන්ට වහල් වෙලා පස්සෙන් ආවට, අයිති කර ගන්න උත්සාහ කළාට, හැ⁣මදේම අනිත්‍යයි කියලා පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළා වෙන්නත් පුළුවන්. ඒ නිසානෙ රජතුමා පෙන්නලා දීපු ලස්සන තැන්වල අවලස්සන මතු කරලා කවිය කිව්වෙ. 

කොහොම වුණත් ආරාධිතයාගේ හිත නොරිදෙන විදිහට අකැමැත්ත ප්‍රකාශ කරන්න තරම් ඒ කෙල්ලට බුද්ධියක් තිබුණු බව පේනවා. අද කාලෙත් කොල්ලෙක් චාටුවෙන් කතා කළා ම සරුවාංගෙ ම පූජ කරන කෙල්ලො අතරේ, මොළේ කල්පනා කරලා එතනින් මාරු වෙලා යන ඥානවන්ත ගැහැනුත් ඉන්නවා.

ශ්‍රීනි ලංකා ජයකොඩි