Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නව ෆෙඩරල් ව්‍යවස්ථාවකට දෙමළ ජාතික සන්ධානය පිටු 21 ක යෝජනා ඉදිරිපත් කරයි

උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් ව්‍යූහයේ විසඳුමක් සහිත ප්‍රාන්ත සභා ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ විද්වත් කමිටුව වෙත යෝජනා කර තිබේ.

  • නව ව්‍යවස්ථාව පූර්ණ ෆෙඩරල් විය යුතුයි
  • පොලිස්, ඉඩම් බලතලත් ඉල්ලයි
  • සිංහල, දෙමළ, ඉංග්‍රීසි තුනම රාජ්‍ය භාෂා
  • හදිසි නීතිය පනවන බලය ප්‍රධාන ඇමැතිට
  • ප්‍රාන්ත කේන්ද්‍රකරගත් අධිකරණ යාන්ත්‍රණයක්
  • ප්‍රාන්ත සභා වෙත නීතිය හා සාමය,
  • ඉඩම් ඇතුළු පූර්ණ බලතල විමධ්‍යගත කිරීමක්
  • පළාත් ආණ්ඩුවල පූර්ණ බලය ප්‍රධාන ඇමැතිවරයාට හිමි විය යුතු බවත්
  • ආණ්ඩුකාරවරයා පත් කළ යුත්තේද මහ ඇමැතිවරයාගේ උපදෙස් මත බවත්

දෙමළ ජාතික සන්ධානය එමගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

දෙමළ ජාතික සන්ධානය මගින් සකස් කළ පිටු 21කින් සමන්විත මෙම යෝජනාවලිය එම සන්ධානයේ දේශපාලන පක්ෂ ත්‍රිත්වයේම නායකයන්ගේ අනුමැතියෙන් විද්වත් කමිටුව වෙත ඊයේ (29 වැනිදා) භාර දී තිබිණි.

නව ව්‍යවස්ථාවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම රාජ්‍ය භාෂාවන් බවට නම් කළ යුතු යැයිද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු යැයි ද යෝජනා කර ඇත. එම යෝජනාව මගින් ඇමැති මණ්ඩලය අගමැතිවරයාගේ උපදෙස් මත පත් කළ යුතු බවට ද ඇමැති මණ්ලයේ ප්‍රධානියා අගමැතිවරයා විය යුතු බවට ද යෝජනා කර තිබේ.

ඊට අනුව ප්‍රධාන ඇමැතිවරයාට ප්‍රාන්ත සභාවේ අවසරය සහිතව හදිසි නීතිය පැනවීමට හැකි විය යුතුය. පොලිසිය ද ප්‍රාන්ත ආණ්ඩු යටතේ පාලනය විය යුතුවේ. ප්‍රාන්ත කේන්ද්‍රගත වන ආකාරයේ ශක්තිමත් අධිකරණ යාන්ත්‍රණයක්ද විය යුතු බවට දෙමළ ජාතික සන්ධානය එම යෝජනාවලියෙන් තවදුරටත් යෝජනා කර තිබේ.

About The Author