Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

‘S.F ලොක්කා’ ගැන විමර්ශනවලට ‘මෑණි’ අත තිබ්බාද?

අනුරාධපුරයේ සිටි ‘එස්.එෆ්. ලොක්කා’ නමැත්තා වෙඩි වැදී මිය යන්නේ ඉකුත් වසරේ මහ මැතිවරණය පැවති අගෝස්තු 05 දාය.

ඔහු ගැන දැන් බොහෝ දෙනකුට මතකයක් නැත.

තවත් එක් අපරාධකාරයකුගේ ඝාතනයක් ලෙස එය ඉතිහාස පොතට එක් වී හමාර ය.පොලිසියට මෙය තවත් එක් අපරාධයකි; මනුෂ්‍ය ඝාතනයකි.

එම නිසා පොලිසිය ‘එස්. එෆ්. ලොක්කාගේ’ ඝාතකයන් සොයා පරීක්ෂණ ආරම්භ කළේ ය.

නමුත්, එම අපරාධය තවමත් විසඳා නැත. නොවිසඳුණු අපරාධ ගොන්නට මෙයත් එක්ව තිබේ. පොලිසියට අපරාධකරුවන් සොයා ගත නොහැක්කේ ඉහළ දේශපාලන බලපෑමක් නිසා හෝ වෙනත් බලපෑමක් එල්ල වුවහොත් පමණක් ය යන්න ප‍්‍රසිද්ධ කාරණයකි.

එලෙස නැවතුණ පරීක්ෂණ ආරම්භ වූ පසු අපරාධකාරයන් පොලිසිය විසින් සොයාගෙන තිබේ. එස්. එෆ්. ලොක්කාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ නතර වන්නේ එවැනි පසුබිමකින් ද යන්න ගැන මේ වන විට සැකයක් මතුව තිබේ.

ස්කොට්ලන්යාඩ් පොලිසියේ නිලධාරීන්ට සමාන දක්ෂකම් ඇති පොලිස් නිලධාරීහු මෙරට සිටිති. ඉරෝන් රණසිංහ නොහොත් එස්. එෆ්. ලොක්කා කරළියට එන්නේ වසන්ත සොයිසාගේ ඝාතනයත් සමගය. ඒ 2015 ඔක්තෝබර් 24දා ය. යුද හමුදා විශේෂ බළකායේ සේවය කොට ඉන් පැන ආ අයකු වූ එස්. එෆ්. ලොක්කා විසින් කැලැත්තෑව මිනීමැරුම් නඩුවේ සැකකරුවකු වූ සොයිසාගේ පුතා වූ වසන්ත සොයිසා ඝාතනය කරන්නේ පෞද්ගලික කෝන්තරයක් මත ය.

ගිනස් වාර්තා කිහිපයක් තැබු වසන්ත සොයිසා කරාටේ ශූරයෙකි. ඔහුගේ අනුරාධපුරයේ කැරොකේ රාත‍්‍රී සමාජ ශාලාවට නිතර ආ ගිය අයෙක් වූයේ, ඉරෝන් රණසිංහ නොහොත් එස්. එෆ්. ලොක්කා ය. එහි සිටි වේටර්වරියන්ට හිරිහැර කිරීමත්, බිල් නොගෙවීමත් යන කාරණා මත වසන්ත සොයිසා මොහුට පහර දී එළවා දමන අතර, නැවත එහි නොපැමිණෙන ලෙස ද තර්ජනය කරයි.

ඒ වන විට වසන්ත සොයිසාගේ කැරොකේ රාත‍්‍රී සමාජ ශාලාව සම්බන්ධයෙන් අනුරාධපුරයේ පැවතියේ විරෝධයකි. එය ප‍්‍රයෝජනයට ගන්නා එස්. එෆ්. ලොක්කා පැවැති විරෝධය දෙගුණ තෙගුණ කරමින් මෙම සමාජ ශාලාව කඩාබිඳ දැමීමට පිරිසක් සමග සමග පැමිණ පහර දෙන අතර, වසන්ත සොයිසා ද ඔවුන්ට එරෙහිව සටන් කිරීමට පැමිණීම නිසා මොවුහු ඔහු කපා කොටා ඝාතනය කරති.

