Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපති නිදහසේ කතාව කරයි – ජනතාවගේ විචාර බුද්ධිය වැදගත්, චක්‍රලේඛ නිසා වැඩ අවුල් , පාස්කු හා මහබැංකු වරදකරුවන්ට දඩුවම්

තමන් සිංහල බෞද්ධ නායකයෙකු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද යළි සපථ කළා.

ඒ 73 වන නිදහස් දින සමරු උත්සවය අමතමින්.

රටේ ජාතික උරුමයන්, පාරම්පරික සිරිත් විරිත්, ජාතිකත්වය හා දේශාභිමානය බරපතල තර්ජනයකට මුහුණ දී තිබුණ අවස්ථාවක මේ රට 69 ලක්ෂයකට අධික ජනතාව ජනාධිපතිවරයා වශයෙන් තමා තෝරා පත්කර ගත්තේ දුර්වලව පැවති ජාතික ආරක්ෂාව යළි තහවුරු කොට මව්බිම මුහුණ දී තිබුනු අභියෝගයන් ජයගැනීම සඳහා බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

රටේ ජනතාවගෙන් සැමවිටම විචාර බුද්ධියෙන් කටයුතු කිරීමේ වැදගත් කමද පෙන්වා දුන් ජනාධිපතිවරයා දත්ත මත පදනම්ව කරුණු විමසා බලා, සත්‍යය හඳුනාගෙන තීන්දු තීරණ ගන්නවා නම් කිසිවෙකුට ජනතාව නොමග යවන්නට බැරි බවද සදහන් කළා.

ජනතාව විසින් වත්මන් රජයට වරම් ලබා දී තිබෙන්නේ තමා විසින් ඉදිරිපත් කල “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීම සඳහා බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන්ද අදහස් පලකළ ජනාධිපතිවරයා සදහන් කළේ සෑම කාරණයකටම චක්‍රලේඛ උපදෙස් බලාපොරොත්තු වන සේවකයින්වෙ නිසා අකාර්නයක්වාෂම රාජ්‍ය සේවයක් නිර්මාණය වී ඇති බවයි.

කතාව අවසන් කිරීමට පෙරාතුව ” ඔබ ඉල්ලා සිටි නායකයා මම ” බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීම විශේෂත්වයක්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කළ සම්පුර්ණ කතාව පහළින්.

73 වැනි නිදහස් සමරු උළෙලේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා කරන ලද කතාව. ( 2021-02-04 – කොළඹ, නිදහස් චතුරශ්‍රය )

අපේ මව්බිම යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා අද වන විට වසර 73 ක් වෙනවා.

නිදහස දිනා ගැනීම සඳහා විවිධ කැපකිරීම් කල සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ බර්ගර් වැනි විවිධ ජන කොටස්වලට අයත් සියලූම නායකයන්ට අද දිනයේ අපේ ගෞරවය පුදකරනවා.එමෙන්ම, ජාතියේ නිදහස හා ස්වෛරීත්වය වෙනුවෙන් දිවි පිදූ හා විවිධ කැපකිරීම් කල රණවිරුවන්වත් මා කෘතවේදීව සිහිපත් කරනවා. නිදහස ලබා ගතවූ වසර 73 ක කාලය තුල අපි ජාතියක් වශයෙන් බොහෝ අභියෝගයන්ට මුහුණ දී තිබෙනවා.

ආගමික හා වාර්ගික මත ගැටුම්, ජාතිවාදී හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, අනිසි විදේශ බලපෑම්, ව්‍යවස්ථා අර්බුද වැනි ගැටලු රාශියකට අපි විටින් විට මුහුණ දුන්නා. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, අපේ රටේ ජීවත් වන විවිධ ජනවර්ග අතර සැබෑ සංහිඳියාවක් ඇති කිරීම මෙන්ම, දුප්පත්කම සහමුලින්ම තුරන් කොට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා රටට තිරසාර සංවර්ධනයක් උදා කිරීමේ අභියෝගය තවමත් අප ඉදිරියේ තිබෙනවා.

