Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බ්‍රෙක්සිට් හේතුවෙන් වෙනස් වන එක්සත් රාජධානිය.

“බ්‍රෙක්සිට්” යනුවෙන් හැඳින්වෙනුයේ එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීම යි. එනම්, Britainහි Br සහ exit යන වචන දෙකෙහි එකතුවයි. 2016 ජුනි මස එක්සත් රාජධානිය තුළ පැවැත්වුණු ජනමත විචාරණයේ දී සිය රට යුරෝපා හවුලෙන් ඉවත් කර ගැනීමට කැමැති වෙමින් ඡන්දය දුන් බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රතිශතය 52%ක් පමණ විය. ඒ අනුව යුරෝපා හවුලට අදාළ ගිවිසුමේ 50 වන වගන්තිය ප්‍රකාර වසර දෙකක තාවකාලික සහන කාලයක් එක්සත් රාජධානියට ලැබිණි. කෙසේ හෝ එම කාලය වරින් වර දිග්ගැස්සුණු අතර 2021 ජනවාරි 01 වනදායින් යුරෝපා සංගමය හා එක්සත් රාජධානිය අතර තිබූ එකඟතාව අවසන් විය. 

මෙම වෙන් වීමත් සමඟ එක්සත් රාජධානියට මෙතුවක් ලැබුණු වාසි කිහිපයක් ම අහිමි වූ බව පෙනේ. එසේ ම ඒම ඉවත් වීම එක්සත් රාජධානියේ දේශපාලන තත්ත්වයට ද බලපානු ඇති බව පෙනී යයි. විශේෂයෙන් ම එරට සමඟ ගනුදෙනු කිරීමට සූදානම් සිටින තුන්වන ලෝකයේ රටවලට මෙම ඉවත් වීම බෙහෙවින් බල පැවැත්වෙනු ඇති අතර, අනෙකුත් රටවල් තුළට ද නොසිතන ආකාරයේ සම්බාධක කිහිපයක් පැනවෙනු ඇත.

 1.යුරෝපයීය සංචාරක නීති වෙනස් වේ.

ජනවාරියේ සිට එක්සත් රාජධානියේ පුරවැසියන්ට වීසා බලපත්‍රයක් නොමැතිව යුරෝපා සංගම් රටවල් සහ අයිස්ලන්තය, නෝර්වේ, ස්විස්ටර්ලන්තය, ලිච්ටෙන්ස්ටයින් යන රටවල් අතර දින 90ක් පමණක් ගමන් කළ හැකි ය. එහෙත් ඊට ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රයේ අවම වශයෙන් මාස හයක්වත් ඉතිරි ව තිබිය යුුතු ය.

සෞඛ්‍ය ආවරණයක් සහිත සංචාරක රක්ෂණයක් ගැනීමට ඔවුන්ට සිදු වනු ඇත. දැනට ඔවුන්ගේ වර්තමාන EHIC කාඩ්පත කල් ඉකුත් වන දිනය දක්වා වලංගු වන අතර අනාගතයේ දී එය නව යෝජනා ක්‍රමයක් මඟින් ප්‍රතිස්ථාපනය කරනු ලැබේ. එහෙයින් සෞඛ්‍ය ආවරණයක් සහිත සංචාරක රක්ෂණයක් ලබා ගැනීමට බ්‍රිතාන්‍ය රජයෙන් ඔවුනට උපදෙස් දෙනු ලැබේ.

නොමිලේ රෝමින් භාවිත කිරීමේ අවස්ථාව ඔවුනට අහිමි වනු ඇත. එහෙයින් ඔවුන්ගේ ජංගම දුරකථන ජාලයේ සැපයුම්කරු සමඟ කතාබහ කොට නව රෝමින් පහසුකම හා අය වන ගාස්තු පිළිබඳ දැනුවත් වීමට සිදු වනු ඇත.

සුරතල් සතුන් සමඟ ගමන් කරන්නේ නම් සංචාරය ආරම්භ කිරීමට දින 10කටවත් ප්‍රථම සෞඛ්‍ය සහතිකය ගත යුතු ය. මේ වන විට යුරෝපා සංගමයෙන් ලබා දී තිබූ  සුරතල් සතුන්ට අයත් ගමන් බලපත්‍ර ක්‍රමය තවදුරටත් අදාළ නොවේ.

දේශසීමා තරණයේ යුරෝපා සංගමයේ, ඊ.ඊ.ඒ. සහ ස්විස් පුරවැසියන් රැඳී සිටින පෝළිම්වල තවදුරටත් රැඳී සිටීමට ඔවුන්ට අවස්ථාවක් නැත. ඔවුන් ද සාමාන්‍ය මඟී තීරුවේ රැඳී සිටිය යුතු ය.

