Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පිළිකා රෝගීන් සැනසූ නිර්වින්දන ක්‍රමය.

වර්තමානයේ දී රෝගීන් හට නිර්වින්දනය කෙතරම් දුරට ප්‍රයෝජනවත් වන්නේ ද යන බව ඔබ දනියි. ප්‍රථම වරට සාර්ථක අන්දමින් නිර්වින්දනය යොදා ගනිමින් ශල්‍යකර්මයක් සිදු කරනු ලැබුවේ 1846 වසරේ ඇමරිකානු රෝහලක දී ය. එහෙත් එයට පෙර ද, එනම් නිර්වින්දන ක්‍රමය පර්යේෂණ මට්ටමේ පවතින විට දී පවා ඇතැම් රෝගීහු සිය වේදනාව අඩු කර ගැනීම සඳහා මෙම ක්‍රමයේ පිහිට ඉල්ලා තිබිණි. 

පිළිකා රෝගීන් වැඩි වශයෙන් එයින් ඵල ලබා ගත් බව පෙනේ. 1804 දී පමණ ජපානයේ ජීවත් වූ 60 හැවිරිදි කාන්තාවක ටික දිනකින් වටහා ගත්තේ ඇයටත් ඇගේ පවුලේ අනෙකුත් සාමාජිකාවන්ට මෙන් පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව ය. එහෙත් ඔවුන් කළ ලෙස මරණය එන තෙක් බලා සිටීමට ඇය අකැමැති වූවා ය. ඒ වෙනුවට දිවි ගලවා ගැනීමට ඇති එක ම ක්‍රමය, එනම් නිර්වින්දනය කොට ශල්‍යකර්මයකින් පිළිකාව කපා ඉවත් කිරීමේ ක්‍රමය අත්හදා බැලීමට එම කාන්තාව හිත හදා ගත්තා ය. ශල්‍යකර්මය සාර්ථක විය. ඇය ජීවත් වීමට වාසනාව ලැබී ය.

සයිෂු හැනෝකා (1760-1835) කියෝතෝහි වෛද්‍ය විද්‍යාව හැදෑරුවේ ය. තුන්වන සියවසේ චීන ශල්‍ය වෛද්‍යවරයකු වන හුවා ටෝ විසින් රෝගීන්ට වේදනාවෙන් තොර ව නිදා ගැනීමට හැකි වන පරිදි සංයුක්ත ඖෂධයක් නිපදවා ඇති බවට වූ කතන්දර හේතුවෙන් ඔහු නිර්වින්දනය පිළිබඳ අදහස කෙරෙහි උනන්දුවක් දැක්වීය. හැනෝකා චීන වෛද්‍යවරයාගේ ඖෂධයට සමාන සූත්‍ර අත්හදා බැලූ අතර ඒ හරහා උණුසුම් පානයක් වන සුසෙන්සන් නිෂ්පාදනය කිරීමට සමත් විය. ඔහු යොදා ගත් උද්භිද විද්‍යාත්මක අමුද්‍රව්‍ය අතර ඩැටුරා මෙටෙල් (‘යක්ෂයාගේ හොරණෑව’), “මන්ක්ෂුඩ්” නමැති විෂ සහිත ශාක සහ ඇන්ජලිකා ඩෙකර්සිවා යනාදී පැළෑටි වර්ග අඩංගු විය. විද්‍යාත්මක ව සැලකූ කල මේ සියලු ශාක තුළ සිහිය නැති කරවන ද්‍රව්‍ය අඩංගු වේ. මෙමඟින් කිසියම් පුද්ගලයෙකු පැය 6 – 24 අතර කාලයක් සිහිසුන් කර තැබීමට හැකි විය. හැනෝකාගේ නිර්වින්දන ඖෂධය භාවිතයෙන් පිළිකා රෝගීන් 150කගේ පමණ ජීවිත බේරා ගැනීමට හැකි විය. 

සිසේරියන් සැත්කම්.

