Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පුරාණ ජනතාවගේ අමුතු විශ්වාස.

1.ඔබ දන්නා පරිදි ශුක්‍රාණුවල අඩංගු  වන්නේ මොනවාද? ශුක්‍රාණුවක් ඩිම්බයක් සමඟ සංසේචනය වීමෙන් කළලයක් උපදින බවත්, සතියෙන් සතිය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන කළලය සාමාන්‍යයෙන් සති දොළහක් පමණ ගත වන විට මිනිසෙකුගේ හැඩරුව ගන්නා බවත් අපි දනිමු. 

එහෙත් මෙයට වසර ගණනාවකට පෙර විසූ මිනිසුන් විශ්වාස කළේ එසේ නොවේ. ඔවුනට අනුව පුරුෂයෙකුගේ ශුක්‍රාණු තුළ සිටින්නේ ඇසට නොපෙනෙන තරම් කුඩා වූ ද සම්පූර්ණයෙන් වැඩුණු දරුවෙකි. දරුවා කෙළින් ම මවගේ ගර්භාෂයට ඇතුළු වන අතර එහි දී මව් ඩිම්බවලට කළ හැකි කිසිදු දෙයක් නැත. මවගේ ආහාරවලින් පෝෂණය ලබන දරුවා තමාට වුවමනා ආකාරයෙන් වැඩෙන අතර, පියාගේ ශුක්‍රාණුවෙන් පැමිණි හෙයින් එම දරුවා සම්පූර්ණයෙන් ම පියාගේ හැඩරුව ගනී. සතියෙන් සතිය වෙනස් වන කළල පිළිබඳ කිසිදු දැනුමක් ඔවුනට නොතිබුණු අතර, කිසිවෙකු එවැනි දේ විශ්වාස කළේ ද නැත. මවගේ ගර්භාෂය යනු හුදෙක් සම්පූර්ණයෙන් වැඩුණු දරුවා මදක් විශාල කර ගැනීමට භාවිත කරන භාජනයක් පමණි. 

වෛද්‍ය විද්‍යාව එතරම් දියුණු නොවූ හෙයින් එම යුගයෙ දී “ස්කෑන්”, “එක්ස් රේ” වැනි යන්ත්‍ර තිබුණේ නැත. එහෙයින් තමන් විශ්වාස කරගෙන සිටින දෙය සත්‍යයක් නොවන බව අවබෝධ කර ගැනීමට මධ්‍යකාලීන යුගය වන තෙක් ම මිනිසුන්ට හැකියාවක් නොතිබුණු බව පෙනේ.

2. පුරාණ යුගයේ මුද්‍රණ යන්ත්‍ර නොතිබුණු වකවානුවක දේශයේ මුද්‍රණ යන්ත්‍ර ලෙස කටයුතු කිරීමට සිදු වූයේ පූජකවරුන්ට ය. ආගමික ග්‍රන්ථ පමණක් නොව වෙද පොත් හා වෙනත් නොයෙක් ආකාරයේ ලියවිලි යන සියල්ල ම සිය දහස් වාර ගණනක් පිටපත් කිරීමට ඔවුන්ට සිදු විය. එවන් විටෙක අකුරු වැරදීම, වචන අඩු වීම, අදහස් පැහැදිලි නොවීම ආදිය ස්වාභාවික මිනිස් අත්වැරදීම් බව ඕනෑ ම කෙනෙකුට වැටහේ. එහෙත් එම යුගයේ විසූ ජනතාව හෝ අදාළ පූජකවරුන් පවා එම අත්වැරදීම් නොතකා හැරිය යුතු කරුණු ලෙස සැලකුවේ නැත.

