Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නව කොරෝනා ප්‍රභේදය ලොවම කලඹයි , රටවල් රැසක් lock down කිරීමේ සුදානමක් – ව්‍යාප්තියට හේතුව සංචාරකයින්

කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයේ සීග‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ලෝකයේ රටවල් ගණනාවක් දැඩි අවදානමකට මුහුණ පා සිටිනවා.

බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගෙන ව්‍යාප්ත වූ බවට සැලකෙන නව කොරෝන වෛරස් ප්‍රභේදය මේ වන විට ආසියාව අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව , මැදපෙරදිග ඇතුළු ලොව පුරා වාර්තාවීමට පටන් ගෙන තිබෙනවා.

ප්‍රධාන වශයෙන්ම වෛරසයේ ව්‍යාප්තියට හේතු වී තිබෙන්නේ සංචාරකයන්ගේ පැමිණීමයි.

අසල්වැසි ඉන්දියාවෙන්ද මේ මොහොත වන විට නව කොරෝනා වෛරස් ප්‍රභේදය අසාදනය වූ රෝගීන් 6 දෙනෙකු වාර්තාවන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් සියලු දෙනම බ්‍රිතාන්‍යයේ සිට පැමිණි සංචාරකයින් වීම විශේෂත්වයක්.

නව ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්තවන අතර එය විශේෂයෙන්ම දරුවන් සහ තරුණ ප්‍රජාව අතර සම්ප්‍රේෂණය වීමේ වැඩි සම්භාවීතාවක් ඇති බවයි වෛරස් පිලිබඳ විද්වතුන් පෙන්වා දෙන්නේ.

  • එය කොරනා වෛරසයේ අනෙකුත් ප්‍රභේදයන් ඉතා වේගයෙන් ප්‍රතිස්ථාපනය කරමින් සිටියි.
  • එය කොරනා වෛරසයේ වැදගත් විය හැකි කොටස් කෙරෙහි බලපාමින් වෛරසය විකෘති කර තිබේ.
  • විද්‍යාගාර පරීක්ෂණවලට අනුව මෙසේ වෙනස් වූ සමහර වෛරස සෛල ආසාදනය කිරීමේ වැඩි හැකියාවක් පවතී.

මේ තත්වය තුල ලොව රටවල් 50කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් සංචාරක තහනම් පැනවීමට ක්‍රියා කර තිබේ.

මෙම නව වෛරස් ප්‍රභේදය ප්‍රථම වරට අනාවරණය වූයේ සැප්තැම්බර් මාසයේදී වන අතර නොවැම්බර් මාසයේ ලන්ඩනයේ කොරෝනා වෛරස රෝගීන්ගෙන් හතරෙන් එකක පමණ නව ප්‍රභේදය වාර්තා වුණා. එය දෙසැම්බර් මැද භාගයේදී තුනෙන් දෙකකට ආසන්න සංඛ්‍යාවක් දක්වා වර්ධනය වීම මගින් පෙන්නුම් කරන්නේ පැරණි වෛරස් ප්‍රභේදය පවා යටපත් කරමින් නව වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්තවන බවයි.

මෙම නව ප්‍රභේදය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝ වීමේ ප්‍රවණතාව 70%ක් බවයි වාර්තාවන්නේ.

මෙම වෛරසයේ සීග්‍ර ව්‍යාප්තිය හේතුවෙන් රෝහල් ගත කිරීමට සිදුවන පුද්ගලයන්ගේ ප්‍රමාණයද සැලකිය යුතු ලෙස ඉහල යමින් පවතිනවා.

මෙම තත්වය සැලකිල්ලට ගෙන එංගලන්තය යළිත් වසා දැමීමට බි‍්‍රතාන්‍ය බලධාරීන්ට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි මස මැද භාගය වනතෙක් දැඩි කොරෝනා රෙගුලාසීන්ට යටත්ව එංගලන්තය වසා දමන බවයි ජාතිය අමතමින් බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ. පවතින තත්ත්වය හමුවේ මෙවැනි දැඩි නිරෝධායන රෙගුලාසි කි‍්‍රයාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළා. 

ඒ අනුව එම දැඩි කොරෝනා රෙගුලාසි එංගලන්තය තුළ අද සිට කි‍්‍රයාත්මක වනු ඇති. සියලූම වැසියන් සිය නිවෙස් තුළම සිටිය යුතු අතර එංගන්තයේ, වේල්සයේ සහ ස්කොට්ලන්තයේ දැනටමත් වසා දමා ඇති පාසැල් නැවත දැනුම්දෙන තුරු වසා දමා තිබෙනවා.

අවසරය ලත් අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් සංචරණය සඳහා අවසර හිිමිවනවා. එසේම ආහාර පාන හා ඖෂධ මිලදී ගැනීම වැනි අත්‍යවශ්‍ය කටයුතු සඳහා මෙන්ම ව්‍යායාම සඳහා රෙගුලාසීන්ට යටත්ව නිවෙස්වලින් පිටතට පැමිණීමට ද එංගලන්ත වැසියන්ට අවස්ථාව හිමිවනු ඇති.

කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයේ සීග‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එංගලන්තයේ සියලූ රෝහල් ධාරිතාවය ද ඉක්මවා රෝගීන්ගෙන් පිරී පවතිනවා. ඒ අනුව රට තුළ කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනම් කිරිමටයි රජය තීරණය කළේ. 

එම වැඩපිළිවෙළට අනුව සත්කාරක නිවාසවල සිටින පුද්ගලයින් හා ඔවුන් රැකබලාගන්නන්, වයස අවුරුදු 70 සහ ඊට වැඩි පුද්ගලයින්, සියලූ සෞඛ්‍ය හා සත්කාර සේවකයින් මෙන්ම අතිශයින්ම අවදානමට ලක් වූවන් සඳහා පෙබරවාරි මාසයේ මැද භාගය වන විට එන්නත් මාත‍්‍රාවක් ලබාදීම බි‍්‍රතාන්‍ය රජයේ අපේක්ෂාවයි.

එමෙන්ම තවත් රටවල් රැසක් නැවත වත්වක් ප්‍රදේශ වශයෙන් සහ සම්පුර්ණ ලෙස lockdown කිරීම සම්බන්ධයෙන් අවදානය යොමු කර ඇති බවයි වාර්තාවන්නේ.

About The Author