Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජයලලිතාගේ නෑම තමයි නෑම…

ජයලලිතා කියන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිනි. එයා දේශපාලනයට එන්න කලින් දක්ෂ නිළියක් නේ. ඉතින් ලස්සන සිද්ධිවලින් වැඩි හරියක් ම වෙලා තියෙන්නේ එයා රඟපාන කාලෙ තමයි. කොහොම වුණත් ජයලලිතා හරි අපූරු චරිතයක්. 

1.ජයලලිතා රඟපාන්න ඇවිල්ලා තියෙන්නේ හිතේ කිසි ම කැමැත්තකින් නෙවෙයි. එයා රඟපාන්න බැරි බව කියලා ගෙදර දී හොඳට ම රණ්ඩු කරලා, අඬලත් තිබුණා. එයාගේ අම්මා සන්ධ්‍යාත් නිළියක් නේ. ඉතින් අම්මට තමයි වැඩියෙන් ඕනෙ වෙලා තියෙන්නේ දුවත් තමන් ගිය මාර්ගයේ ම යවන්න.

කොහොමින් කොහොම හරි එකක රඟපෑවා කියමුකෝ. ඒකෙ නම “වෙන්නිර ආදෙයි”. ඔව්, ඔව්, වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක් තමයි. මොනවා කරන්නද ඉතින්. 

හොඳම හරිය තියෙන්නේ ඊට පස්සේ. මේ චිත්‍රපටියේ රඟපාද්දී ජයලලිතාට වයස අවුරුදු දහසයයි. ඒ කාලේ ඔය වැඩිහිටියන්ට පමණයි තහනම පොඩි ළමයි සම්බන්ධයෙන් තදින් ම ක්‍රියාත්මක වුණා. ඉතින් මොනවා වෙන්න ද. තමන් ඉස් ඉස්සෙල්ලා ම රඟපෑව චිත්‍රපටිය බලන්න ප්‍රධාන නිළියට වරම් නැති වුණා. ඇයි ඉතින්, එයාට වයස දහ අටට අඩුයි නේ.

ඒ වගේ ම අත් නැති හැට්ටයක් ඇඳගෙන, දිය ඇල්ලක් යට, වතුරේ නටපු පළවෙනි ඉන්දියානු නිළියත් ජයලලිතා ම තමයි.

2.ජයලලිතාගේ අම්මා නිළියක් වුණාට ප්‍රධාන චරිත රඟපාලා තිබුණෙ නෑ. ඉස්කෝලෙ යන කාලෙ එයාගෙ යාළුවෝ මේ පොඩි පොඩි චරිත රඟපාන එක ගැන අපහාස කරලා ජයලලිතාට විහිළු කරලා තිබුණා. එයා කියනවා ඒ විහිළුවලින් එයාගෙ හිතට ලොකු දුකක් වගේ ම හීනමානයක් දැනුණා කියලා. ඒ නිසා ඉස්කෝලෙ ගිය දවස්වල හැමදාම වගේ ගෙදර ඇවිත් මුළු රෑ පුරාම මේ කෙල්ල අඬලා තිබුණා.

3.ප්‍රසිද්ධ සම්මුඛ සාකච්ඡාවක දී “කරන් තාපර්” කියන මාධ්‍යවේදියා ජයලලිතාට අපහාස වෙන විදිහට ප්‍රශ්න ඇහුවා. එයාට ඕනෙ වුණේ ජයලලිතා තරහා ගස්සලා, අනවශ්‍ය පීඩනයක් දීලා නරක වචන ටිකක් කියවගෙන, ඊට පස්සෙ ඒවා පළ කරලා ප්‍රසිද්ධ වෙන්න. 

හැබැයි ජයලලිතා ඒ ගැටයට අහු වුණේ නැහැ. එයා හෙමින් හෙමින් ඒ ප්‍රශ්න මඟ හරින ගමන්, තමන්ගෙ කෝපය පාලනය කර ගත්තා.

