2022 දෙසැම්බර් 1

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මර්ස් කොවිඩ් වසංගතය

“කොරෝනා වෛරස” යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය දක්වා රෝග ඇති කළ හැකි විශාල වෛරස් පවුලකි. ඒ අනුව HOSV-229E, HCoV-NL63, HCoV-OC43, HCoV-HKU1, මුල් SARS-CoV (හෝ SARS-CoV-1), සහ SARS-CoV-2 ඇතුළු මිනිසුන්ට ආසාදනය වන, අප දන්නා කොරෝනා වෛරස හතක් ඇති අතර ඉන් එකක් MERS-CoV නම් වේ. MERS-CoV වෛරසය SARS වෛරසයට වඩා වෙනස් වන අතර පොදු කොරෝනා වෛරසයට වඩා යම් යම් විශේෂතා සහිත වෙයි. 2013 වසර වන තෙක් ම MERS-CoV බොහෝ විට SARS වැනි වෛරසයක් ලෙස ම හඳුන්වනු ලැබීය. මෙයට පෙර අදාළ වෛරසය පිළිබඳ කතා කිරීමේ දී එය “සෞදි SARS” ලෙස හඳුන්වා දුන් බව ද පෙනේ. මෙම “මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය” හෙවත් MERS යනු 2012 වසරේ සෞදි අරාබියේ දී ප්‍රථම වරට හඳුනාගත් නව කොරෝනා වෛරස මඟින් ඇති කරන වෛරස් ශ්වසන රෝගයකි.

MERS-CoV යනු සත්ව විද්‍යාත්මක වෛරසයකි. එයින් අදහස් කරන්නේ එය සතුන් සහ මිනිසුන් අතර සම්ප්‍රේෂණය වන වෛරසයක් බව ය. ඔටුවන් මඟින් මෙය බෝ වන අතර ආසාදිත ඔටුවන් සමඟ සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වීමෙන් මිනිසුන් ආසාදනය වී ඇති බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ. මැදපෙරදිග, අප්‍රිකාව සහ දකුණු ආසියාවේ රටවල් කිහිපයක මෙම MERS-CoV වෛරසය පවතින බව හඳුනාගෙන ඇත. වෛරසයේ මූලාරම්භය සම්පූර්ණයෙන් වටහාගෙන නොමැති නමුත් විවිධ වෛරස ජානවල විශ්ලේෂණයන්ට අනුව එය ඈත අතීතයේ දී වවුලන්ගෙන් ආරම්භ වී ඔටුවන්ට සම්ප්‍රේෂණය වී ඇති බවට සාක්ෂි තිබේ. මෙය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන මාර්ගය නියත වශයෙන් ම සොයාගෙන නැත. එනමුත් ඔටුවන් යනු MERS-CoV සඳහා වන ප්‍රධාන ධාරකය වන අතර මිනිසුන් තුළ ඇති වනුයේ සත්ත්ව ආසාදන ප්‍රභවයකි. ඊජිප්තුව, ඕමානය, කටාර් සහ සවුදි අරාබිය ඇතුළු රටවල් කිහිපයක ම මෙම වෛරස කොටස් හමු වී තිබේ.

ආසාදිත රෝගියෙකුට අනාරක්ෂිත ප්‍රතිකාර ලබා දීම වැනි සමීප සම්බන්ධතා පවත්වන්නේ නැති නම්, වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට පහසුවෙන් ගමන් නොකරයි. ආසාදිතයින් හට සෞඛ්‍යාරක්‍ෂක පහසුකම් ලබා දීමෙන් ඇති වූ සමීප සම්බන්ධතා හේතුවෙන් මෙය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වී ඇති බව පෙනේ. විශේෂයෙන් ආසාදන වැළැක්වීම සහ පාලන පිළිවෙත් ප්‍රමාණවත් නොවන විට හෝ සුදුසු නො වන විට වෛරසයේ පැතිරීම ඉක්මනින් සිදු වේ. මර්ස් රෝගීන්ගෙන් බහුතරයක් සොයාගෙන ඇත්තේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ වන අතර, මේ දක්වා ලොව කිසිදු තැනකින් මෙම වෛරසය මිනිසෙකුගේ ශරීරය තුළ හට ගෙන, තවත් මිනිසෙකු තුළට සම්ප්‍රේෂණය වූ අවස්ථාවක් සොයා ගෙන නැත.

