2022 අගෝස්තු 11

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මධ්‍යකාලීන යුගයේ දී ලෙඩ රෝගවලින් වැළකුණු හැටි.

මධ්‍යකාලීන යුගයේ මිනිසුන්ගෙන් බොහොමයකගේ විශ්වාසය වූයේ තමා හට ලෙඩ රෝග වැළඳෙනුයේ දේව කෝපයක් හේතුවෙන් බව ය. එබැවින් ඕනෑ ම කාලයක දී වැළඳිය හැකි රෝගවලින් බේරීම සඳහා ඔවුහු තම තමාගේ ආගමික විශ්වාසයන්ට අනුව දෙවිවරුන්ට පුද පඬුරු ඔප්පු කළහ. ඒ හැරුණු කොට එකල විසූ ජනතාව වෙනත් ක්‍රමවලින් ද මෙවැනි ආපදා වළක්වා ගත් බව පෙනේ.

  • අවට පරිසරයේ වසංගත රෝගයක ලක්ෂණ පහළ වන විට එකල විසූ ජනතාව නිවෙස්වලින් පිටතට පැමිණියේ නැත. ඔවුහු පවුල් පිටින් ම නිවෙස් තුළට වී දොර ජනෙල් සියල්ල වසාගෙන සැඟවී සිටියහ. තවද නි⁣වස තුළ ඇති විෂබීජ ඉවත් කිරීම පිණිස ගිනි ඇවිළුෑහ. මෙය තරමක් අන්තරාදායක කාර්යයක් විය. මන්දයත්, එවිට නිවස තුළ ඇති ඔක්සිජන් සියල්ල ගිනි ඇවිළීම වෙනුවෙන් අවසන් වන බැවින් ඇතුළත සිටින පිරිස හුස්ම ගැනීමට නොහැකි ව මිය යා හැකි හෙයිනි.මෙය යම්තාක් දුරකට වැඩි වර්ධනය වී වර්තමානයේ අප විෂබීජ හරණය සඳහා සිදු කරන දුම් ඇල්ලීමේ ක්‍රියාවලිය දක්වා පැමිණි බව සිතිය හැකිය.
  • අසනීපයක් වැළඳී ඇති පුද්ගලයෙකු හට දින කිහිපයක් යන තුරු නෑමෙන් වැළකීමට උපදෙස් ලැබීම සාමාන්‍ය දෙයකි. එහෙත් රෝගයකින් බේරීම සඳහා නො නා සිටීම තරමක් අසාමාන්‍ය බව පෙනේ. පැරැණි මධ්‍යකාලීන යුගයේ මිනිසුන් වසංගතවලට බියෙන් එසෙ නෑම ප්‍රතික්ෂේප කළහ. මන්දයත් එකල විසූ වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ නාන විට ඇති වන සිසිලත් සමඟ සිරුරේ රෝමකූප විවෘත වී, සුළඟේ පවතින රෝග බීජ නීරෝගී පුද්ගලයෙකුගේ ශරීරය තුළට ඇතුළු විය හැකි බව යි. 
  • එකල විසූ ජනතාව සුරතලුන් ලෙස වැඩි වශයෙන් ඇති කළේ බල්ලන් පමණි. වර්තමානයේ දී මෙන් නොව පූසන් නිවෙස්වල දක්නට ලැබුණේ අඩුවෙනි. එහෙත් දේවාල හා පූජනීය ස්ථානවල පූසන් ඇති කළ බවට සාක්ෂි තිබේ. කෙසේ වුවත් රට පුරා වසංගතයක් පැතිර යන අවස්ථාවක ජනතාව කෙතරම් බියට පත් වූවාද යන්න කියතොත්, අතට හසුවන හසු වන පරිදි බල්ලන් හා පූසන් මරා දැමීමට උත්සාහ කළහ. මන්දයත්, ඔවුනට අනුව මෙම සතුන් දෙවර්ගය රෝග වාහකයෝ වූහ.
  • රෝගයක් පැතිරීගෙන යන විට රජය පමණක් නොව අප ද උත්සාහ කරනුයේ නගර හා මංමාවත් සියල්ල පිරිසිඳු කිරීමට ය. එහෙත් මධ්‍යකාලීන යුගයේ විසූ තුන්වන එඩ්වඩ් රජතුමා ඔහුගේ රට සම්පූර්ණයෙන් ම කැළි කසල, අසූචි ආදී අපිරිසිඳු දේවලින් පිරවීය. එයට හේතුව වූයේ පැතිරීගෙන යන වසංගතය, අසූචි හා කසළවලින් පිටවෙන අධික දුර්ගන්ධය හරහා බල රහිත කිරීම ය. මෙය කෙතරම් ප්‍රායෝගික ද යන්න සැක සහිත ය.
  • රතුලූනු සිරුර පුරා ඇතිල්ලීම දඔවුන් ගත් එක් ක්‍රියාමාර්ගයක් විය. රතුලූනු වනාහි විෂබීජ නාශකයක් බව වර්තමාන වෛද්‍යවරුන්ගේ ද මතයයි. හදිසියේ කඩියෙකු වැනි කෘමියෙකු දෂ්ට කළ විට ද අපි රතුලූනු ගෙඩියක් තලා, දෂ්ටනය සිදු වූ ස්ථානයේ ආලේප කරමු. මද වේලාවකින් ඉදිමුම බැස, විෂ ඉවත් වෙයි. එබැවින් එකල ද යොදා ගත්තේ එම ප්‍රතිකර්මය ම බව සිතිය හැකි ය.
  • බෙහෙත් වර්ග හා පොඩි කර ගත් නයෙකු එකට තම්බා, බෙහෙත් වතුරින් ස්නානය කිරීම ද එක් ක්‍රමයක් විය. බෙහෙත් වර්ග තැම්බීම කුමන කාලයක දී වුවත් ප්‍රායෝගික ය. එහෙත් නයෙකු තම්බා ගැනීම තරමක් භයානක වනුයේ එම සර්පයාගේ සිරුර හරහා වෙනත් විෂ වර්ග මනුෂ්‍ය ශරීරය⁣ට ඇතුළු විය හැකි බැවිනි. 
  • කපා ගන්නා ලද පරවියෙකුගේ ලේ සිරුර පුරා ආලේප කිරීම ද සිතා ගත නොහැකි ක්‍රමයකි. එයින් ඔවුන් බලාපොරොත්තු වූයේ කුමක්ද යන්න සහ ලේ සිරුර පුරා ආලේප කිරීමේ ගැටලු පිළිබඳ සිතා බැලිය යුතු වේ. ඇතැම් විට මෙය ද ඔවුන්ගේ ආගමික විශ්වාස පදනම් කොට ගෙන සිදු කෙරුණා විය හැකි ය. මන්දයත් ආගමානුකූල ව පරවියා යනුශුද්ධ වූ සත්ත්වයෙකු ලෙස සලකන ලද බැවිනි.

ශ්‍රීනි ලංකා ජයකොඩි