Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ට්‍රම්ප්ට එරෙහි ව ටික්ටොක්.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනෙක ඇමරිකා එක්සත් ජනපදය තුළ “ටික්ටොක්” වීඩියෝ තහනම් කළේ ය. එහෙයින් මේ වන විට එම තහනම අභියෝගයට ලක් කරමින් චීන වීඩියෝ සමාගමක් වන “ටික්ටොක්” සමාගම නීතිමය පියවර ගනිමින් සිටියි. ට්‍රම්ප්ගේ විධායක නියෝගයෙන් ටික්ටොක් හිමිකරුවන් සමඟ ගනුදෙනු කිරීම සැප්තැම්බර් මැද සිට තහනම් වී තිබිණි.

වොෂිංටනයේ නිලධාරීන් සිතනුයේ එම සමාගම හරහා ඇමරිකානු පරිශීලකයින් පිළිබඳ දත්ත චීන රජයට යා හැකි බවයි. එහෙත් ඔවුන් විසින් එය ප්‍රතික්ෂේප කර තිබේ. කෙටි වීඩියෝ බෙදාගැනීමේ මෙම ජංගම යෙදවුමට(මොබයිල් ඇප්ලිකේෂන්) එක්සත් ජනපද පරිශීලකයින් මිලියන අසූවක් පමණ ක්‍රියාකාරී ව සහභාගී වෙති. ටික්ටොක් සමාගම පවසන්නේ ට්‍රම්ප් මහතාගේ පරිපාලනය සමඟ වසරකට ආසන්න කාලයක් තිස්සේ සුහද ව කටයුතු කිරීමට ඔවුන් උත්සාහ කළ නමුත් පලක් නොවූ බව යි. එනම්, රජය තමන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාදාමයේ  නිවැරදි කරුණු කෙරෙහි අවධානය යොමු නොකරන බව සමාගම පැමිණිලි කර සිටියි.

“නීතියේ ආධිපත්‍යය බැහැර නොකිරීම සහ අපගේ සමාගමට සහ පරිශීලකයින්ට සාධාරණ ලෙස සලකනු ලැබීම සඳහා, අධිකරණ පද්ධතිය හරහා විධායක නියෝගයට අභියෝග කිරීම හැර අපට වෙනත් විකල්පයක් නැත.” යැයි ඔවුහු පවසති. ටික්ටොක් විසින් මෙම සතියේ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කරන බව බී.බී.සී. වාර්තාකරු “විවියන් නුනිස්” පවසයි. චීන සමාගමක් වන “ටෙන්සෙන්ට්” සතු “වෙචැට්” නම් සමාජ මාධ්‍ය යෙදවුම වෙත ද ජනාධිපතිවරයා මෙවැනි ම තහනමක් පැනවීමට එරෙහිව සිකුරාදා චීන – ඇමරිකානුවන් පිරිසක් වෙන ම නඩුවක් ගොනු කළහ.

ට්‍රම්ප් කියා සිටින්නේ ෆෙඩරල් සේවකයින් සිටින ස්ථාන සොයා ගැනීමට, බ්ලැක්මේල් කිරීම සඳහා තොරතුරු රැස් කිරීමට හෝ රට පිළිබඳ ඔත්තු බැලීමට චීනයට මෙම යෙදවුම් භාවිතා කළ හැකි බවයි. චීන සමාගම් විසින් සංවර්ධනය කරන ලද සහ අයිති කර ගත් ජංගම යෙදවුම්වල වර්ධනය එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව, විදේශ ප්‍රතිපත්තිය සහ ආර්ථිකයට තර්ජනය කරනු ඇති බව ට්‍රම්ප් මහතා පවසයි.