Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

චාල්ස් කුමරු සනීපෙන් ද?

පසුගිය මාර්තු මස අග භාගයේ දී කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු කෙරුණු එංගලන්තයේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමාරයා මේ වන විට සිය රෝගයෙන් සුවය ලබමින් සිටින බව වාර්තා වේ. 

තමා ආසාදිතයෙකු බව දැන ගත් මොහොතේ සිට ඔහු සියලු රාජකාරීවලින් ඉවත් වූ අතර, ස්කොට්ලන්තයේ පිහිටි රාජකාරී නිවසකට වී හුදෙකලාව පසු වූයේ ය. එරට නීතිය අනුව ආසාදිත පුද්ගලයෙකු දින දාහතරක් අනිවාර්යයෙන් නිරෝධායනයට ලක් විය යුතු වන සේ ම නැවත ද දින හතක් දෙවන නිරෝධායනයක් සිදු කර ගත යුතු ය. එනම් එවැන්නෙකු අනිවාර්යය දින විසි එකක් හුදෙකලා ව සිටිය යුතු ය. 

ඒ අනුව චාල්ස් කුමරුන් මේ පසු කරමින් යන්නේ ඔහුගේ දෙවන නිරෝධායන කාල සීමාවයි. වයස හැත්තෑ එකක් වුවත් පෙර දී ද ඔහුට එතරම් තදබල රෝග ලක්ෂණ මතු වූයේ නැත. දැනුදු කිව යුතු තරම් අපහසුවක් තමාට නොමැති බව කුමරු ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරමින් පැවසීය. එබැවින් මෙම කාල සීමාව අවසන් වූ විගස හැකි ඉක්මනින් නැවත රජ මාලිගය බලා පැමිණීමටත්, රටවැසියන් වෙනුවෙන් සිය යුතුකම් උපරිම අන්දමින් ඉටු කිරීමටත් තමා බලාපොරොත්තු වන බව හෙතම තව දුරටත් පවසා සිටියේ ය. මාලිගාවට පැමිණි පසු රෝගය වැළඳී සුව වූවෙකු වශයෙන් තමා වඩාත් අත්දැකීම් සහිත වන බැවින්, සිය දේශයේ රෝග ව්‍යාප්තියත්, රෝගීන්ගේ වර්ධනයත් අවම කර ගැනිමට හැකි වනු ඇති බව චාල්ස් කුමරුන්ගේ විශ්වාසය යි.

රජ පවුලේ ඉතිරි සාමාජිකයන් අතරින් කිසිවෙකුටත් රෝගය වැළඳී ඇති බවට සාධක නැත. අවම වශයෙන් චාල්ස් කුමරුන්ගේ බිරිඳ වන කැමිලා කුමරියට හෝ එය ආසාදනය වී නොමැති හෙයින් ඔවුන් සියලුදෙනා සාමාන්‍ය පරිදි රැජිනට සහය දැක්වීමේ වැඩකටයුතුවල නිරත වන බව පෙනේ.

කෙසේ වුවත් පසුගිය දිනෙක එක්සත් රාජධානියෙ අගමැතිවරයා වන බෝරිස් ජොන්සන් ද කොවිඩ් වෛරසයේ ආසාදිතයෙකු බවට තහවුරු වූ අතර ඔහුගේ රෝගය උත්සන්න වූ බැවින් රෝහල්ගත කෙරිණි. පසුව දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලැබූ ඔහු මේ වන විට නිවසට වී සුවයෙන් පසු වේ. එහෙත් දෙවන ආසාදනය එනම්, නැවත වරක් රෝග ලක්ෂණ මතු වීමට ඇති ඉඩකඩ පිළිබඳ තවමත් සැක ඇති බැවින් ඔහු ජනතාව සමඟ නොගැවසෙන බව පෙනේ.