සාකච්ඡාව ඉවර වෙලා තාපර් ජයලලිතා ළඟට ඇවිත් අතත් දික් කරලා සුබ පතලා කිව්වා, “මම මැඩම් එක්ක සාකච්ඡා කරලා ලොකු සතුටක් ලැබවා” කියලා. එතකොට ඉතින් කැමරා එහෙම ඕෆ් කරලා නේ. ජයලලිතා ගත් කටට ම කිව්වා ” ඇත්තද? අනේ මට නම් කිසි ම සතුටක් ලැබුණෙ නෑ ඔයා එක්ක කතා කරලා. ආයෙ මං ඔයාව දකින්නවත් කැමති නෑ. බොහොම ස්තූතියි මාව හිර කළාට”. ඊට පස්සෙ අත දෙන්නෙත් නැතුව ම අහක බලාගෙන ගිහින් වාහනේට නැග්ගා.

4.ඔයාලා දන්නවද ජයලලිතාගේ නම ගිනස් ලෝක වාර්තා පොතටත් ඇතුළත් වෙලා තියෙන්නෙ කියලා? එයා තමයි ලෝකයේ වැඩි ම සහභාගීත්වයක් සහිත මඟුල් ගෙදර සංවිධානය කළේ. 

ජයලලිතා හදාගන්න ගත්ත පුතා තමයි “සුදාගරන්”. එයා ඇමතිනියක් වුණු පළවෙනි අවුරුද්දේ දී ම, ඒ කියන්නේ 1995 දී සුදාගරන් කසාද බැන්දා. ගිනස් පොතේ තියෙන හැටියට මේ වෙඩින් එකට අමුත්තන් එක් ලක්ෂ පනස් දාහකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේ ම ඒ හැම කෙනාට ම ඉන්න හොටෙල් එකක ඉඩ නැති නිසා, අක්කර පණහක ඉඩමක් ලැහැස්ති කරගෙන තියෙනවා. 

ඒ ඉඩම වට කරගෙන තියෙන්නේ හයිය කොල වර්ගයකින් හදපු ප්‍රාකාරයකින්. පොතේ හැටියට ඒ බිම් ප්‍රමාණය ඇතුළේ පාපන්දු පිට්ටනි කිහිපයක් ම තිබුණා ලු. මඟුල් ගේ තිබුණු තැන ඉඳලා ජයලලිතාගේ ගෙදරට යනකල් ම පාර දෙපැත්ත සරසලා, සිංහයින්ගේ ප්‍රතිමා තියලා තිබුණා ලු.

5.විශ්වාස කරනවාද ජයලලිතා තමන්ගේ ඇමති පඩිය ප්‍රතික්ෂේප කළා කියලා? ඔව්, එයා කියන විදිහට එයා පාර්ලිමේන්තුවට ගියේ මිනිස්සුන්ට සේවයක් කරන්න විතරයි. ජීවත් වෙන්න ඇති තරම් සල්ලි තමන්ට තියෙන නිසා පඩියක් එපා කියලයි කිව්වේ. ඉතින් සම්ප්‍රදායේ හැටියට වැටුපක් නියම කරන්න ඕනෙ නිසා රජය එයා වෙනුවෙන් දුන්න වැටුපෙ ගාණ හරියට ම රුපියලයි.

6.ඉන්දියාවේ තියෙනවා ප්‍රසිද්ධියේ නාන්න තියෙන උත්සවයක්. කුලවත් ගැහැනු අය සාමාන්‍යයෙන් මේකට සහභාගී වෙන්නේ නෑ. හැබැයි ජයලලිතා ගියා. එදා එයා නාන හැටි බලන්න පොරකාපු මිනිස්සුන්ගෙන් පණස් දෙනෙක් විතර තෙරපිලා ම මැරිලා ගියා.

7.අවුරුදු ගාණකට කලින් තමිල්නාඩුවේ හිටපු ඇමති කෙනෙක් ජයලලිතා එක්ක නොහොබිනා විදිහට හැසිරෙන්න උත්සාහ කරලා තියෙනවා. මේක දවස් කිහිපයක් ම සිද්ධ වුණා. එතකොට එයා පොඩියි. ඒ වගේ ම කිසි බලයකුත් නෑ. ඒ නිසා ඉවසගෙන හිටියා.

පස්සෙ කාලෙක තමිල්නාඩුවේ මහ ඇමතිනි වුණාට පස්සෙ එයා අර ඇමතිට විරුද්ධ ව නඩුවක් දැම්මා. එදා පත් වුණ අපහසුතාවට තමන්ට පුළුවන් වුණ ගමන් පළිය ගත්තා.

ශ්‍රීනි ලංකා ජයකොඩි