Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපතිගේ “ගම සමඟ පිළිසඳර” ගැන ජනතාවගේ ප්‍රසාදය – රා මදින්නෙකු ගේ කතාවකට සභාවේ සිනා (Video)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගමින් ගමට යමින් ජනතාවගේ ප්‍රශ්න සඳහා  විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කර ඇති  ගම සමග පිළිසදරක් වැඩසටහනට ඉහළ ජනතා ප්‍රසාදයක් හිමිව තිබෙනවා.

ජනතාව පෙන්වා දෙන්නේ තම ගම්බිම් වල ප්‍රශ්න ගැන කතා කිරීමට කිසිදිනක ජනාධිපතිවරයෙකු ගමින් ගමට නොපැමිණි බවයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ එක් කෙළවරක, නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම්ව බලංගොඩ, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් රාවණාකන්ද ග්‍රාමයේ, තෝරවෙල්කන්ද විද්‍යාලයීය ක්‍රීඩා භූමියේ දී පසුගියදා පැවති ගම සමග පිළිසදරක් වැඩසටහනේදී ජනතාව මේ අදහස් පළකලා.

රාවණාකන්ද ග්‍රාමයට ආසන්න කට්ටඩිකන්ද, ගල්ලෙනකන්ද සහ තෝරවෙල් කන්ද ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක ජනතාව ජනාධිපතිතුමා හමු වී සිය දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට තෝරවෙල් කන්ද විද්‍යාලයට පැමිණ සිටියහ.

කිතුල් මැදීම, තේ දළු නෙළීම ඇතුළු එදිනෙදා ජීවනෝපායන් සිදු කරමින් ජීවත් වන ජනතවගේ ප්‍රශ්න පිළිබඳ වඩාත් සංවේදී වන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන් ජනාධිපතිවරයා වන සංරක්ෂණ හා වනජීවි භූමිවලට ඇතුල්වන ගම්මුන්ට අත්තනෝමතික ලෙස නඩු පැවරීම නතර කරන්නැයි ද නිලධාරීන්ට නියෝග කළා.

ප්‍රදේශයේ තේ වගාකරුවන්ට අඩුවක්ව පවතින තේ සැකසුම් මධ්‍යස්ථානයක් ඉදි කර දීම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. තේ දළු ප්‍රවාහනයේ දී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමට පහසුකම් සැලසීමට මැදිහත්වන්නැයි පළාත් දේශපාලනඥයින්ට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

කරගස්තලාව විද්‍යාලය, සුමන විද්‍යාලය, බලංගොඩ කනගනායගම් දෙමළ විද්‍යාලය, වලේබොඩ දෙමළ විද්‍යාලය, උඩගම විද්‍යාලය, පින්නවල දෙමළ මහා විද්‍යාලය, බලංගොඩ බුද්ධ ජයන්ති විද්‍යාලය, තෝරවෙල් කන්ද විද්‍යාලය ඇතුළු පාසල් රැසක ගුරු හිඟයට සහ යටිතල පහසුකම් සංවර්ධනයට කඩිනම් විසදුම් දීමට ද   තීරණය කෙරිණ. සබරගමුව පළාතේ උසස් පෙළ විද්‍යා, ගණිත, වාණිජ හා තාක්ෂණ විෂයන් ඉගැන්වීමේදී පවතින දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ හිගය පියවීමට කඩිනම් සැලසුම් සකස් කරන ලෙස ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙනු ලැබීය.

ප්‍රදේශයේ තරුණ තරුණියන් උදෙසා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹීමට ද තීරණය කෙරිණ.

පින්නවල ග්‍රාමීය රෝහල, මනතුංගකන්ද ඇතුළු ග්‍රාමීය රෝහල් කිහිපයක වෛද්‍ය, හෙද සහ යටිතල පහසුකම් සංවර්ධනයට කඩිනම් පියවර ගැනීමට ද උපදෙස් දෙනු ලැබිණ.

බැංකියවත්ත කසල මුදා හැරීමේ මධ්‍යස්ථානය ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර නොවන ලෙස සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරියට පවරනු ලැබීය.

ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට විශාල අඩුවක්ව ඇති සුසාන භූමියක් ඉදි කිරීමට සුදුසු භූමියක් වෙන් කර පළාත් පාලන ආයතනයට පැවරීමට ද තීරණය කෙරිණ.

තෝරවෙල්කන්ද විද්‍යාලයට ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරනු පිණිස ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතන අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක පද්ධතියකින් සමන්විත “සුහුරු පන්ති කාමරයක්” ප්‍රදානය කළේය.

අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, අකිල එල්ලාවල, ගාමිණි වෙලේබොඩ, මුදිතා ද සොයිසා, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව,  ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු, ජනතා නියෝජිතයෝ සහ අමාත්‍යාංශ රැසක ලේකම්වරු ඇතුළු නිලධාරීහු “ගම සමග පිළිසඳරට” එක්ව සිටියහ.

රා මැදීමෙහි නිරත ගැමියෙකු සහ ජනධිපතිවරයා අතර ඇති වූ දෙබසට අදාළ වීඩියෝව පහළින්..