Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ප්‍රථම වරට ළමා අක්මා බද්ධයක්.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධය පසුගිය දිනෙක විශේෂඥ ශල්‍ය වෛද්‍ය රොහාන් සිරිවර්ධන මහතාගේ මූලිකත්වයෙන් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දී සිදු කෙරිණි. මේ සඳහා දිවයින පුරා විසිරී සිටි අතිදක්ෂ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් ද එක් ව සිටියහ. අදාළ ශල්‍යකර්මය සඳහා පැය දොළහකට වැඩි කාලයක් ගත වූ අතර එය ඉතා සාර්ථක අන්දමින් නිම කෙරුණු බව වෛද්‍ය රොහාන් සිරිවර්ධන මහතා පැවසී ය.

ශල්‍යකර්මයට භාජනය වූයේ යාපනය ප්‍රදේශයේ පදිංචි ව සිටින වයස නවයක් වූ කුඩා දැරියකි. මෙම දැරිය බොහෝ කාලයක් තිස්සේ උදර වේදනාවකින් පෙළී තිබුණු අතර, පසුව නිගමනය කොට තිබුණේ ඇයට සිරෝසිස් රෝගය වැළඳී ඇති බව යි. මෙය සාමාන්‍ය ගණයේ සිරෝසිස් ⁣රෝගය නොව නිදන්ගත ගණය වේ. එවැන්නෙකුට අක්මාවේ ශල්‍යකර්මයක් සිදු කිරීම අනිවාර්යය වන අතර, එමඟින් රෝගය සුව වීමට ද වැඩි ඉඩකඩක් ඇත.

මෙම දැරියගේ ශල්‍යකර්මය සඳහා ලබා ගෙන තිබුණේ ඇගේ මවගේ අක්මාවෙන් කොටසකි. මෙම සුවිශේෂී ප්‍රතිකර්මයෙන් පසු අනාගතයේ දීත් ශ්‍රී ලංකාව තුළ එවැනි ම ශල්‍යකර්ම කිරීමට හැකියාවක් ලැබෙනු ඇති අතර, එමඟින් කුඩා දරුවන්ගේ ජීවිත ගණනාවක් ම බේරා ගත හැකි වනු ඇති බවට විශ්වාස කෙරෙයි.