අපේ රටේ ජාතික උරුමයන්, පාරම්පරික සිරිත් විරිත්, ජාතිකත්වය හා දේශාභිමානය බරපතල තර්ජනයකට මුහුණ දී තිබුණ අවස්ථාවක මේ රට 69 ලක්ෂයකට අධික ජනතාව ජනාධිපතිවරයා වශයෙන් මා පත්කර ගත්තේ දුර්වලව පැවති ජාතික ආරක්ෂාව යළි තහවුරු කොට මව්බිම මුහුණ දී තිබුනු අභියෝගයන් ජයගැනීම සඳහා නායකත්වය දෙන්නයි.

මම සිංහල බෞද්ධ නායකයෙක්. එය ප්‍රකාශ කරන්නට මම කිසිවිටක මැලි වන්නේ නැහැ. මම මේ රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම් වලට අනුවයි. සෑම ආගමකටම, සෑම ජාතියකටම නිසි ගරුත්වය ලබා දෙන අවිහිංසාවාදී සාමකාමී බෞද්ධ දර්ශනය තුල අපේ රටේ සෑම ආගමිකයෙකුටම, සෑම ජාතිකයෙකුටම, රටේ පවතින නීති රාමුව තුල එක හා සමානව නිදහස භුක්ති විඳීමේ අයිතිය තිබෙනවා.

දේශීයත්වය අගයන, රටේ ස්වෛරීත්වය සුරකින ජාතික නායකත්වයකට එරෙහිව ජාතිද්‍රෝහී බලවේග එක්වී කඳවුරු බැඳගැනීමත්, තම අරමුණු ඉටුකර ගැනීම සඳහා දේශීය මෙන්ම විදේශීය බලවේග වල සහාය පැතීමත් හැමවිටම සිදුවෙනවා.

මේ අය ඉතා සූක්ෂම ලෙස විවිධ බොරු ප්‍රචාර හරහා ජනතාව නොමග යවන්නට කටයුතු කරනවා. මා ඉල්ලනවා, මේ රටේ ජනතාවගෙන් සැමවිටම විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියා. දත්ත මත පදනම් කොට කරුණු විමසා බලා, සත්‍යය හඳුනාගෙන තීන්දු තීරණ ගන්නවා නම් කිසිවෙකුට ජනතාව නොමග යවන්නට බැහැ.ජනතාව විසින් වත්මන් රජයට වරම් ලබා දී තිබෙන්නේ මා විසින් ඉදිරිපත් කල “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවන්නටයි.

අනාගත පරපුර වෙනුවෙන් දිනූ නිදහස සැමවිටම සුරකින බවත් අපේ රටේ ඒකීය බව, භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය ආරක්ෂා කරන බවත් රාජ්‍ය නායකයා වශයෙන් මම ප්‍රතිඥා දී තිබෙනවා. ඒ ප්‍රතිඥාව මම හැමවිටම සුරකිනවා.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේ රටේ ජීවත්වන සෑම පුරවැසියෙකුටම හිමිවන්නේ සමාන අයිතියක්. වාර්ගික හෝ ආගමික හේතු මත පුරවැසියන් බෙදා වෙන් කිරීමේ උත්සාහයන් අපි ප්‍රතික්ෂේප කරනවා.

සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් ආරක්ෂා කරන අතර අපේ රටේ ක්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් යන ප්‍රතිපත්තිය වෙනුවෙන් අපි හැම විටම පෙනී සිටිනවා. නීතියේ ආධිපත්‍යයට අප සැමවිටම ගරු කරනවා. පසුගිය කාලයේ දේශපාලනඥයින් විසින් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහ අධිකරණයට සිදු කළ ආකාරයේ බලපෑම් ජනතාව ප්‍රතික්ෂේප කළා. එසේ වුවත් ජනතාව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීගෙන් සාධාරණ, අපක්ෂපාතී මෙන්ම කාර්යක්ෂම සේවාවක් බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව ජනතාවගේ විශේෂ අවධානයට ලක් වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය, මහ බැංකු වංචාව වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මට දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මා කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම පසුගිය පාර්ලිමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම එරෙහිව පියවර ගැනීමට කටයුතු කරනු ලබනවා.

