Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පස්සර කොරෝනා සිද්ධියෙන් අධ්‍යාපනය හෙල්ලෙයි – රට පුරා දරුවන්ට අහඹු PCR කරන්නැයි ගුරු සංගම් රජයෙන් ඉල්ලයි

පස්සර ජාතික පාසලේ සිසුන් 10 දෙනෙකුට කොරෝන රෝගය වැළදීමත් සමඟ පාසල් සිසුන් අතර රෝග ලක්ෂණ නොමැතිව කොරෝනා වෛරසය පවතින බව අනාවරණය වී තිබෙනවා.

ජාතික නිදහස් දින සමරුම් පෙළපාලිය සඳහා සහභාගී කරවන සිසුන් සඳහා අහඹු PCR පරීක්ෂණයක් සිදු කරන අතර වාරයේ මෙලෙස කොරෝනා අසාදිත සිසුන් හදුනාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මෙලෙස ආසාදීත සිසුන් හඳුනා ගැනීමත් සමග පාසලේ 12 සහ 13 ශ්‍රේණි වසා දමා ඇති බව සඳහන්.

මේ අතර ලංකා ගුරු සංගමය පවසන්නේ පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ පමණක් නොව දිවයිනේ ප්‍රදේශ රැසක පාසල් වලින් කොරෝනා ආසාදිත දරුවන් පිළිබඳ තොරතුරු වාර්තාවන බවයි.

මේ තත්වය මත පාසල් විවෘත කර තබන්නේ නම් දරුවන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ සෞඛ්‍ය ආරක්ෂව සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව ද ලංකා ගුරු සංගමය පෙන්වා දෙනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටර්ලින් මහතා පවසන්නේ සමස්ත ලංකාවම ආවරණය වන පරිදි පාසල් දරුවන් ඉලක්ක කරගත් අහඹු PCR පරීක්ෂණ පැවැත්වීමට රජය වහා කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බවයි.

ඒ සඳහා රජයට තම සංගමය විසින් බල කරන බවද ඔවුන් පෙන්වා දුන්නා.

පාසල් විවෘත කරන්නේ නම් දරුවන්ගේ සහ ආචාර්ය මණ්ඩලවල සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් රජය සහ අධ්‍යාපන අමාත්‍යංශය සම්පුර්ණ වගකීම ගත යුතු බවද ස්ටාර්ලින් මහතා පෙන්වා දෙනවා.

අවම වශයෙන් බස්නාහිර පළාතේ දරුවන් සඳහා හෝ නොමිලේ මුව ආවරණ ලබා දීමට හෝ රජය කටයුතු කල යුතු බවද ලංකා ගුරු සංගමය අප සමග අදහස් පල කරමින් සදහන් කළා.

කෙසේ වෙතත් දැනට වසා දමා තිබෙන බස්නාහිර පළාතේ සියලු පාසල් වල 11 ශ්‍රේණිය පන්ති එළඹෙන 25 වනදා නැවත විවෘත කිරීමට නියමිත අතර සෙසු ශ්‍රේණි පෙබරවාරි මස 15 වනදා විවෘත කිරීමට අධ්‍යපන අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටර්ලින් මහතා