වසන්තගේ ඝාතනයත් සමග සැඟව සිටින එස්. එෆ්. ලොක්කා පසුව අත්අඩංගුවට පත්ව වසරක කාලයක් සිරබත් කා ඇප මත නිදහස් වී පැමිණේ. පසුව ඔහු දැඩි සිංහල බෞද්ධයකු ලෙස පෙනී සිටින අතර, භික්ෂුන් වහන්සේලාගේ සහායත් ඔහුට හිමි වේ. මේ අතර මුස්ලිම් ව්‍යාපාරිකයකුගෙන් කප්පම් ගැනීමේ සිද්ධියක් පදනම් කරගෙන අත්අඩංගුවට පත් වන එස්. එෆ්. ලොක්කා එය ද වාර්ගික ප‍්‍රශ්නයක් ලෙස උළුප්පමින් ඔහුගේ ගෝලයෝ සමාජ මාධ්‍ය තුළ ප‍්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන යති.

සිංහල බෞද්ධ සළුවට මුවා වී අනුරාධපුරයේ හෙරොයින් ජාවාරම අතට ගන්නා එස්. එෆ්. ලොක්කා ඔහුගේ ගෝලයන් හරහා ජයටම මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යන්නේ ජනතා ඇසට වැලි ගසමිනි. ලීසිං සමාගමක්විසින් 2017 වසරේ දී ටියුෂන් ගුරුවරයකුගේ වාහනයක් රැගෙන යද්දී, එම ගුරුවරයා විසින් එස්. එෆ්. ලොක්කාට දුන් කොන්ත‍්‍රාත්තුවක් මත එම වාහනය යළි පැහැර ගැනීම නිසා ඔහු යළිත් පොලිස් අත්අඩංගුවට පත් විය.

ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයාගේ සමීප ආධාරකරුවකු ලෙස පෙනී සිටිමින්, ඔහු තව තවත් සිංහල බෞද්ධ ලේබලය අලවා ගැනීමට කටයුතු කළේ ය. ජනාධිපතිවරණයෙන් පසු පොදුජන පෙරමුණු රජයේ අනුරාධපුරය නියෝජනය කරන ප‍්‍රබල ඇමතිවරයකුගේ ආධාරකරුවකු ලෙස මොහු කටයුතු කළ බව එම ප‍්‍රදේශයට ප‍්‍රසිද්ධ රහසකි.

මෙවර මැතිවරණයේදී ද ඔහුට සහාය දක්වමින් මැතිවරණ ක‍්‍රියාවලියේ නිරතව සිට සිය පෙම්වතිය සමග මෝටර් රථයෙන් ගමන් කරද්දී, දහයියාගම හන්දියේ දී යතුරු පැදියකින් පැමිණි පිරිසක් ඔහුට වෙඩි තබා පලා යන අතර වෙඩි වැදීමෙන් ඔහු එම ස්ථානයේ දී ම මරණයට පත් වෙයි.

ප‍්‍රහාරයෙන් පසු එස්. එෆ්. ලොක්කා පැමිණි කාර් රථය ගිනි ගැනීමකට ද ලක් වෙන නමුත්, ඔහුට යාබද අසුනේ සිටි කාන්තාව පිටතට පැමිණ කෑ කෝ ගසද්දී, පොලිසිය පැමිණ එස්. එෆ්. ලොක්කා රෝහල්ගත කළ ද, ඔහු මිය ගොස් ඇති බව වෛද්‍යවරු තහවුරු කරති. කාර් රථය ගිනි ගත්ත ද, ඔහුගේ සිරුර රෝහලට රැගෙන යාම නිසා සිරුර පිළිස්සෙන්නේ නැත.