සැබැවින් ම ඔවුන් වැරදීම්වලට අතිශයින් බිය වූ බව පෙනේ. මිත්‍යාව රජ කළ එම යුගයේ අත්වැරදීම්වල තීරකයා වශයෙන් ක්‍රියා කළේ “ටිටිවිලස්” නම් යක්ෂයෙකු බව ජනතාව සිතූහ. මෙම යක්ෂයා කිසියම් පූජකවරයෙකු ග්‍රන්ථ පිටපත් කිරීමෙහි යෙදෙන සෑම අවස්ථාවක ම එම පූජකවරයා ආසන්නයේ සිට ඉතා සැලකිල්ලෙන් බලා සිටින බවත්, පිටපත වැරදුනහොත්, එම වැරදි සියල්ල මල්ලකට එකතු කර ගන්නා බවත් විශ්වාස කෙරිණි. වැරදීම් වැඩි වන්නට වන්නට පූජකවරයා ලෙඩ රෝගවලින් ඔත්පල විය. තව ද, මිය ගිය පසු ඔහු ස්වර්ග රාජ්‍යයට ඇතුළු වනවා ද, නැතහොත් නරකාදියට යනවාදැයි තීරණය කළේ ද ටිටිවිලස් ය. ලෝක අවසානයේ දී මිය ගිය ආත්ම වෙත පැමිණෙන ටිටිවිලස්, පූජකවරයා කළ වැරදි ප්‍රමාණය ගණනය කොට, වැරදි වැඩි නම් ඔහුට දඬුවම් දෙන බවට ජනතාව තුළ විශ්වාසයක් තිබිණි. 

සැබැවින් ම මෙම යක්ෂ කතන්දරය කරළියට පැමිණියේ පිටපත් කිරීමේදී සිදු විය හැකි වැරදි අවම කිරීම සඳහා බව නිසැක ය. එය වූ කලි එක්තරා ආකාරයක මානසික ප්‍රතිකාරයකි. පෙර යුගයේ දී නොයෙක් ගැටලු මඟ හරවා ගැනීම සඳහා “බිය” නමැති ප්‍රතිකර්මය ද යොදා ගත් බව පෙනී යයි. වර්තමානයේ ඇතැම් ආසියාතික රටවල බලි තොවිල් යාග හරහා සුව කෙරෙන ලෙඩ රෝගවල මූලික හරය ද “බිය” ම වෙයි.

3. ඔබ එක් තැනකත් ඔබේ හදවත තවත් තැනකත් නතර වන්නේ ඔබ කාට හෝ සත්‍ය වශයෙන් ම ප්‍රේම කිරීමට පටන් ගත් දා සිට ය. සිය ආදරවන්තයා හෝ ආදරවන්තිය සමඟ එක් වීමට නොලැබී මිය ගියහොත් ඔබේ සිරුර එක් තැනක මිහිදන් වද්දී, හදවත තවත් තැනක ජීවත්වනු ඇත. එනමුත් මෙයට වසර ගණනාවකට ප්‍රථම විසූ ඇතැම්හු මළ සිරුරුවල හදවත කපා ඉවත් කොට ගත්හ. එම හදවතේ කොටස් එක් ස්ථානයක වළලා දැමුණු අතර ඉතිරි ශරීරය වෙනත් ස්ථානයක මිහිදන් කෙරිණි.

මෙහි අරමුණ වූයේ මිය ගියපසු නැවත නැඟිටීම වැළැක්වීම යි. එම යුගයේ ජනතාව විශ්වාස ක⁣ළේ මරණින් මතු ජීවිතයක් පවතින බව යි. එහෙත් ඇතැම්හු එම අලුත් ජීවිතය කුමන ආකාරයේ එකක් වනු ඇත්දැයි බිය වූහ. අලුත් ජීවිතය තමන් සිටියාට වඩා පහත් ගණයේ එකක් වුවහොත් එය දරා ගත හැකි නොවනු ඇතැයි සිතු ඔවුහු, නොයෙක් ඖෂධ වර්ග හරහා සිය ශරීරය නැවත නැඟිටීම වළක්වා ගැනීමට උත්සාහ කළහ. 

එයිනුත් නොනැවතී වැඩි පරෙස්සම තකා මිය ගිය පසු ශරීරයෙන් හදවත ගලවා ඉවත් කිරීමට සිය පෞද්ගලික වෛද්‍යවරයා හට උපදෙස් දෙන ලදී. හදවත නොමැති ව ජීවත් විය නොහැකි හෙයින් තමන් නැවත නොනැඟිටිනු ඇති බවට විශ්වාසයෙන් ඔවුහු මිය ගියහ. “ඇනී බොලෙයින්”, “පළමුවන රිචඩ් රජු”, “ෆ්‍රෙඩ්රික් චොපින්” වැනි පොහොසතුන් මෙම උපක්‍රමය භාවිත කළ බවට සාක්ෂි ලැබී තිබේ.

ශ්‍රීනි ලංකා ජයකොඩි.