මේ මහා අපරාධය සැලසුම් කල හා එයට අනුබල දුන් වගකිවයුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවී යන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අන්තවාදයට නැවත මේ රට තුල හිස ඔසවන්නටත් අපි ඉඩ දෙන්නේ නැහැ.

කොවිඩ් වසංගතය නිසා සමස්ත ලෝකයම අර්බුදයට ලක් වී ඇති වර්තමානයේ, අපේ රටටත් අභියෝගයන් රැසකට මුහුණ දීමට සිදුවී තිබෙනවා. වසරකට වැඩි කාලයක් තිස්සේ මෙම වසංගත තත්ත්වය රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට වගේම ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමටත් බාධාවක් වී තිබෙනවා.

මේ වනවිට ලෝකයේ රටවල් කිහිපයක්ම කොවිඩ් වෛරසය සඳහා සාර්ථකව එන්නත් අත්හදා බලා තිබෙනවා. මෙම එන්නත් ලංකාවට කඩිනමින් ලබා ගැනීමට සහාය දෙන ලෙස මම ඉන්දියාවේ, චීනයේ හා රුසියාවේ නායකයන්ගෙන් ඉල්ලීම් කළා.ඒ වගේම රජය ලෝක සෞඛ්‍ය සංවිධානය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ අනුව මේ වනවිටත් එක් එන්නතක් ලංකාවට ගෙන්වා එය අපේ ජනතාවට ලබාදීම ආරම්භ කොට තිබෙනවා. එන්නත්කරණය නොකඩවා, නොනැවතී ඉදිරියට ගෙන යාමට කටයුතු යොදා තිබෙනවා.

වත්මන් ගෝලීය අර්බුදය හමුවේ සෑම රටක්ම පාහේ ඉගෙනගත් වැදගත් පාඩමක් වූයේ ශක්තිමත් දේශීය නිෂ්පාදකයන් පිරිසක අවශ්‍යතාවයයි. ආහාර සුරක්ෂිතභාවය හා ස්වයංපෝෂිතභාවය තහවුරු කර ගැනීම සඳහා දේශීය කෘෂිකර්මාන්ත යළි නගා සිටුවිය යුතුය යන අපේ ප්‍රතිපත්තියේ කාලෝචිත බව හා නිවැරදි බව මින් තවදුරටත් පැහැදිලි වුනා.

පොහොර නොමිලේ ලබාදීම, වී සඳහා සහතික මිල රුපියල් 50 දක්වා ඉහළ නැංවීම, ගොවි ණය කපාහැරීම, රට පුරා වැව් දහස් ගණනක් ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීම, ගෙවතු වගාව හා නාගරික ගොවිපලවල් ප්‍රවර්ධනය වැනි උත්තේජනයන් නිසා රට තුල ඇති වූ කෘෂිකාර්මික පුනරුදය ඉදිරියටම ගෙන යන අතර, නව තාක්ෂණය භාවිතයන් දිරිමත් කිරීම හරහා කෘෂිකාර්මික ඵලදායීතාව වර්ධනය කිරීමට අපි කටයුතු කරනවා.

වී, බඩඉරිඟු, ධාන්‍ය වර්ග, අල, ලූණු නිෂ්පාදනය දිරිමත් වන ලෙස ආනයන බදු කළමනාකරණය කොට, දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි කහ වැනි නිෂ්පාදනවලට ආනයන සීමා පනවා, ගම්මිරිස් වැනි භෝග ප්‍රතිඅපනයනය සීමා කොට දේශීය ගොවියා ශක්තිමත් කිරීමට ගත් තීන්දුවල සාර්ථක ප්‍රතිඵල මේ වනවිට ලැබෙමින් පවතිනවා.

දේශීය නිෂ්පාදනය වැඩි වී අපනයන අවස්ථාවන් පුළුල් වී තිබෙනවා.