සැලකිය යුතු කරුණක් වන්නේ, කොවිඩ් 19 වසංගතය නිසා, එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා සංගම් නොවන රටවල සංචාරකයින්ට මේ මොහොතේ සිට අත්‍යවශ්‍ය හේතු කිහිපයක් හැරෙන්නට යුරෝපා සංගමයට අයත් රටවල් තුළට පැමිණීමට නොහැකි වීම යි.

 2. තීරුබදු රහිත සාප්පු සවාරි.

එක්සත් රාජධානිය යුරෝපා සංගම් සාමාජික සිටියෙ දී ඔවුනට තමන්ගේ රටෙහි තීරුබදු නියමිත පරිදි ගෙවා තිබේ නම්, යුරෝපා සංගමයට අයත් ඕනෑම රටක් තුළ දී තීරුබදු ගෙවීමකින් තොර ව අසීමිත ප්‍රමාණයකින් මත්පැන් ආදී භාණ්ඩ සිය රට තුළට හෝ වෙනත් ස්ථානයකට රැගෙන යාමට අවසර තිබිණි.

2021 දී, බ්‍රිතාන්‍ය ජාතිකයින් යුරෝපා සංගමයට අයත් රටක සංචාරය කරන්නේ නම් තීරුබදු රහිත සාප්පු සවාරි යාමට අවසර ඇතත් ගෙන යා හැකි භාණ්ඩ ප්‍රමාණය සීමා සහිත වනු ඇත. නිදසුනක් ලෙස ඔවුනට ගෙය යාමට හැකි වන්නේ වයින් ලීටර 18ක් සහ බියර් ලීටර 42ක් පමණි.

3. යුරෝපා සංගමයේ ජීවත් වන බ්‍රිතාන්‍යයන්.

ඔවුන් දැනටමත් යුරෝපා සංගම් රටක ජීවත් වන්නේ නම්, මුදල් ආපසු ගැනීමේ ගිවිසුම යටතේ යම් ආරක්ෂාවක් ලැබෙනු ඇත. එහෙත් ඔවුනට පදිංචිය සඳහා ලියාපදිංචි වීමට හෝ අයදුම් කිරීමට, නව ලේඛන ලබා ගැනීමට හෝ නිශ්චිත අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය වනු ඇත. විශේෂයෙන් රැකියා ලබා ගැනීමේ දී රක්ෂණ ගැටලු ඇති විය හැකි ය. උදාහරණයක් ලෙස, ප්‍රංශයේ වෙසෙන එක්සත් රාජධානියේ ජාතිකයින්ට නව පදිංචිකරුවන් ලෙස බලපත්‍ර ලබා ගැනීමට සිදු වනු ඇත.

2021 දී යුරෝපා සංගමයට අයත් රටකට යාමට අදහස් කරන්නේ නම්, ඔවුනට තවදුරටත් එහි ජීවත් වීමට, වැඩ කිරීමට, ඉගෙනීමට හෝ විශ්‍රාම ගැනීමට ස්වයං අයිතියක් නැත. සංචාරක ව්‍යාපාරය හැර වෙනත් හේතුවක් නිසා කිසිවෙකු එහි යන්නේ නම්, වීසා බලපත්‍රයක් අත්‍යවශ්‍ය වේ.

 4. එක්සත් රාජධානියේ යුරෝපා සංගම් පුරවැසියන්.

යම් කිසිවෙකු 2020 දෙසැම්බර් 31 වන විට එක්සත් රාජධානියේ වෙසෙන යුරෝපා සංගම් පුරවැසියෙකු නම් ඔහුගේ අයිතිවාසිකම් 2021 ජුනි 30 දක්වා බල පවත්වනු ඇත. එහෙත් ඉන් පසුව රැඳී සිටිය හැකිදැයි පරීක්ෂා කර බැලිය යුතු ය. එක්කෝ ඔහුට එක්සත් රාජධානියේ පුරවැසියෙකු වීමට සිදු වනු ඇත. නැත්නම් නැවත සිය රටට පැමිණීමට සිදු වනු ඇත.

 5. නව එක්සත් රාජධානියේ සංක්‍රමණ පද්ධතිය.

ජනවාරියේ සිට එක්සත් රාජධානියට යාමට අවශ්‍ය විදේශීය පුරවැසියන් සඳහා නව ලකුණු පදනම් කරගත් පද්ධතියක් ඇත.

යුරෝපා සංගමයට හා යුරෝපා සංගම් නොවන පුරවැසියන්ට එක හා සමානව සලකන බවත් එක්සත් රාජධානියේ ආර්ථිකයට දායක විය හැකි පුද්ගලයින් ආකර්ෂණය කර ගැනීම අපේක්ෂා කරන බවත් රජය දන්වා තිබේ.