2012 සිට අද දක්වා රටවල් 27ක මෙම මර්ස් වෛරසය ව්‍යාප්ත ව ගොස් ඇත. ඒ අතර සෞදි ආබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි අරාබිකරයේ රටවල් පමණක් නොව ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, ඉතාලිය වැනි යුරෝපාකරයේ රටවල් ද චීනය, තායිලන්තය, පිලිපීනය හා ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් ද වෙයි. රෝගීන්ගෙන් 80% ක් පමණ සෞදි අරාබිය විසින් වාර්තා කර ඇත. මැදපෙරදිගින් පිටත හඳුනාගෙන ඇති සිද්ධීන් සාමාන්‍යයෙන් මැද පෙරදිග ආසාදනය වී, අනතුරු ව මැද පෙරදිගින් පිටත සංචාරයේ යෙදුණු පුද්ගලයෝ වෙති. 

2019 නොවැම්බරය වන විට, මරණ 858ක් සමඟ මර්ස් රෝගීන් 2,494 ක් වාර්තා වී ඇති අතර, මරණ අනුපාතය 30% කි.  2015 වන විට මීට සම්බන්ධ ජාන 182ක් අනුපිළිවෙළින් සකස් කර ගැනීමට හැකි විය. ඒ, මිනිසුන්ගෙන් 94ක් සහ ඔටුවන්ගෙන් 88ක් යනාදී වශයෙනි. එහෙත් නිවැරදි ප්‍රතිකාරයක් අදටත් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

MERS-CoV රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණ වන්නේ උණ, කැස්ස සහ හුස්ම හිරවීමයි. පසුව නියුමෝනියාව ද වැළඳිය හැකි නමුත් එය සෑම විටම දක්නට නොලැබේ. පාචනය ඇතුළු ආමාශ ආන්ත්‍රයික රෝග ලක්ෂණ ද වාර්තා වී ඇත. රෝගාබාධ දරුණු වුවහොත් දැඩි සත්කාර ඒකකයක, යාන්ත්‍රික වාතාශ්‍රය සහ සහාය අවශ්‍ය විය හැකි ය. විශේෂයෙන් වයස්ගත පුද්ගලයින්, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් සහ වකුගඩු රෝග, පිළිකා, නිදන්ගත පෙනහලු රෝග සහ දියවැඩියාව වැනි නිදන්ගත රෝග ඇති අයට කොවිඩ් 19 වෛරසය මෙන් මෙම වෛරසය ද වඩාත් දරුණු අන්දමින් බලපාන බව පෙනේ.

මර්ස් රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 35%ක් පමණ මියගොස් ඇත, නමුත් මෙය සැබෑ මරණ අනුපාතය අධිතක්සේරු කිරීමක් විය හැකිය. මන්දයත් මර්ස් වෛරසයේ වඩාත් දරුණු රෝග ලක්ෂණ නොපෙන්වන ලද අවස්ථා, පහසුවෙන් මඟහැරී යන්නට ඇති බැවිනි. එය කෙසේ වී ද කියතොත් රෝගය පිළිබඳව වැඩි විස්තර දැන ගන්නා තෙක් මරණ අනුපාතය ගණනය කරනු ලබන්නේ රසායනාගාරයෙන් තහවුරු කරන ලද අවස්ථා එකතු කිරීමෙන් පමණි. දැනට මේ සඳහා කිසිදු එන්නතක් හෝ විශේෂිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත. කෙසේ වෙතත් MERS-CoV විශේෂිත එන්නත් සහ ප්‍රතිකාර කිහිපයක් අද වන විට පරීක්ෂා කෙරෙමින් පවතී. එහෙත් අදාළ ප්‍රතිකාරය එක් එක් රෝගියාගේ ශාරීරික තත්ත්වය මත පදනම් වේ.

