Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මෝදි සහ කොරෝනා

භාරතීය ජනතා පක්ෂයෙන් තරඟ කළ නරේන්ද්‍ර දාමෝදර්දාස් මෝදි ඉන්දියාවේ දහහතර වන අගමැතිවරයා බවට පත් වූයේ දෙදහස් දහහතරේ දී ය. පෙර, ගුජරාටි ප්‍රාන්තයේ මහ ඇමති ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත් කටයුතු කරද්දී පවා මෝදිගේ ඥානවන්ත ක්‍රියාකලාපය පිළිබඳ හැමටම තිබුණේ යහපත් ආකල්පයකි. දෙවන වරටත් අගමැතිවරයා බවට පත් වෙමින් බිලියන එකයි දශම තුනක් වන ජනතාවක් අද දක්වා පාලනය කිරීමට මෝදිට හැකි වී තිබෙන්නේ ඔහුගේ නායකත්ව ගුණය හා රට ගෙන යන ක්‍රමවේදය හේතුවෙනි. 

ඔහු ජනතා සිත හඳුනන්නෙකි. ගුජරාටි ප්‍රාන්තයේ මහ ඇමති තනතුරට තරඟ කිරීමට ප්‍රථම ඔහු වසර දෙකක් මුළුල්ලේ මුළු ඉන්දියාව පුරා ඇවිද, වෙනත් භාෂා කතා කරන, වෙනත් ආගම් අදහන මිනිසුන්ගේ ස්වභාවය හඳුනා ගත්තේ ය. එබැවින් එතරම් මිනිස් කොට්ඨාසයක අගමැතිවරයා වන ඔහුට ඒ එක් එක් ප්‍රදේශවල වෙසෙන පුද්ගලයින් පිළිබඳ අවම වශයෙන් දළ අදහසක් හෝ තිබේ. දෙදහස් දෙක වසරේ ගුජරාටි ප්‍රාන්තයේ සිදු වූ අතිවිශාල හින්දු – මුස්ලිම් කෝලහාලය පවා සාර්ථක අන්දමින් පාලනය කිරීමට ඔහුට හැකි වූයේ නිවැරදි තීරණය නිවැරදි අවස්ථවේ දී ගත් නිසා ය.

මේ වන විට ලොව ම මුහුණ පා තිබෙන අතිභයානක ව්‍යසනය වන “කොවිඩ් නයින්ටීන්” හෙවත් කොරෝනා වෛරස ගැටලුව යම්තාක් දුරකට පාලනය කිරීමටත් අවට පිහිටි යුරෝපා රටවලට වඩා සිය රටෙහි මිය යන ප්‍රමාණය අඩු කර ගැනීමටත් මෝදිට හැකි වී ඇති බව පෙනේ. එය එක්තරා අන්දමකට පුදුමයකි. මන්දයත් නිදසුනක් ලෙස ඉතාලිය සැලකුවහොත්, එහි ජනගහණය මිලියන හැටකි. ඉන්දියාවේ එමෙන් විසි ගුණයකි. ලොව භෞතික ජීවන තත්ත්ව දර්ශකය අනුව ඉතාලිය සිටින්නේ 37 වන ස්ථානයේ ය. ඉන්දියාව 58 ය. ඉතාලියේ අතිශය දියුණු පහසුකම් සහිත රෝහල් බොහොමයකි. ඉන්දියාවේ එවැනි රෝහල් ඇත්තේ කිහිපයක් පමණි. ඉතිරි සියල්ල අවම පහසුකම් ය. නුපුහුණු, බොරු දොස්තරලා ද බොහොමයකි. එසේ නම් ඉතාලියේ රෝගීන් 41,035ක් සහ මරණ 3405ක් වෙද්දී ඉන්දියාවේ රෝගීන් 187ක් හා මරණ 4ක් පමණක් වූයේ කෙසේ ද?