“සිසේරියන්” යන වදන භාෂාව තුළට පැමිණියේ සීසර් අධිරාජ්‍යයාගේ කාලයේ දී සිදු කළ ශල්‍යකර්ම ක්‍රමයක් නිසාවෙන් බවට ප්‍රසිද්ධ වී තිබුණ ද සැබැවින් ම එය පැමිණ තිබෙන්නේ “කැපීම” සඳහා ලතින් වචනය වන “caedare” යන්නෙනි. මුල් යුගවල දී උගන්ඩාවේ ශල්‍ය වෛද්‍යවරුන් විසින් ද ජීවිතාරක්ෂක සිසේරියන් සැත්කම් සිදු කරන ලද බවට සාක්ෂි තිබේ.

1884 පමණ වන විට සිසේරියන් සැත්කම යනු නව අදහසක් නොවීය. සීසර්වරුන්ගේ කාලයේ සිට ම, දරු ප්‍රසූතියේ දී කාන්තාවක මිය ගියහොත් හෝ අදාළ කාන්තාව දරුවා බිහි කිරීමට තරම් ශක්ති සම්පන්න නොවන්නේ නම් උදරය කපා දරුවා පිටතට ගැනුණු අතර, එම කාන්තාවට මිය යාමට ඉඩ සලසන ලදී. මෙය රෝම නීතිය විය. මන්දයත් එකල ඔවුන් මුල් තැන දුන්නේ සිය ජනගහණය වර්ධනය කර ගැනීමට පමණක් වන බැවිනි. එවන් විටෙක අලුත ජීවය ලබන එකදු බිළිඳෙකුට හෝ මිය යාමට ඉඩ දිය නොහැකි විය.

ශතවර්ෂ ගණනාවක් තිස්සේ, වරින් වර සිසේරියන් සැත්කම් මගින් මවගේ සහ දරුවාගේ ජීවිත බේරා ගත හැකි බවට වාර්තා විය. එනමුත් විෂබීජ නාශක ක්‍රම සහ නිර්වින්දනය හඳුන්වා දීමෙන් පසුව පවා සිසේරියන් සැත්කම යනු අතිශයින් භයානක, අවසාන තුරුම්පුව ලෙස පමණක් යොදා ගත හැකි ක්‍රමය විය. එහෙයින් වසර කිහිපයකට පෙර අප්‍රිකානු රාජධානියේ බුනියෝරෝ කිටාරාහි දී සිදු කරන ලද සාර්ථක සැත්කමක් පිළිබඳ මිෂනාරි වෛද්‍යවරයෙකු වන රොබට් ෆෙල්කින්ගේ දේශනයක් ඇසීමෙන් එඩින්බරෝ ශල්‍ය වෛද්‍යවරු පවා පුදුමයට පත් වූහ.

ඔවුන් එදා එම මෙහෙයුම ජීවිත දෙක ම බේරා ගැනීමේ අරමුණින් සිදු කළ බව ෆෙල්කින් වාර්තා කළේය. එවෙලෙහි අදාළ ගැබිණි මව කෙසෙල් වයින් යොදා ගනිමින් අර්ධ වශයෙන් නිර්වින්දනය කර තිබණි. ශල්‍ය වෛද්‍යවරයා මෙම වයින් ම භාවිත කරමින් ශල්‍යකර්මය කරන ස්ථානය සහ ඔහුගේ දෑත් ද සෝදා ගෙන තිබිණි. එමඟින් ආසාදන පාලනය කෙරුණු බවට විශ්වාස කෙරිණි. පසුව ඔහු මවගේ උදරය මත සිරස් කැපීමක් සිදු කර, උදර බිත්තිය හා ගර්භාෂ බිත්තියේ කොටසක් හරහා ගර්භාෂ බිත්තිය තව දුරටත් බෙදී යාමට ඉඩ නොදී දරුවා පිටතට ගෙන තිබිණි. වැදෑමහ ඉවත් කිරීම සහ සංකෝචනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගර්භාෂය මිරිකීම ද මෙම මෙහෙයුමට ඇතුළත් විය.

පසුව ක්‍රම ක්‍රමයෙන් මෙම සැත්කම ජනප්‍රිය විය. එය කෙතරම් පහසු හා ආරක්ෂිත බවට පත් වූයේ ද යන්න කියතොත් අද වන විට බොහෝ මව්වරුන් එම සැත්කමට ලක් වීම සඳහා වෛද්‍යවරුන්ගෙන් ආයාචනා කරමින්, දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කමට භාජනය වන බව පෙනේ.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author