Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ මහෙස්ත්‍රාත්ට එරෙහිව අභියාචනාධිකරණයෙන් නොතීසි

දෙවන බුවනෙකබාහු රජතුමන්ගේ රාජ සභා මණ්ඩපය ඩෝසර් කර කඩා බිඳ දැමීමට වගකිවයුතු බවට චෝදනා ලැබ සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණය පසුගිය 7 වැනිදා නිකුත් කළ වරෙන්තු නියෝගය කි‍්‍රයාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ (25 ) අතුරු තහනම් නියෝගයක් නිකුත්කර තිබෙනවා.
 
කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පෙත්සම්කරුවන්ගේ පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙනතුරු බලපැවැත්වෙන පරිදි එකී අතුරු තහනම් නියෝගය නිකුත් කළ අභියාචනාධිකරණයේ සභාපති ඒ. එච්. එම්. ඞී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල කුරුණෑගල මහෙස්ත‍්‍රාත්වරයා ඇතුළු එම පෙත්සමේ වගඋත්තරකරුවන්ට ලබන 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින දන්වා නොතීසි නිකුත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
 
සිය නියෝගය නඩුවට පාදක වූ කරුණු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධාවක් නොවිය යුතු බව පැවසූ විනිසුරු මඬුල්ල නීතිඥවරුන් සමග කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පෙත්සම්කරුවන්ට නියෝග කර තිබෙනවා.
 
 තම අධිකරණය විසින් ඉදිරි නියෝගයක් නිකුත් කරන තෙක් එලෙස පෙනී සිටින සැකකරුවන් පස්දෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් කිරීමෙන් කුරුණෑගල මහෙස්ත‍්‍රාත්වරයා වළක්වමින් විනිසුරු මඬුල්ල එකී පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 14 වැනිදා යළි කැඳවීමට ද නියෝග කළේය. විමර්ශන නිලධාරීන් දැන්වූ විටෙක පොලිසිය හමුවේ පෙනී සිට එකී විමර්ශන සඳහා අවශ්‍ය ප‍්‍රකාශ ලබාදිය යුතු බවට ද සැකකාර නගරාධිපතිවරයා ප‍්‍රමුඛ සැකකරුවන්ට විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළේය.
 
සැකකාර පෙත්සම්කරුවන්ට එරෙහිව පොලිසිය ඉදිරිපත් කොට ඇත්තේ වරෙන්තු නියෝගයක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි මට්ටමේ චෝදනා බවත් එකී චෝදනා එල්ල වූ අයකු වරෙන්තු නියෝග නොමැතිව පොලිසියට අත්අඩංගුවට ගත හැකිව තිබියදී වරෙන්තු නියෝග නිකුත් කිරීම මගින් මහෙස්ත‍්‍රාත්වරයා සිය බලසීමාව ඉක්මවා ගොස් ඇති බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි ද සිය නියෝගය මගින් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නා.

අභියාචනාධිකරණයේ එකී නියෝගය සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ මාධව තෙන්නකෝන් මහතා එහිදී අධිකරණයට දන්වා ඇති අතර ඉදිරි නඩු දිනයේ හෝ ඊට පෙර එකී විරෝධතා ගොනු කිරීමට නීතිපතිවරයා ප‍්‍රමුඛ වගඋත්තරකාර පාර්ශ්වයට අධිකරණය අවසර ලබාදුන්නේය.

About The Author