Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනමාධ්‍ය නිදහස සඳහා වූ ගෝලීය සම්මාන උළලේ දී ශ්‍රී ලාංකිකයෙකුට සුවිශේෂී ඇගයීමක්

ජනමාධ්‍ය නිදහස සඳහා වූ ගෝලීය  සම්මාන උළෙලේ  තෝරාගත් ලොව හොඳම  පුද්ගලයන් පස් දෙනා  අතරට හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්  ආචාර්ය රංග කලංසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

2020 නොවැම්බර් 16 වන දින කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු ප්‍රංශුවා-පිලිප් ෂැම්පේන් සහ එක්සත් රාජධානියේ පළමු රාජ්‍ය ලේකම් සහ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ඩොමිනික් රාබ් විසින් මෙම සම්මාන උළෙලේ  අදාළ නම් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මාධ්‍ය නිදහස මාධ්‍ය ආචාර ධර්ම සහ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කළ පුද්ගලයින්, සංවිධාන සහ ආයතන ඇගයීම සඳහා මෙම සම්මාන උළෙල පැවැත්වෙනවා.

ඒ අනුව ලොව පුරා මාධ්‍ය නිදහස සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් කැප වූ පුද්ගලයින් තෝරා ගනිමින් සම්මාන පිරිනැමීම සිදු කෙරෙනවා.

මෙවර සම්මාන උළෙල සඳහා   ලොව පුරා  ඒ වෙනුවෙන් කැප කරන පුද්ගලයින් සහ සංවිධාන 60 කට අධික සංඛ්‍යාවක්  ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සහ කැපකිරීම අනුව ලැයිස්තුගත කර තිබෙනවා.

 එහි  පෙරමුණේ සිටින්නේ  බෙලාරුස් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයයි, 

දෙවන ස්ථානය  මෙක්සිකෝවේ Centro de Investigacion y Capacitacion Propuesta Civica ආයතනය හිමිකරගෙන ඇති අතර ලෙබනනයේ SKeyes Center for Media and Cultural Freedom ආයතනය  එහි තෙවන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

 අදාල  ලැයිස්තුවෙහි හතරවන ස්ථානය ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රවීණයෙකු වන  ආචාර්ය රංග කලංසූරිය මහතාට හිමිව තිබෙනවා.

 පස්වන ස්ථානය දකුණු සුඩානයේ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන මේරි අජිත් ගොච් හට හිමිව තිබෙනවා.

මෙලෙස ජාත්‍යන්තර සම්භාවනාවට පත් ආචාර්ය රංග කලන්සූරිය මහතා  මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව , අයිතිවාසිකම්  පිළිබඳව  විශාල හඬක් නැඟූ සහ  ඒ වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන  විද්වතෙක්.

ඔහු දැනට ජාත්‍යන්තර මාධ්‍ය සහාය ආයතනයේ (IMS) ආසියානූ කලාපයේ  ප්‍රතිපත්ති පර්යේෂණ සහ ධාරිතාව පිළිබඳ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනවා.

ඒ ශ්‍රී ලංකාව, මියන්මාරය, පාකිස්තානය, පිලිපීනය සහ ඉන්දුනීසියාව යන රටවල සේවය කරන්නේ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ තොරතුරු අයිතිය තහවුරු කිරීම උදෙසා කැපවෙමින්.

කලක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළ රංග කලංසූරිය මහතා  මෙරට තොරතුරු දැනගැනීමේ පනත  ඉදිරිපත් කිරීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළා.

 එමෙන්ම  මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් මෙරටට හඳුන්වා දීම පිළිබඳව ඔහු තම උපදේශකත්වය සපයා තිබෙනවා.