Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නීතිය පොඩි මිනිහාට පමණ ද?

මහමඟ ගමන් ගන්නා විට මාර්ග නීතිවලට අවනත වීම අත්‍යවශ්‍ය බව අප ඉගෙන ගන්නේ ප්‍රාථමික ශ්‍රේණිවල දී ය. පසු කාලයක රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ දී ප්‍රශ්න 40කින් පමණ සමන්විත වන මාර්ග නීති හා සංඥා පිළිබඳ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීමට අපට සිදු වන අතර, ප්‍රායෝගික පරීක්ෂණයේ දී ද නියමිත නීති අනුගමනය කරනවා ද යන්න විශේෂයෙන් සලකා බැලේ. ඒ සියල්ලට මුහුණ දී, බලපත්‍රය ද පොකැට්ටුවේ දමාගෙන රථය පදවාගෙන යද්දීත් අප මාර්ග නීති කඩ කරනවාදැයි සැලකිලිමත් වීම පිණිස පොලිස් නිළධාරීහු මඟ දෙපස රැකවල් ලා සිටිති. 

එහෙත් මේ සියලු කාරණා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නම් අදාළ නොවන බව පෙනේ. මේ වන විට අගෝස්තු පස් වන දින පැවැත්වීමට නියමිත ව ඇති පාර්ලිමේන්තු මැතිවරණ උණුසුම උත්සන්න වී ඇති අතර, බොහෝ අපේක්ෂකයෝ සියලු වැර යොදා සියලු දිරි දරා සිය අංකය ඡන්ද දායකයින්ගේ සිත් තුළ නිධන්ගත කරවීමේ උත්සාහයක නිරත වෙමින් සිටිති. මේ දිනවල ඔවුහු දුවති, පනිති, හඬති, වෙනත් නා නා ප්‍රකාර සෙප්පඩවිජ්ජා යොදති. 

එලෙස බොහෝ කැපවීමෙන් ක්‍රියා කරන බව පෙනෙන හිටපු ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය, සනත් නිශාන්ත මහතා පසුගිය දිනෙක සිය ගෝලබාලයින් ද සමඟ යතුරුපැදිවල නැඟී ගම පුරා ගි⁣යේ ය. එහි කිසිදු වරදක් නැත. වරද ඇත්තේ ඔහු කඩ කළ මාර්ග නීතිවල ය.

නිශාන්ත මහතාට පමණක් නොව ඔහුගේ සගයින් කිහිපදෙනෙකුට ද හිස් ආවරණ තිබුණේ නැත. යතුරුපැදියක නැඟී යන විට එය අත්‍යවශ්‍ය බව අපි දනිමු. තව ද, නිශාන්ත මහතාගේ යතුරුපැදිය ඇතුළු තවත් කිහිපයකට අංක තහඩු පවා තිබුණේ නැත. අංක තහඩු නොමැති රථයක් පාරට දැමුවහොත් පොලිස් නිළධාරීන් ඉදිරිපිට කෙතරම් වැඳ වැටෙන්නට සිදුවනවා ද යන්න පිළිබඳ ඔබට ද අත්දැකිම් ඇතිවාට සැක නැත. පුදුමය වන්නේ මෙම සම්පූර්ණ කාලසීමාව තුළ ප්‍රදේශයට අදාළ පොලිස් නිළධාරීන් ද ඔවුන් සමඟ ම සිටීම යි.

දැනට මාස කිහිපයකට පෙර රට සුරකින කඩොලානවලත් අප සුරකින ඔක්සිජන්වලත් වැදගත්කම පැහැදිලි කර ගත නොහැකි වූ හිටපු මන්ත්‍රීවරයාට, මේ වන විට හිස සුරකින හෙල්මටයේ වැදගත්කම ද පැහැදිලි කර දීමට සිදු ව ඇති බව පෙනේ. මේ කෙබඳු ආශ්චාර්යයක්දැයි සොයා බැලීම වටී.

ශ්‍රීනි ලංකා ජයකොඩි