Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ට්‍රම්ප් ඡන්දය කරන්නේ ග්‍රීන් කාඩ් උඩින් ද?

ඇමරිකාව වසරකට නිකුත් කරන ග්‍රීන් බලපත්‍ර ප්‍රමාණය දස ලක්ෂයකට ආසන්න වේ. මෙම බලපත්‍ර මඟින් යම් පුද්ගලයෙකුට, එනම් සංක්‍රමණිකයෙකු හට ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථිර ව වාසය කිරීමට අයිතිය හිමි වන අතර, එහි පුරවැසිභාවය ඉල්ලා‌ සිටීමට අවස්ථාව ද ලැබේ. ඔවුන්ගෙන් සියයට හැත්තෑවක පමණ ප්‍රතිශතයක් ඇමරිකාවට සංක්‍රමණය වනුයේ සිය පවුලේ සියලු නෑදෑ හිතමිතුරන් ද සමඟිනි. තව ද නේවාසික අයිතිය හා වෘත්තීය පදනමට අදාළ බලපත්‍රවලින් සියයට අසූවක පමණ ප්‍රතිශතයක් නිකුත් කෙරෙනුයේ දැනටමත් ඇමරිකාවේ සේවය කරන පවුල් වෙනුවෙනි.

එහෙත් ඇමරිකාවේ ජනාධිපතිවරයා පසුගිය දිනෙක ධවල මන්දිරයේ සිට සිදු කළ ප්‍රකාශයකට අනුව මෙම බලපත්‍ර ලබා දීම තාවකාලික ව අත්හිටුවා තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන තිබෙන්නේ මේ වන විට ලොව වෙලාගෙන තිබෙන කොවිඩ් 19 වසංගතයෙන් සිය රට ආරක්ෂා කර ගැනීමේ එක් පියවරක් වශයෙනි. මේ වන විටත් ලොව බොහෝ රටවල් සිය දේශසීමා වසා දමා ඇති අතර ඇමරිකාව ද කැනඩාවෙන් හා මෙක්සිකෝවෙන් සිදු කළ යුතු අත්‍යවශ්‍ය සංචාර හැර සියලු සංචරණ තහනම් කොට තිබේ. එහෙයින් අද වන විට නිතැතින් ම එම බලපත්‍ර තිබෙනුයේ අත්හිටවී ය. එසේ නම් මෙහි තේරුම කුමක් ද?

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ නීතියට අනුව දැනට ග්‍රීන් බලපත්‍ර ලබා සිටින්නන්ට ගැටලුවක් ඇති වන්නේ නැත. එහෙත් ඔවුන්ගේ සහකරුවන්ට/ සහකාරියන්ට හා වයස 21ට අඩු අවිවාහක දරුවන්ට හැරුණු විට, පවුලේ ඉතිරි සියලු සාමාජිකයින්ට ග්‍රීන් බලපත්‍ර ඉල්ලා සිටීමේ අවස්ථාව අහිමි වේ.

ලොතරැයි මඟින් හිමි වන්නට තිබූ බලපත්‍ර ද මේ සමඟින් අහිමි වුව ද වෛද්‍ය, හෙද වැනි සෞඛ්‍යය ක්ෂේත්‍රයට අදාළ ව ඇමරිකාවට ඇතුළු වීමට අපේක්ෂා කරන්නන් හට ගැටලුවක් ඇති නොවේ. තව ද ගොවිපොළ කම්කරු මෙන් ම විශේෂ කුසලතා කම්කරු ද යන ශීර්ෂයන් යටතේ වැටෙන වීසා අයැදුම්පත් ද භාර ගැනෙනු ඇත. සැබවින් ම කියතොත් මෙම තීරණය බලපානුයේ අනවශ්‍ය සංක්‍රමණිකයින්ට පමණි.

ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසනුයේ තමන් මෙම තීරණය ගනු ලැබුවේ සිය රටේ පුරවැසියන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කරනු පිණිස බව ය. පැතිර යන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විටත් ඇමරිකානුවන් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් රෝගීන් බවට පත් ව ඇති අතර මුළු මරණ ප්‍රමාණය 46,000කට අධික වේ. එසේ හෙයින් මේ වන විටත් ජනතාවගෙන් කෝටි දෙකකට පමණ රැකියා අහිමි වී ඇත. මතු දිනක ඔවුන් සේවයේ පිහිටුවීම තමා හට කිසිසේත් අත්හැරිය නොහැකි වගකීමක් බවට පත් වන බවත්, එවන් අවස්ථාවක දී ඇමරිකානු පුරවැසියන්ට මූලිකත්වය දීම තමන්ගේ පරම පිවිතුරු චේතනාව වන බවත් ට්‍රම්ප් එක හෙළා ප්‍රකාශ කර තිබේ. අනවශ්‍ය සංචාරකයින්ට ග්‍රීන් බලපත්‍ර ලබා දීම හරහා සිදු වන්නේ සැබෑ ඇමරිකානුවන්ගේ අයිතිවාසිකම් අහිමි වීම බව ඔහුගේ අදහස යි.

බැලූ බැල්මට චේතනාව යහපත් යැයි හැඟුණ ද, මෙහි සැඟවුණුු අභිප්‍රායයන් පවතින බව ඇතැම් කණ්ඩායම් පෙන්වා දෙයි.  2016 වසරේ දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එක් ඡන්ද පෙරොන්දුවක් වූයේ ඇමරිකාවට පැමිණෙන්නට බලා සිටින සංක්‍රමණිකයින් ගණන සීමා කරන බව යි. මෙතුවක් ඔහු එම පොරොන්දුව ඉෂ්ට කළේ නැත. එහෙත් එළඹෙන නොවැම්බර් මාසයේ දී ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත ව තිබෙන බව අප සිහි තබා ගත යුතු ය. ඔහුට නැවතත් ඡන්දය ලබා ගැනීමට නම් පසුගිය පොරොන්දු ඉෂ්ට කළ යුතු බව පැහැදිලි ය.

එබැවින් බොහෝ පිරිස් නිගමනය කරනුයේ මෙම බලපත්‍ර අත්හිටුවීමේ හදිසි තීරණය ඡන්ද ගුණ්ඩුවක් බව ය. කොවිඩ් වසංගතයට මුවා වෙමින් ඔහු මේ ගෙන යන්නේ සිය අනාගත ඡන්ද ව්‍යාපාරය බව පෙනී යයි. එහෙයින් ඇතැම් ජන කණ්ඩායම් මේ වන විටත් මෙම තීරණයට එරෙහි ව අධිකරණයට යාමට උත්සාහ කරමින් සිටින බව ද හෙළි වී තිබේ.