Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රඟපාලා මළත් කමක් නෑ

1986 මාර්තු මස 04 වන දින දකුණු කොරියාවේ දී උපත ලැබූ ඇය Dongguk විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියකි. 2006 වසරේ කොරියානු රූපවාහිනී ටෙලිනාට්‍යය තුළින් කරළියට බට ඇය වඩාත් ජනප්‍රිය වූයේ Sungkyunkwan Scandal හෙවත් “අසලියා මල” ටෙලිනාට්‍යයේ කිම් යුන්-ෂීක් ලෙසිනි. ඇය පාක් මින් යුං.

ඇයි ඔයා නිළියක් වෙන්න හිතුවේ?
මම නම් හිතුවේ නැහැ නිළියක් වෙන්න. අපේ අම්මා තමයි කරදර කළේ. මම ලොකු ඉස්කෝලයට යන්න පටන් ගත්තු දවස්වල අපේ අම්මා එකපාරට ම මට ලියුම් ලිය ලියා කරදර කරන්න පටන් ගත්තා, රංගනය හදාරන්න කියලා. මටත් හිතා ගන්න බැරි වුණා මේ මොකද කියලා. මම ඉතින් කෝකටත් කියලා පාසල් නාට්‍ය කණ්ඩායමටත් ඇතුළත් වෙලා, නාට්‍ය කිහිපයකුත් රඟපෑවා. රූපවාහිනියට එන්නත් අවස්ථාව ලැබුණා. පස්සේ කාලයක දී තමයි අම්මා මට ඒකට හේතුව කිව්වේ. ඇය මගේ කේන්ද්‍රය බලන්න දුන්නා ලු. ජ්‍යෝතිර්යයවේදීන් පස් දෙනෙක් ම කිව්වා ලු මම අනාගතයේ දී සාර්ථක නිළියක් වෙනවා කියලා.

ඒ වුණාට ඔය රස්සාව අල්ලලා ගිහින් තියෙන්නේ. නැත්නම් අවුරුද්දට එක ගණනේ නාට්‍ය කරාවි ද?
ඇත්ත මට නිළිකම කරන්න ගිහින් වැරදුණේ නම් නැති බව විශ්වාසයි. වාසනාව මගේ ළඟ තිබුණා. ඒත් හැමදා ම නෙවෙයි. මුල දී මම හුඟක් සාර්ථක වුණා. ඒ ටිකක් කල් ගියාට පස්සේ මගේ ජනප්‍රියත්වය අඩු වෙන්න පටන් ගත්තා. මට හිතුණා මම මේ කර ගත්තේ මෝඩකමක් ද කියලා. හිත කඩා වැටිලා, දවස් ගණනක් දුකින් හඬ හඬා හිටිය අවස්ථා ඕන තරම් තිබුණා. දැන් නම් ඒ තරම් ප්‍රශ්නයක් නැහැ.

මුලින් ම ඔයාට Sungkyunkwan Scandal (අසලියා මල) ටෙලිනාට්‍යයේ කොල්ලෙකුගේ චරිතයක් රඟපාන්න වෙනවා කියලා දැන ගත්තා ම මොකක්ද හිතුණේ?
මුල දී නම් පොඩි බයක් දැනුණා. හැබැයි පිටපත කියවලා බැලුවාට පස්සේ කොයි තරම් සතුටක් දැනුණා ද කිව්වොත්, මම එතන දී ම උඩ පැන පැන නැටුවා. මේ තරම් වටිනා චරිතයක් කරන්නේ ලැබෙන්නේ මට බව දැන ගත්තා ම හිතුණා නිෂ්පාදක මහත්තයාගේ ඇඟට පැනලා බදා ගන්න. මම මෙච්චර කාලයකට කරපු චරිත අතරින් වටිනා ම චරිතය තමයි Sungkyunkwan Scandal (අසලියා මල) ටෙලිනාට්‍යයේ කිම් – යුන් ෂීක්ගේ චරිතය.

