Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඩෙංගු වගේ – ඩෙංගු නෙමෙයි, තවත් මාරාන්තික වෛරසයක්

මිනිසුන් අතර ව්‍යාප්ත වියහැකි තවත් දුර්ලභ වෛරසය හඳුනාගෙන තිබෙන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

පර්යේෂකයන් පවසන්නේ 2019 දී මේ වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනකු බොලීවියාවේ අගනුවර වන ලාපාස් නගරයෙන් හමුවූ අතර ඔවුන්ගෙන් සෞඛය සේවකයන් තිදෙනකුට වෛරසය සම්ප්‍රේෂණය වී තිබූ බවයි. පළමුව ආසාදනය වූ රෝගියකු සහ සෞඛ්‍ය සේවකයන් දෙදෙනකු මේ වයිරසය හේතුවෙන් මියගොස් තිබේ. 2004 දී ලාපාස් සිට සැතපුම් 370ක් නැගෙනහිරින් පිහිටි චපාරේ ප්‍රදේශයේ පුද්ගලයන් අතර පැතිර ගියේ මේ වෛරසය බව ද හඳුනාගෙන ඇත. එබැවින් මේ නව වෛරසය “චපාරේ” ලෙස නම් තබා ඇත.

මිනිසා අතර ආවේ මීයන්ගෙන්

මේ වෛරසය පිළිබඳ පර්යේෂණ සිදුකළ රෝග කාරක හා ව්‍යාධිවේදය පිළිබඳ විශේෂඥයකු වන කේට්ලින් කොසබුම් මහතා පවසන්නේ වයිරසය මිනිසාගේ ශරීර තරල වලින් ආසාදනය විය හැකි බවයි. ඔහුගේ පර්යේෂණවලින් සනාථ වන්නේ මෙම වෛරසය මිනිසා අතරට පැමිණ ඇත්තේ මීයන්ගෙන් බවයි.

කොරෝනා වලට වඩා පහසුවෙන් සිරුරට ඇතුළු වෙනවා.

කොවිඩ්–19 වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ආසාදනය වන වෛරසය වලට වඩා තරල හරහා පැතිරෙන වයිරස් සිරුරට ඇතුළු වීම පහසු බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ලොව පුරා විද්‍යාඥයන් මේ ගැන වඩාත් බියක් පළකිරීමට හේතු වී ඇත්තේ මේ හේතුවෙනි.

නිශ්චිත ප්‍රතිකාර නෑ – තත්ත්වය භයානකයි

මෙම නව වෛරසය වැළඳුණ රෝගීන්ට උණ, උදර වේදනාව, වමනය, විදුරුමස් ලේ ගැලීම, සමේ කැක්කුම සහ ඇස් පිටුපස වේදනාව ඇතිවන බව කොසබුම් මහතා පවසයි. මේ සඳහා තවමත් නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති බැවින් එය මිනිසුන් අතර පැතිරයාම ආරම්භ වුවහොත් ඉතාමත් භයානක තත්ත්වයක් ඇතිවිය හැකි බව ද හෙතෙම අනතුරු හඟවයි.

වසර කිහිපයක් සංසරණය වෙලා – ඩෙංගු කියා පටලවා ගෙන

කෙසේ වෙතත් පර්යේෂකයන් පවසන්නේ වසර කිහිපයක් මේ වෛරසය හඳුනා නොගෙන මිනිසුන් අතර සංසරණය වී ඇති බවයි. ඩෙංගුවලට සමාන රෝග ලක්ෂණ දක්වන වෛරසය බැවින් ඇතැම්විට ඩෙංගු යැයි වැරදි ලෙස වටහාගන්නා බව ද ඔවුන්ගේ අදහස වී තිබේ.

බොලීවියාවේ සිටින ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරන්, බොලීවියාවේ සෞඛ්‍ය බලධාරීන් හා ලෝක සෞඛය සංවිධානයේ නියේාජිතයන් ඇතුළු විද්‍යාඥයන් කණ්ඩයාම මෙම වයිරසය ඉක්මණින් හඳුනාගැනීමට අවශ්‍ය වෛද්‍යවිද්‍යාත්මක ක්‍රමවේදයන් වැඩිදියුණු කර තිබේ.

“චපාරේ” වෛරසය පිළිබඳ තවමත් නෙදන්නා දේ බොහෝ තිබිය දී මේ කණ්ඩායම රෝග විනිශ්චය සඳහා වූ පර්යේෂණ දියුණු කිරීමටත්, මිනිසාාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බව තහවුරු කිරීමටත් මීයන්ගෙන් වයිරසය පැමිණි බව අනාවරණය කරගැනීමත් ප්‍රශංසනීය බව ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය ජොයෙල් බ්‍රෙමන් පවසයි.

© ද ගාඩියන් ඇසුරණි