පොලිසිය පසුව එස්. එෆ්. ලොක්කාට වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය සොයා ගන්නේ අතරමග දමා ගොස් තිබිය දී ය. යතුරුපැදිය හසලක ප‍්‍රදේශයේ පදිංචි ආරක්ෂක අංශයකට සම්බන්ධ පුද්ගලයකුට අයත් එකක් බවට සොයා ගත් පොලිසිය මෙම හමුදා නිලධාරියාගෙන් හා ඔහුගේ නිවසේ සාමාජිකයන්ගෙන් ප‍්‍රශ්න කරන්නේ ය.ඊට ලැබෙන්නේ අපූරු පිළිතුරකි.

එනම් ඝාතන සිද්ධිය වීමට මාසයකට පමණ පෙර යතුරුපැදියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එය ගෙන ගොස් ගරාජයකට භාර දී තිබේ. එහි දී යතුරුපැදිය කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් තිබේ.

යතුරුපැදිය සොරකම් කළ බවට හිමිකරු පොලිසියට පැමිණිලි කරන්නේ නැත. එ් මන්දැයි පොලිසිය විමසූ විට ඔවුන් කියන්නේ, එයට පොලිසියට ගොස් වැඩක් නැතැයි කියා සිතූ බව ය.

එස්. එෆ්. ලොක්කාට වෙඩි තබන අවස්ථාවේ සිටි ඔහුගේ පෙම්වතිය එක්දරු මවකි. ඇගේ සැමියා ද හෙරොයින් ජාවාරමේ නිරතව සිටි අයකු වන අතර, ඔහු හෙරොයින් නඩුවකට සිරගත වූ පසු ඇය එස්. එෆ්. ලොක්කාගේ පෙම්වතිය ලෙස ජීවත් වූවා ය. ඝාතනයට ඇයගේ නීත්‍යනුකූල සැමියා සම්බන්ධ දැයි පොලිසිය විමර්ශන කළ ද, ඊට අදාළව තොරතුරු ද නොවී ය.

ඉන් අනතුරුව පොලිසිය යතුරුපැදිය පසුපස විමර්ශන පවත්වද් දී, හිටි අඩියේ විමර්ශන නතර වන්නේ කාටත් හොර රහසේය. ”දැන් ඔය විමර්ශන ඇති යැයි ලද නියෝගයක් මත පොලිස් විමර්ශන මන්දගාමී වූ බව පොලිස් නිලධාරියෙක් කීවේ ය.

එස්. එෆ්. ලොක්කා අනුරාධපුරයේ ‘මෑණි’ කෙනකු සමග කාලයක පටන් ගනුදෙනුවක් පැවැති බවට ද පොලිසියට තොරතුරු හෙළිදරව් වී තිබේ. එසේම එස්. එෆ්. ලොක්කාගේ හිතවත්තු ද මේ ගැන දැනසිටියහ.

නමුත්, පසුව මොවුන් දෙදෙනා අතර විරසකයක් හටගෙන ඇති අතර, පසුව එස්. එෆ්. ලොක්කා ඇයගෙන් ද කප්පම් ගැනීමට උත්සාහ කර ඇති බවට පොලිසිය තුළ කසුකුසුවක් පවතියි.

එහි දිගුවක් ලෙස මෙම ඝාතනය වූයේ ද යන්න පිළිබඳ සැකයක් පැවැතිය ද, ඊට අදාළ සාක්ෂි ලබා ගැනීමට නොහැකිව ඇත්තේ පරීක්ෂණ මන්දගාමී කර වීම හේතුවෙනි.

කෙසේ නමුත්, එස්. එෆ්. ලොක්කාගේ ඝාතනයත් කාලයේ වැලිතලාවෙන් වැසී යන තවත් එක් ඝාතනයක් පමණක් වනුයේ, ලංකාවේ තියරියට අනුව එයට ‘දේශපාලන හෝ ඉහළ බලපෑමක් ය’ යන න්‍යාය අනුගත වීම මතය.

© ලසන්ත වීරකුලසූරිය – ලංකා පුවත් පත (2021.01.17)