කිම් – යුන් ෂීක් විදිහට රඟපාද්දී ඔයා අසනීප වුණා ලු නේද?
සෑහෙන්න අසනීප වුණා. ඒකට හේතුව මේකයි. එතකොට මම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා. ඒත් මම කිසි ම අවස්ථාවක රඟපෑම නිසා ඉගෙනීම පාඩු කර ගත්තේ නැහැ. ඉතින් අපට සිද්ධ වුණා මට ලැබෙන නිවාඩු කාලයේ දී සෑහෙන්න වැඩ කොටසක් අවසන් කරන්න. ඒ නිසා මම හුඟක් දවස්වලට දවසේ පැය 24න්, 23ක් ම නාට්‍යය වෙනුවෙන් වෙහෙස වුණා. ඒ තරම් ම කාලයක් අර මේක්-අප් ඔක්කෝමත් දාගෙන, අමාරුවෙන් ඇඳුම් ගොඩත් පොරවාගෙන ඉන්න වුණා. සමහර වෙලාවට දවස් තුනක් විතර එක දිගට නිදා ගන්න ලැබුණේ නැහැ. ඉතින් අසනීප වෙන එක අහන්නත් දෙයක් ද.

කොල්ලෙක් වගේ ඇඳුම් ඇඳගෙන ඉන්න එක හිරිහැරයක් කියලා හිතුණේ නැද්ද?
ඇත්තට ම ඒක තමයි මම වින්ද ලොකු ම හිරිහැරය. මේ නාට්‍යයට මම හුඟක් ආස කරපු නිසා ම කට්ට කාගෙන වැඩ කළා මිසක, එහෙම නොවුණා නම් අනිවාර්යයෙන් ම ටික දවසකින් වැඩේ දමලා ගහලා යන්න යනවා. කොල්ලෙක් විදිහට මගේ ඇඟ වටේ රෙද්දක් ඔතලා, අනවශ්‍ය තැන් එළියට එන එක වළක්වාගෙන ඉන්න සිද්ධ වීම බොහොම අපහසු දෙයක් වුණා. ඒ රෙදි පටිය ගැලෙව්වාට පස්සේ මට දවස් දෙකක් විතර යනකල් කෑම කන්නත් බැහැ. පපුවත් රිදෙනවා. ඉතින් හිතන්නකෝ කොහොම අමාරුවකින් ද ඉන්න ඇත්තේ කියලා.

ඉතින් ඔයාගෙන් ඒ විදිහට වැඩ ගත්ත එක වැරදියි නේ?
නිෂ්පාදන කණ්ඩායමට විතරක් වැරදි කියන්න බැහැ. මමත් එහෙම වැඩ කරන්න එකඟ වුණා නේ. මාස 6ක් ගත වෙද්දී මගේ බර කිලෝ 4කින් අඩු වුණා. ඊට පස්සේ නිෂ්පාදක කණාඩායම එකතු වෙලා මට ආයුර්වේද ඖෂධ වට්ටෝරුවකුත් ලබා දුන්නා. මේ මොන ප්‍රශ්නය තිබුණත් මට ඒක එච්චර ගාණක් වුණේ නැහැ. ඇත්ත ම කිව්වොත් මට අසනීප ගැන හිතන්න වෙලාවක් තිබුණේ නැහැ. මම වැඩ කළේ සතුටින්… කියාගන්න බැරි තරම් සතුටකින්. මේ තරම් සුන්දර චරිතයක් රඟපාන්න ගිහිල්ලා නම් ඉතින් මැරුණත් මොකද…

