Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තලේබාන්ට පදිරි ඇෆ්ගනිස්තානය

ඇෆ්ගනිස්තානු රජය තලේබාන් සංවිධානය සමඟ මානුෂීය සටන් විරාම ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා උත්සාහ දරමින් සිටින බව පෙනේ. මෙයට දින කිහිපයකට පෙර එම දෙපාර්ශවය ම කටාර් රාජ්‍යයෙහි දී හමු වූහ. ඇෆ්ගනිස්තානු රජයේ නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන් “අබ්දුල්ලා අබ්දුල්ලා” එම අවස්ථාවේ දී අවධාරණය කළේ යුද්ධයේ කිසිදු ජයග්‍රාහකයෙකු නොමැති බවයි. එහෙත් තලේබාන් සංවිධානය එහි දී කිසිදු ගිවිසුමක් පිළිබඳ සඳහන් නොකළ අතර ඔවුන් තරයේ පවසා සිටි එක ම කරුණ නම් ඇෆ්ගනිස්ථානය ඉස්ලාමීය නීතිය යටතේ තිබිය යුතු බව ය. මෙම කතාබහට මැදිහත් වූ ඇමරිකා එක්සත් ජනපදය, දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණවීමට දිරිගැන්වූ අතර, “ඔබ සාර්ථක වීමට නම්, ඔබට මුළු ලෝකයේ ම සහයෝගය අවශ්‍යයි” යනුවෙන් ද පැවසීය. 

වර්තමානයේ දී ඇෆ්ගනිස්ථානය දශක හතරක් දක්වා දිග හැරෙමින් යන යුද්ධයක් හේතුවෙන් අසරණ වී ඇති අතර මේ වන විට එරට සිවිල් වැසියන් දසදහස් ගණනක් තලේබාන් හමුදාව අතින් ඝාතණයට ලක් වී තිබේ. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයේ මිලිටරි මෙහෙයුම් ආරම්භ කොට වසර 19ක් ගත වී තිබේ. ඊට හේතු වූයේ 2001 වසරේ 9 වන මස 11 වන දින නිව්යෝර්ක් නගරයේ පිහිටා තිබෙන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය යි. එම අල්කයිඩා ප්‍රහාරයේ 19 වන සංවත්සරයෙන් දිනකට පසු එනම්, පසුගිය සෙනසුරාදා දින මෙම ඓතිහාසික සාකච්ඡා මාලාව ආරම්භ කෙරිණි.

තලේබාන් සහ ඇෆ්ගනිස්ථාන රජයේ නියෝජිතයන් අතර පළමු ඍජු සාකච්ඡාව මෙය යි. එහෙත් අද දිනය වන විට සටන්කාමීන් නැවතත් ඇෆ්ගනිස්තානු රජය හමුවීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඊට හේතුව ලෙස ඔවුන් පවසන්නේ ඇෆ්ගනිස්තානු ආණ්ඩුව යනු බල රහිත ඇමරිකානු රූකඩ වන බව ඔවුනට පළමු හමුවේ දී ම ඔප්පු වූ බව යි. එහෙයින් ඇෆ්ගනිස්ථානය තුළ තවමත් අඛණ්ඩ ව ගැටුම් පවතින අතර රජය පවසන්නේ පෙබරවාරි මාසයේ සිට අද දක්වා පමණක් සිවිල් වැසියන් 12,000ක් මිය ගොස් ඇති බවයි.

සෙනසුරාදා පැවැත්වුණු 9/11 සංවත්සරයේ විවෘත කිරීමේ උත්සවයේ දී ඇෆ්ගනිස්ථානු සාම කවුන්සිලයේ ප්‍රධානී “අබ්දුල්ලා අබ්දුල්ලා” අදහස් ප්‍රකාශ කරමින් තලේබාන්වරුන් වෙතින් වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයක් ඉල්ලා සිටියේය. ඔහු රොයිටර් පුවත් සේවයට කියා සිටියේ මේ වන විට ඇමරිකානු ජනතාවගේ මනසෙහි ඇති ප්‍රධානතම ගැටලුවලින් එකක් වන්නේ ප්‍රචණ්ඩත්වය සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීම බව යි. එහෙයින් තම කණ්ඩායම යුද්ධයේ හා වේදනාවේ දොරටු සදහට ම වසා දැමීමට අපේක්ෂා කරන බවත්, මෙම සටන් විරාමය ඒ සඳහා ගන්නා ප්‍රථම පියවර වන බවත් ඔහු ප්‍රකාශ කළේ ය. 

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author