එයට එක් හේතුවක් ලෙස ඉන්දියාවෙ උෂ්ණත්වය වැඩි වීම සැලකිය හැකි ය. එහෙත් රටක නායකයෙකුගේ විශිෂ්ට කැපවීම මෙම රෝග පාලනයට බලවත් අනුග්‍රහයක් දක්වන බව නොකිව මනා ය. කොරෝනා වෛරසය චීනයේ සිට ක්‍රමයෙන් යුරෝපා රටවලට පැතිරී ලොව ම ගිල ගනිමින් සිටින බව වැටහුණු විගස මෝදි ගත් ප්‍රථම ක්‍රියාමාර්ගය වූයේ සියල්ලන් දැනුවත් කිරීම යි. අන් රටවලට වඩා එය අසීරු වූයේ බහුතරයකගේ නූගත්කම, බොහෝ පිරිසකට සන්නිවේදන පහසුකම් අවම වීම හා පිරිස වැඩි වීම යනාදී ගැටලු හේතුවෙනි. එහෙත් අවශ්‍ය අවස්ථාවේ දී ඉන්දියානුවන් තුළ හට ගත් රෝ බිය, එසේ ම තම දේශය ආරක්ෂා කර ගැනීම පිළිබඳ ස්වභාවයෙන් ම ඔවුන් තුළ ඇති වුවමනාව ආදී කරුණු මෙම වෛරසය පැතිරීම වැළැක්වීමට උපකාරී වූවාදැයි සිතේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි පාසල්, විශ්වවිද්‍යාල, කායවර්ධන මධ්‍යස්ථාන, සමාජ ශාලා හා සංස්කෘතික මධ්‍යස්ථාන වසා දැමීමට මෝදි කටයුතු කළේ ය. හැකි සෑම පුද්ගලයෙකු ම නිවසේ රඳවා, එහි සිට රාජකාරියේ යෙදීමට උනන්දු කරන ලදී.

ගුවන් යානා හා නැව් පැමිණීම අතිශයින් සීමා කිරීමට මෝදි අණ කළේ ය. ඒ අනුව චීනය මෙන්ම වෛරසය පැතිරී ඇති සියලු යුරෝපා රටවලින් කිසිදු ආගන්තුකයෙකු ගෙන්වා නොගත් අතර අනෙක් සංචාරකයින් ද නිරෝධායනයට ලක් කරන ලදී. ටජ් මහල් ඇතුළු විශාල ආකර්ශනයක් සහිත ස්ථාන බොහොමයක් වසා දැමිණි.

මෙම රෝග ව්‍යාප්තිය වැළැක්වීම පිණිස මෝදි ගත් වඩාත් ප්‍රශංසාත්මක ක්‍රියාමාර්ගය වනුයේ පසුගිය ඉරිදා දින සාර්ක් රටවල් සමඟ වීඩියෝ ඇමතුමක් මාර්ගයෙන් කළ සාකච්ඡාව යි. මෝදිගේ වුවමනාව සහ මූලිකත්වය යටතේ සිදු වූ මෙම සාකච්ඡාව ලොව බලවතුන්ගේ පවා ඇගයීමට ලක් වූයේ, එය එතරම් ම කාලෝචිත බැවිනි. ඔහු එසේ සිදු කළේ ඉන්දියාවේ රෝගීන් 79ක් හා එක් මරණයක් පමණක් වාර්තා වූ තත්ත්වයක දී ය. එනම්, එළඹීමට ඇති අවදානම එම අවස්ථාවේ දී ම වටහා ගැනීමට ඔහුට හැකි විය. ඉන්දියාව මෙම රෝගය මැඬලීම සඳහා මිලියන දහයක් වෙන් කළ බවත් සාර්ක් රටවල් සියල්ල එක් වී රෝගය පිළිබඳ ක්‍රමානුකූල දැනුමක් සහිත වෛද්‍ය කණ්ඩායමක් සූදානම් කළ යුතු බවත්, එසේ ම මෙම වසංගතයට සියලු රටවල් එක් වී මුහුණ දිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

මේ වන විටත් ඉන්දියාව සම්පූර්ණයෙන් වසා දැමීමට නොහැකි වී ඇත. රජය එම ක්‍රියාමාර්ගය ගැනීම සඳහා උත්සාහ කළ විට විරුද්ධ වී තිබෙන්නේ මෝදි ය. රටේ හුඟක් අය වැඩ කරන්නේ ආයතනගත වෙලා නෙවෙයි. අද එළියට බැහැලා වැඩක් කළොත්, හෙට වේල කන්න පුළුවන්. ලොක්ඩවුන් එකකට ගියොත් ඒ මිනිස්සු බඩගින්නේ මැරෙයි.” මෝදි පවසයි.

සම්පූර්ණයෙන් වසා නොදැමූ පළියට රට ආරක්ෂිත නොවන බව ඔහු දනී. “ඔයාලා කාටහරි හිතෙනවා නම් ඔයාලට ලෙඩේ හැදෙන්න විදිහක් නෑ කියලා, ඒක වැරදියි. පාරෙ යනකොටත් අනිත් කෙනාගෙ ඇඟේ හැප්පෙන්න තරම් මිනිස්සු අපේ රටේ ඉන්නවා. ඒ නිසා අනිත් අයට ලෙඩ බෝ කරලා, රට ම විනාශ කරන්නේ නැති ව කරුණාකරලා ගෙදරට වෙලා ඉන්න”. මෝදි සියලු රටවැසියන්ගෙන් ඉල්ලන්නේ එපමණයි. 

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author