දේශීය ගොවියා ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා ගොවියා ව්‍යවසායකයෙක් බවට පත් කළයුතු බව මා හැමවිටම ප්‍රකාශ කොට ඇති අතර, කෘෂිකර්මාන්තය රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්‍රයක් ලෙස තවදුරටත් සංවර්ධනය කිරීම අපේ අරමුණයි.ආර්ථික සංවර්ධනයේදී, කර්මාන්ත සහ සේවා අංශවල පවතින වැදගත්කම අපි අමතක කරලා නෑ.

පසුගිය කාලය තුල මෙම ක්ෂේත්‍රයන් සඳහා තීරු බදු සහන ලබාදෙමින්, පොලී අනුපාතයන් අඩු කරමින් කර්මාන්ත සහ සේවා අංශ දිරිමත් කිරීම සඳහා රජය පියවර ගත්තා.

බතික්, වේවැල්, මැටි, ස්වර්ණාභරණ වැනි පාරම්පරික කර්මාන්ත නගාසිටුවීම සඳහා පිහිටුවන ලද රාජ්‍ය අමාත්‍යාංශ හරහා මේ වනවිටත් විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා.අපේ රටේ ආර්ථිකයේ විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට සහ ස්වයං රැකියාවල නියුතු පුද්ගලයින් සඳහා ඉතා අඩු තනි ඉලක්කමේ පොලියකට ණය පහසුකම් සැලසීම, ඔවුන්ට අවශ්‍ය අනුමැතීන් ලබාගැනීමේ ප්‍රමාදයන් අවම කිරීමට ක්‍රියාකිරීම වගේම ඔවුන්ට අවශ්‍ය කරන පුහුණුව ලබාදීම වැනි කරුණුවලටත් අපි අවධානය යොමු කළා.

ඉදිකිරීම් කර්මාන්තයට උත්තේජනයක් ලබාදීම, අක්‍රීය වූ ආර්ථිකයක් යළි සක්‍රීය කිරීමට යොදා ගත හැකි සාර්ථක උපායමාර්ගයක්. මේ අනුව අප විසින් දැනටමත් ආරම්භ කොට ඇති මාර්ග කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන, පාලම් දස දහසක් ඉදිකිරීමේ වැඩසටහන, රටපුරා වැව් ප්‍රතිසංස්කරණය කරන වාරි සෞභාග්‍යා වැඩසටහන, එක ගමකට එක ගෙයක් යන තේමාව යටතේ ග්‍රාමීය නිවාස දාහතර දහසක් ඉදිකිරීමේ වැඩසටහන, නාගරික පැල්පත්වාසීන්, අඩු ආදායම්ලාභීන් සහ මැදි ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ලක්ෂයක් ඉදිකිරීමේ වැඩසටහන, වතු ප්‍රජාව වෙනුවෙන් නිවාස හාරදහසක් ඉදිකිරීමේ වැඩසටහන, රට පුරා ජනාකීර්ණ ප්‍රදේශවල ඇවිදින මංතීරු ගොඩනැගීම වැනි ව්‍යාපෘති මහජන සුභසාධනයට හේතු වෙනවා මෙන්ම ආර්ථිකය යළි සක්‍රීය කිරීමටත් ඍජු දායකත්වයක් සපයනවා.

කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා අංශ තුනේම වර්ධනය තුලින් ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්නට කටයුතු කරන අතරම, විදේශ ආයෝජන ලංකාවට ගෙන ඒමේදී තිබෙන බාධා ඉවත් කිරීම සඳහා අපි කටයුතු කරනවා.

රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණන්නේ නැත යන ප්‍රතිපත්තිය නොවෙනස්ව පවතින අතර, ලංකාවට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට බාධා කිරීම සඳහා විවිධ ව්‍යාපෘති සම්බන්ධයෙන් වැරදි අර්ථකථනයන් ඉදිරිපත් කරන්නන්ගේ දේශපාලන යටි අරමුණු බහුතර ජනතාව විචාර බුද්ධියෙන් විමසා බලනු ඇතැයි අපි විශ්වාස කරනවා.අපේ රටේ ජනතාව මෙන්ම, දේශීය හා විදේශීය ව්‍යාපාර වලට බලපාන යල්පැනගිය නීති හා රෙගුලාසි වෙනස් කිරීමටත්, ඒවා යාවත්කාලීන කිරීමටත් මම දැන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවලා තියෙනවා.