රැකියාව, පදිංචිය හෝ අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානියට යාමට අවශ්‍ය පුද්ගලයින්ට වීසා අයදුම් කළ හැකි ය. එහෙත් අදාළ පුද්ගලයා හට කිසිදු අමතර සුදුසුකමක් හෝ කුසලතා නොමැති නම් වීසා නිකුත් නොකෙරෙනු ඇත. වීසා බලපත්‍ර සඳහා අයදුම් කරන පුද්ගලයින් සෞඛ්‍ය සේවකයින් නොවන්නේ නම් වසරකට එක් පුද්ගලයෙකුට ඩොලර්  624ක සෞඛ්‍ය අධිභාරයක් ගෙවීමට ද සිදු වේ.

6. භාණ්ඩ විකිණීම හා මිළට ගැනීම.

එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය එකඟ වී ඇත්තේ දේශසීමා තරණය කරන විට එකිනෙකාගේ භාණ්ඩ සඳහා බදු අය නො කිරීමට යි. එසේ  ම ඔවුන්ට ලෝකයේ වෙනත් රටවල් සමඟ ගනුදෙනු කරන ආකාරයට රේගු බලපත්‍ර ලබා ගැනීමට ද සිදු වේ.

යම් කිසිවෙකුගේ වෘත්තීය සුදුසුකම් ස්වයංක්‍රීයව පිළිගැනීමක් තවදුරටත් නොපවතිනු ඇත. කිසියම් රැකියාවකට ඔවුන් සුදුසුදැයි තහවුරු කර ගැනීම සඳහා  නීති රීති පරික්ෂා කෙරෙනු ඇත.

යුරෝපා සංගමය පමණක් නොව එක්සත් ජනපදය වැනි වෙනත් රටවල් සමඟ ද තමන්ගේ වෙළඳ ගනුදෙනු සාකච්ඡා කර ගැනීමට එක්සත් රාජධානියට නිදහස තිබේ. මෙවැනි අවස්ථාවල දී එක්සත් රාජධානිය යුරෝපා සංගමයට සමීපව සිටීම වඩා වැදගත් යැයි විචාරකයින් පැවසුව ද බ්‍රෙක්සිට් ආධාරකරුවන් පවසන්නේ මෙය දිගුකාලීනව ආර්ථික ප්‍රතිලාභයක් වනු ඇති බව යි.

 7. උතුරු අයර්ලන්තයට මේ නීති කිසිවක් අදාළ නැත.

තවමත් යුරෝපා සංගමයෙන් වෙන් වී නොගිය උතුරු අයර්ලන්තය සහ අයර්ලන්ත සමූහාණ්ඩුව අතර මුරපොලවල් නොමැති එහෙත්, නොපෙනෙන දේශ සීමාවක් තබා ගැනීමට එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය එකඟ වී ඇත.

එබැවින් උතුරු අයර්ලන්තය යුරෝපා සංගමයට අදාළ බොහෝ නීති රීති එලෙසින් ම අනුගමනය කරනු ඇත. එයින් අදහස් වන්නේ ඔවුන්ගේ වාහනවලට පරීක්‍ෂා කිරීමකින් තොරව යුරෝපානු දේශ සීමා හරහා ධාවනය කළ හැකි බව යි. කෙසේ වෙතත්, ඒ වෙනුවට එක්සත් රාජධානියේ සෙසු ප්‍රදේශවලින් උතුරු අයර්ලන්තයට පැමිණෙන ඇතැම් භාණ්ඩ සඳහා නව බලපත්‍ර අවශ්‍ය වනු ඇත.

මෙම තීරණයෙන් වඩාත් හිරිහැර විඳිනු ඇත්තේ බ්‍රිතාන්‍යයන් ය. ඔවුන්ගෙන් 50%කට මඳක් වැඩි ගණනක් මෙම හිරිහැරවලට ලක් වීමට කැමැත්ත පළ කර තිබුණු බව මෙහි සඳහන් කර තිබුණ ද, විශාල ගණනක් ඊට එරෙහි වූ බව ද සැලකිය යුතු ය. අනෙකුත් රටවල් මෙලෙස හිරිහැර විඳ දරා ගනිමින් එක්සත් රාජධානිය සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට එකඟ වනු ඇත්ද? යන්න තවත් ගැටලුවකි. කෙසේ වුවත් ජනවාරි 1 වන දා  සිට එක්සත් රාජධානිය බොහෝ ව්‍යාපාරික හා දේශපාලනික වෙනස්කම් සඳහා සූදානම් ව සිටියි. එක්සත් රාජධානියේ වෙසෙන ජනතාවගේ කැමැත්තෙන් සිදු වූ මෙම වෙන් වීමේ බලපෑම එරටට කෙසේ දැනේවි ද යන්න දැන ගැනීමට තවත් මාස කිහිපයක් බලා සිටිය යුතු ය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author