ඒ නාට්‍යයේ ප්‍රධාන චරිත හතර ම එක වයසේ ලු නේද?
ඔව්, එතකොට අපි හැමෝ ම අවුරුදු 26 – 28ත් අතර තමයි හිටියේ. ගොල්ලෝ (Yoo Ah-in) තමයි බාල ම එක්කෙනා. මේකේ හිටිය කොල්ලෝ ඔක්කෝට ම තිබුණේ පොඩි ළමයින්ට වගේ ළපටි මුහුණු. ඇයි, ඔය සමහර විචාරකයින් කියලා තිබුණේ නිෂ්පාදක මහත්තයා මොකක් නැතත් ලස්සන කොල්ලෝ සෙට් එකක් නම් හොයාගෙන තියෙනවා කියලා. ඒ වුණාට ටික දවසක් යද්දී ඔය හැම දේ ම වෙනස් වුණා. අනිත් ඔක්කොමලා හිටපු විදිහට ම හිටියා. ඒත් මගේ මුහුණ විතරක් ඒ හැම දෙනාට ම වඩා වයසින් වැඩි විදිහට පෙනෙන්න පටන් ගත්තා. ඇස් යට කළු වුණා. කම්මුල් රැළි වැටුණා. වෙහෙස නිසා ම මම වයසට ගියා.

කිම් – යුන් හී සහ පාක් මින්- යුං අතර සමානතා මොනවා ද?
මමයි කිම්- යුන් හී දෙන්නා සෑහෙන්න දුරට එක වගේ. අපි දෙන්නා ම ඒ දවස්වල විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ. මමත් ඇය වගේ ම ධෛර්යයවන්තයි. තරහා ගිය වෙලාවට යුන් හී වගේ මමත් ටිකක් සහාසික වැඩ තමයි කරන්නේ. ඒ නිසා ම ද මන්දා, ටික දවසක් යනකොට මට දැනුණා මම යුන් හී එක්ක මොකක්දෝ ලොකු බැඳීමක් තියෙනවා කියලා. ඒ නිසා යුන් හී අමාරුවේ වැටුණු වෙලාවට මමත් ඇය එක්ක හදවතින් ම සටන් කළා. ඇය සතුටු වෙද්දී, මමත් සතුටු වුණා. මට දැනුණේ මමත් ඇය එක්ක ම වැඩෙනවා වගේ. හැබෑවට ම මටත් යුන් හීගේ තත්ත්වයට වැටෙන්න සිද්ධ වුණා නම්, අනිවාර්යයෙන් ම ඔය විදිහට ම වැඩ කරාවි.

සුන්දර පිරිමින් තුන් දෙනෙක් සමඟ රඟපෑමේ දී ජනප්‍රියත්වය ගැන සැකයක් ඇති වුණේ නැද්ද?
ඇත්තට ම මටත් හිතුණා රසිකයින් මාව පැත්තකට දාලා ලී සන් ජුන්, සොං හා සහ ගොල්ලෝ ගැන විතරක් අවධානය යොමු කරාවි දෝ… කියලා. විශේෂයෙන් කාන්තා අවධානයෙන් මගේ චරිතය ගිලිහිලා යයි කියලා මට සැකයක් තිබුණා. කෙල්ලෝ ඉතින් කැමති කොල්ලන්ට මිසක් කොල්ලෙක් වගේ වෙස්වලාගෙන ඉන්න කෙල්ලෙකුට නෙවෙයි නේ. හැබැයි අපේ රසිකයින් මම හිතුවාට වඩා ඥානවන්තයි. ඔවුන් මගේ චරිතය තේරුම් ගත්තා. පුරුෂ පාර්ෂවය වුණත් ටික දවසක් යද්දී මාව ඔවුන්ගේ පරමාදර්ශී චරිතය බවට පත් කර ගත්තා.

Sungkyunkwan Scandal (අසලියා මල) සාර්ථකයි කියලා හිතෙනවා ද?
කතාව, පිටපත, නිෂ්පාදනය, කැමරා, චරිත හැසිරීම ඔය හැම දෙයකින් ම අසලියා මල ටෙලි නාට්‍යය අතිසාර්ථකයි. හැබැයි මම ඒකේ සාර්ථකත්වය දකින්නේ ඔය එක විදිහකින්වත් නෙවෙයි, මගේ ම ඇසින්. මට අසලියා මල සාර්ථක නාට්‍යයක් බවට පත් වෙලා තියෙන්නේ මම ඒ නාට්‍යයේ දී මගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත නිසා.

ශ්‍රීනි ලංකා ජයකොඩි