කාලාන්තරයක් තිස්සේ සාකච්ඡා කෙරුණු එහෙත් ක්‍රියාත්මක නොවූ මේ ක්‍රියාවලිය අපි දැන් ආරම්භ කොට තිබෙනවා. රටේ ඉදිරි ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට මේ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම විශාල පිටුවහලක් වෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

21 වන සියවස සැලකෙන්නේ දැනුම් කේන්ද්‍රීය ශත වර්ෂය ලෙසයි.රටේ සංවර්ධනය සඳහා මානව සම්පත අතිශයින් වැදගත්. දැනුමින් හා නිපුණතාවයන්ගෙන් පරිපූර්ණ අනාගත පරපුරක් බිහිකිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල පෙන්වා දී තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා අපි වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් පවා පිහිටුවනු ලැබුවා.

මෙම ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා අවශ්‍ය විශේෂඥ සහාය ලබාගැනීම අරමුණු කර ගනිමින් කාර්යසාධක බලකායන් දෙකකුත් පිහිටුවනු ලැබූවා. මේ අය විසින් ලබා දෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම මේ වනවිට ආරම්භ කොට තිබෙනවා.

දැනටමත් විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගන්නා සිසුන් ප්‍රමාණය මේ වසර තුලම 10,000 කින්, එනම් 30% කින් ඉහළ නංවා තිබෙනවා. රජයේ තාක්ෂණ විද්‍යාලවලට ඇතුලත් කර ගන්නා සිසුන් ප්‍රමාණය ලක්ෂයේ සිට දෙලක්ෂය දක්වා වැඩි කරන්නට ප්‍රතිපාදන වෙන් වී තිබෙනවා.

විශ්ව විද්‍යාලවල ධාරිතාව වැඩි කිරීම සඳහා නගරාශ්‍රිත විශ්ව විද්‍යාල පද්ධතියක් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඉදිකිරීමට අනුමතව තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා වේගවත්ව ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරනවා.

ඒ අනුව ඉදිරි වසර කිහිපය තුල අධ්‍යාපන ක්ෂේත්‍රය තුල සැලකිය යුතු ගුණාත්මක ප්‍රගතියක් අත්කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. නූතන ලෝකය තුල අපේ ආර්ථික අරමුණු යථාර්ථයක් කිරීමට නම් අපේ රට තුලත් නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කළ යුතුමයි.තරඟකාරිත්වයෙන් ජයගැනීම සඳහා කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා යන සියලු ක්ෂේත්‍රවලට අනාගතයේදී තාක්ෂණය පදනම් කර ගන්නට සිදුවෙනවා.

එයට සහාය වීම සඳහා ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඉවහල් වන තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් ගොඩනැගීමට අපි බලාපොරොත්තු වෙනවා.“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තිවලට අනුව ආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකෙහිම තාක්ෂණය භාවිතය ප්‍රවර්ධනයටත්, නවෝත්පාදන දිරිගැන්වීමටත් රජය විශාල සහායක් ලබා දෙනවා.

තාක්ෂණ ක්ෂේත්‍රවලට බදු සහන රැසක් මේ වනවිටත් ලබා දී තිබෙනවා. තාක්ෂණය වෙනුවෙන්ම වෙනම අමාත්‍යාංශයක් පිහිටුවා එය මගේ යටතට පවරා ගැනීමට පසුගිය දිනවල අපි කටයුතු කළා.

මෙම අමාත්‍යාංශය හරහා තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුවට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම හා ඒ සඳහා අවශ්‍ය නීතිරීති රාමුව සකස් කිරීම මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළෙඳපොල ක්‍රියාවලිය සරල කිරීම, දැනුම හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම වැනි කරුණුවලට අවධානය යොමු වෙනවා.

තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකත්වය දිරිගැන්වීම සඳහා කඩිනමින් ව්‍යාපාර ආරම්භ කිරීමට සියලු පහසුකම් ඇති තාක්ෂණික උද්‍යාන 5 ක් තෝරාගත් දිස්ත්‍රික්ක පහක ආරම්භ කිරීමට දැනටමත් ක්‍රියාකොට තිබෙනවා. මෙවැනි උත්තේජන හරහා තාක්ෂණ ක්ෂේත්‍රය තුල පුනර්ජීවනයක් ඇතිකිරීමට අපිට අවස්ථාව ලැබෙනවා.මා මෙතෙක් කී සියලු දේ කලේ සමස්ත ලෝකයම අකර්මන්‍ය කල, කොවිඩ් වසංගතයටත් මුහුණ දෙන ගමන් වසරක වැනි කෙටි කාලයක් තුල බව අමතක නොකරන ලෙස මම මේ රටේ බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වසරකට ඇමරිකානු ඩොලර් මිලියන හාරදහස් පන්සීයක් පමණ විදේශ විනිමයක් රටට ලබා දුන් සංචාරක ක්ෂේත්‍රය මේ රටේ ලක්ෂ තිහකට ආසන්න පිරිසකට ඍජු සහ වක්‍ර රැකියා සැපයූවා. මේ අය අද තම ජීවිකාව කරගත නොහැකිව දැඩි අසීරුතාවන්ට පත්ව සිටිනවා.

හැකි ඉක්මනින් අපි මේ අයට විසඳුම් ලබා දිය යුතුයි. ඒ නිසා, සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් විධිමත් සැලැස්මක් යටතේ සංචාරක ව්‍යාපාරය පියවරෙන් පියවර යළි ආරම්භ කිරීමට අපි කටයුතු කර තිබෙනවා.

මම හැමදාමත් පරිසරයට ආදරය කල කෙනෙක්. එදා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් සිටියදී නගර අලංකරණය, නිවාස සංවර්ධනය, ඇවිදින මංතීරු හා නාගරික උද්‍යාන සකස් කිරීම වැනි සියලු ව්‍යාපෘතිවලදී පරිසරය ආරක්ෂා කරමින් ඒ සංවර්ධන කටයුතු කරන්නට මම කටයුතු කළා.

අදත් මගේ රජය අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීමට විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා.

නාගරික වන උද්‍යාන ඉදිකිරීම්, හරිත නගර සැලසුම්කරණය, හරිත ව්‍යාපෘති, ජාතික රුක්රෝපණ වැඩසටහන්, ඇල මාර්ග හා වැව් අමුණු ප්‍රතිසංස්කරණය, පුරන් කුඹුරු යළි අස්වැද්දීම, කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය, ප්ලාස්ටික් භාවිතය සීමා කිරීම වැනි සියලු දේවලින් පෙනී යන්නේ මේ රජයේ තිරසර පරිසර කළමනාකරණ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගෙන ආකාරයයි.

ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තිය තුල මූලික පදනම වී තිබෙන්නේ, ආර්ථික නිදහසකින් තොරව ආර්ථිකයේ සැබෑ ප්‍රතිඵල අත්කර ගත නොහැකි බවයි.

දුප්පත්කම තුරන් කිරීම, සියලු පුරවැසියන්ට දියුණුවීම සඳහා සම අවස්ථාවන් ලබාදීම, දේශීය ව්‍යාපාරිකයින් ගොඩනැගීම යන රජයේ අරමුණු ඉටුකර ගැනීම සඳහා අපට පිරිසිදු හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍ය වෙනවා.

මෙරට රාජ්‍ය සේවය සමස්ත රටපුරා විසිරුණු ශක්තිමත් යාන්ත්‍රණයක්. මෙය ලෝකයේ බොහෝ රටවල නොමැති විශාල අවස්ථාවක්. එබැවින්, එම ශක්තිමත් යාන්ත්‍රණය විසින් රටේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ඉහළ දායකත්වයක් ලබා දෙනු ඇති බවට අපි අපේක්ෂා කරනු ලබනවා.