රෝගයෙන් වැළකීම සඳහා සාමාන්‍ය පූර්වාරක්ෂාවක් ලෙස, ගොවිපොළවල්, වෙළඳපොළවල්, ඔටුවන් සහ වෙනත් සතුන් සිටින ස්ථානවලට යන ඕනෑ ම අයෙකු සතුන් ස්පර්ශ කිරීමට පෙර සහ පසු හැම විට ම වර්තමානයේ දී මෙන් අත් සේදීම ඇතුළු සාමාන්‍ය සනීපාරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු අතර රෝගී සතුන් සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු බව සෞඛ්‍ය වෛද්‍ය නිර්දේශය යි. කිරි සහ මස් ඇතුළු අමු හෝ බාබකියු දැමූ සත්ත්ව නිෂ්පාදන පරිභෝජනය මගින් මිනිසුන් තුළට මෙම රෝගය ඇතුළු විය හැකි ය. ඉවුම් පිහුම් හෝ පැස්චරීකරණය මගින් නිසි පරිදි සැකසූ සත්ත්ව නිෂ්පාදන පරිභෝජනය වඩාත් ආරක්ෂිත වන අතර පිසින ලද ආහාර සමඟ අමු ආහාර කලවම් කිරීම ද නවතාලිය යුතු ය. ඔටුවන්ගේ මස් සහ ඔටුවන්ගේ කිරි යනු පෝෂ්‍යදායී නිෂ්පාදන වන අතර ඒවා පැස්චරීකරණය, ඉවුම් පිහුම් හෝ වෙනත් ආකාරවලින් තාප පිරියම් කිරීමෙන් පසු අඛණ්ඩ ව පරිභෝජනය කළ හැකිය.

විශේෂයෙන් දියවැඩියාව, වකුගඩු අකර්මණ්‍යතාවය, නිදන්ගත පෙනහලු රෝග සහ ප්‍රතිශක්තිකරණ දුර්වලතා ඇති පුද්ගලයින් MERS-CoV ආසාදනයෙන් දරුණු රෝග ඇතිවීමේ වැඩි අවදානමක් ඇති හෙයින් මෙම පුද්ගලයින් සතුන් සමඟ සම්බන්ධ වීමෙන් වැළකී සිටිය යුතුය. එහෙත් අමු ඔටු කිරි හෝ ඔටුවන්ගේ මුත්‍රා පානය කිරීම හෝ නිසි ලෙස පිසින ලද මස් අනුභව කිරීම ගැටලුවක් නොවනු ඇත. 

MERS-CoV රෝග ලක්ෂණ සහ අනෙකුත් සායනික ලක්ෂණ විශේෂිත නොවන බැවින් MERS – CoV සහිත රෝගීන් කලින් හෝ පරීක්ෂණයකින් තොරව හඳුනා ගැනීම සැමවිට ම කළ නොහැකි ය. රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ආසාදන වැළැක්වීමේ පාලන ක්‍රියාමාර්ග ඉතා වැදගත් වේ. මෙම රෝගය ආසාදිත බවට සැක කරන හෝ තහවුරු කර ඇති රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍ය පහසුකම් පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු අතර ආසාදිත රෝගියෙකුගෙන් වෛරසය වෙනත් රෝගීන්ට, සෞඛ්‍ය සේවකයින්ට හෝ අමුත්තන්ට සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු කිරීමට සුදුසු පියවර ගත යුතු ය. සෞඛ්‍ය – සත්කාර සේවකයින් දැනුවත් කර ආසාදන වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ පුහුණුවක් ලබා දිය යුතු අතර මෙම පුහුණුව නිරන්තරයෙන් යාවත්කාලීන කළ යුතුය. කෙසේ වුවත් පැතිර යන කොවිඩ් 19 වසංගතයේ සහෝදරයෙකු වන මර්ස් වෛරසය ද අද වන තෙක් අවසන් වී නොමැති බව සිතට ගත යුතු ය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.