එසේ වුවත්, වර්තමානයේ සෑම ස්ථරයකදීම තීන්දු තීරණ ගැනීමේ දුර්වලතාවයක් අපිට දකින්නට ලැබෙනවා. ඉතා සරල ආයතනික කටයුතු සම්බන්ධ තීරණවලදී පවා, නිලධාරීන් විසින් තීරණ නොගෙන ඒවා අමාත්‍ය මණ්ඩලයට යොමු කරනු දක්නට ලැබෙනවා.

සෑම කාරණයකටම චක්‍රලේඛ උපදෙස් බලාපොරොත්තු වෙනවා. තමන්ට තීරණ ගැනීමට හැකි සීමාව තුල වුවද තීරණ ගැනීමට පැකිලෙනවා. මේ තත්ත්වය වෙනස් කර නොගත්තොත් රට ඉස්සරහට ගෙනියන්න ඉතා දුෂ්කර වෙනවා. නිවැරදි තීන්දු ගෙන රට වෙනුවෙන් වැඩ කරන රාජ්‍ය සේවකයන් තවදුරටත් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කරන නීති ප්‍රතිසංස්කරණ මේ වනවිටත් සකස් වෙමින් පවතිනවා. එනිසා, සේවා සැපයීමේදී මහජනතාවට බාධාකාරී වන සීමාවන් සහ ක්‍රමවේදයන් ලිහිල් කර ගනිමින්, රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ලෙස වගකිව යුතු සියලුදෙනාගෙන් මම ඉල්ලා සිටිනවා.

“ගම සමග පිළිසඳරක්” වැඩසටහනට මම පුද්ගලිකව හා සක්‍රීයව සම්බන්ධ වන්නේ ග්‍රාමීය සංවර්ධනය රජයේ මූලික ප්‍රමුඛතාවක් නිසයි. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්ති බිම් මට්ටමේ ක්‍රියාවට නැංවීමේදී දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය යාන්ත්‍රණය ඉතා වැදගත් වෙනවා.

මෙම සංවර්ධන ක්‍රියාවලියේදී ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සිට ග්‍රාමීය මට්ටමේ සේවා සපයන ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ආදී වශයෙන් සෑම රාජ්‍ය නිලධාරියෙකුටම පැහැදිලි වගකීමක් පැවරෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය තුල රෝගය පාලනය සහ අනෙකුත් සේවා සම්පාදනයේ දී ඔවුන් සියලු දෙනා අපිට ලොකු ශක්තියක් වුනා. ඒ වගේම රටේ ආර්ථික සංවර්ධන අභියෝගයන් ජය ගැනීමේදී ද, රාජ්‍ය සේවකයන්ගේ උපරිම දායකත්වය අපි අපේක්ෂා කරනවා.

ජාතික මට්ටමේ කටයුතු වලදී මෙන්ම ග්‍රාමීය සංවර්ධනයේදීත් දේශපාලන නායකත්වයට විශාල වගකීමක් තිබෙනවා. අපේ රජයේ සියලුම කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා මෙන්ම නගර සභා හා ප්‍රාදේශීය සභා දේශපාලන අධිකාරිය දිස්ත්‍රික් හා ප්‍රාදේශිය සංවර්ධන කටයුතුවලට සක්‍රීයව සහභාගි වන යාන්ත්‍රණයක් අපි ක්‍රියාත්මක කොට තිබෙනවා.දූෂණය හා නාස්තිය රටක සංවර්ධනයට විශාල බාධාවක්. රාජ්‍ය පාලනය තුල දූෂණය සහ නාස්තිය නැති කිරීම සඳහා අපි ආදර්ශයෙන් කටයුතු කරමින් සිටිනවා.

දුෂණයට සහ නාස්තියට වැරදිකරුවන් වන කිසිවෙකුට රජයක් වශයෙන් අපි ලිහිල් බවක් දක්වන්නේ නැහැ. කෙසේවෙතත් වර්තමානයේ රාජ්‍ය අංශ තුල දුෂණය නතර කිරීමට විශාල බාධාවක් වී ඇත්තේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජනතාව මේවාට වක්‍රාකාරව සහාය ලබාදීමයි.

ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, දූෂණයට ඍජුව හෝ වක්‍රව සහාය නොදක්වන ලෙස. යම් කිසි පුද්ගලයෙක් දූෂණයට සම්බන්ධ නම්, ඒ සඳහා ඔබව පොළඹවනවා නම් අදාළ ආයතන දැනුවත් කරන්න. දූෂණය හා නාස්තිය නැති කිරීමට රටපුරා සමාජ මතයක් නිර්මාණය කරන්න එකතු වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. අපේ අනාගත පරපුර පවා මේ සම්බන්ධයෙන් දැනුවත් කළයුතුයි.

ඒ සඳහා මාධ්‍ය වලින් ලැබෙන සහායත් අපි අගය කරනවා.මා ජනාධිපති කරවීම සඳහා තමන් වෙහෙස වූ බව විවිධ පාර්ශ්ව ප්‍රකාශ කරනවා. එය සත්‍යයක් විය හැකියි. සමාජයේ සෑම පැතිකඩක්ම නියෝජනය කරන ජනතාව මා වටා රොක් වී මට සහාය දුන්නා.

මා විශ්වාස කරනවා බහුතරයක් එසේ කලේ පුද්ගලික වාසි තකා නොව රට වෙනුවෙන් සේවයක් මගෙන් බලාපොරොත්තු වූ නිසාය කියා. එසේ අවංක චේතනාවෙන් මට සහාය දුන් ජනතාවගේ පොදු අපේක්ෂාවන් ඉටුකරන්නට මම හැමවිටම කටයුතු කරනවා. නමුත් පුද්ගලික හෝ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කරගැනීමේ පටු චේතනාවෙන් මට සහාය දුන් අය සතුටු කිරීම සඳහා රටට අහිතකර තීන්දු ගන්නට මම කිසිවිටෙක සූදානම් නැහැ.

ඉතිහාසය පුරා ශක්තිමත් ශිෂ්ටාචාරයන් ගොඩනැගුවේත්, රටවල් සංවර්ධනය කලේත් අනාගතය දෙස ධනාත්මකව බලා ඉලක්ක හඹා ගිය මිනිසුන් විසින්.

අපේ රටේ සංවර්ධනය සඳහාත් මේ මොහොතේ අවශ්‍ය වන්නේ එවැනි චින්තනයක්.අනෙකුත් අය විසින් කරන හැම දේකම වැරදි පමණක් දකින සමාජය වෙනුවෙන් තමන් කිසිවක් නොකරන, සර්ව අසුභවාදීන්ගෙන් රටේ ප්‍රගමනයට කිසිදු දායකත්වයක් ලැබෙන්නේ නෑ.

අද අපට අවශ්‍ය තිබෙන්නේ රටට ආදරය කරන, සමාජයට වැඩදායී, විවේචනය පසෙකලා ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් ලබාදෙන, ධනාත්මක පුරවැසියන්ගේ ආශිර්වාදය හා සහායයි.ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, විනයගරුක, ගුණගරුක සමාජයක්, සෞභාග්‍යමත් දේශයක් කියන මූලික අරමුණු ඉටුකර ගැනීම සඳහා අපි කැපවී සිටිනවා.

අපේ රටේ බහුතර ජනතාව ඔවුන්ගේ නිසි දායකත්වය ලබාදුන්නොත් ඒ අරමුණු ඉටුකරගන්න පුළුවන්. ඒ නිසා ධනාත්මක ආකල්ප සහිතව, ඔබේත් මගේත් දූ පුතුන්ගේ, අනාගතය ගොඩනැගීම සඳහා අප සමග එකතු වන ලෙස මේ රටේ සියලු පුරවැසියන්ට මම යළිත් ආරාධනා කරනවා.

ඔබ ඉල්ලා සිටි නායකයා මමයි. ඔබ මට බාරදුන් වගකීම මම නොපිරිහෙලා ඉටු කරනවා.

තෙරුවන් සරණයි.

ඔබට සැමට ස්තුතියි.

© ජනාධිපති මාධ්‍ය අංශය