Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා අවදානම මැද කොළඹ නගරසභාව රැස්වෙලා!! නගරාධිපතිවරිය හේතු පහදයි

පවතින කොරෝනා අවධානයමද නොතකා කොළඹ මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමක් ඊයේ පවත්වා තිබෙනවා.

ඊයේ (29 දා) සවස පවත්වා ඇති මෙම රැස්වීමේ මුලසුන දරා ඇත්තේ කොළඹ නගරසභාවේ නගරාධිපතිවරිය වන රෝසි සේනානායක මහත්මියයි.

මේ වන විටත් නගර සභාවේ සේවකයන් කීපදෙනකුට කොරෝනා වැළඳී තිබීම හේතුවෙන් මෙම නගර සභා රැස්වීම නොපවත්වන ලෙසට නාගරික මන්ත‍්‍රීවරුන් කීපදෙනකුම ඉල්ලා සිට ඇති බවත් එම ඉල්ලීම නොතකා  මාසික සභා රැස්වීම දහවල් 2.30 සිට සවස 5.30 දක්වා පවත්වාගෙන ගොස් ඇති බවටත් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව විමසීම සඳහා අප කොළඹ නගර සභාවේ නගරාධිපතිවරිය සම්බන්ධ කර ගත්තා.

මතු ව ඇති තත්ත්වය පිළිබඳව අප ඇයගෙන් සෘජුව ප්‍රශ්න කළා.

නගරාධිපතිතුමිය ඇයි මේ වගේ වෙලාවක අවදානමක් අරගෙන රැස්වීමක් පවත්වන්න කටයුතු කළේ ?

අපිට ඒක කරන්න සිද්ධ වෙනවා.කොළඹ මහ නගර සභාවේ සේවක සේවිකාවන් රැසක් ජීවිත අවදානම පවා නොතකා තමන්ගේ රාජකාරි වල යෙදෙනවා.

ඒ අයට වැඩ කරන්න අවශ්‍ය මූල්‍ය බලය ලබා දීමේ හැකියාව තිබෙන්නේ නගර සභාවේ මහජන නියෝජිතයො වෙච්ච අපිට.ඒ වගකීම පැහැර හරින්න අපිට බැහැ.

මුළු කොළඹම සුරක්ෂිත කිරීමේ වගකීම  පැවරෙන්නේ අපිට.විශේෂයෙන්ම කොළඹ නගර සභාව යටතේ පාලනය වන ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් තමයි පහු ගිය දින කිහිපයේම කොළඹ නගරය ආශ්‍රිත රෝගීන් හදුනාගැනීම් වලට පවා මැදිහත් වුණේ.ඒ වගේම නිරෝධායනයට ලක් කර තිබෙන ජනතාවට අවශ්‍ය වියලි සලාක පවා ලබා දීමට අපි කටයුතු කරමින් ඉන්නවා.අනිත් පැත්තෙන් ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම,ගිනි නිවීමේ සේවා ,හදිසි සහන සේවා,මහල් නිවාස සහ වතු ආශ්‍රිත ජනතාවගේ සුභසාධනය තියෙන්නේ කොළඹ මහ නගර සභාව යටතේ.ඒ වගේම මාතෘ සහ ළමා සායන, ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන ඇතුළු සියලු ආයතන සහ දෙපාර්තමේන්තුව  වල වගකීම දරන්න අපිට සිද්ධ වෙනවා.මේ සියළු දේ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීම සඳහා අනිවාර්යෙන්ම කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් 119 දෙනා රැස් වෙන්න අවශ්‍යයි.

මිනිස්සු ජනතා වරමක් අපිට දීලා තියෙන්නේ ඒ වගකීම් ඉෂ්ට කරන්න.

නමුත් මේ වගේ වෙලාවක ඔබේ මූලිකත්වයෙන් පැවැති මේ කටයුත්තට සම්බන්ධ වුණු අයගේ ජීවිත අවදානමට ලක්වෙනවා නේද? 

මේ සම්බන්ධයෙන්,විශේෂයෙන් මම කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහත්මයට කතා කළා.ඔහු දැනුවත් කරලා ඔහු අධීක්ෂණය යටතේ දැඩි සෞඛ්‍යය නිර්දේශය වලට යටත්ව තමයි අපි අදාල රැස්වීම් පැවැත්වුවේ.එතන කිසිම අනාරක්ෂිත බවක් නිර්මාණය වුණේ නැහැ.

රැස්වීම පැවැත්වීමට පෙර එම ස්ථානය පරීක්ෂාවට ලක් කරන කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා

අනික කිසිම පාර්ශවයක් අදාළ රැස්වීමක් තියන්න එපා කියලා මා වෙත දන්වලත් නැහැ.

ඉතාම පැහැදිලියි මෙතන තියෙන්නේ දේශපාලනිකව යම් පිරිසක් වාසි ලබාගන්න කරන උත්සාහයක්.

ඔබතුමිය කියන විදිහට කිසිම අවදානමක් නැද්ද? 

පැහැදිලිවම අපි අදාල සෞඛ්‍යය නිර්දේශවලට යටත්වයි රැස්වීම පැවැත්වුවේ.නමුත් අවදානමක් තියෙන්න පුළුවන්.මගේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කම්කරු ජනතාව  මේ හැමෝම  තමන්ගේ ජීවිත අවදානමට තියල  තමන්ගෙ රාජකාරිය වෙනුවෙන් කැපවෙන මොහොතක මහජන නියෝජිතයො විදිහට අපිටත් අපේ වගකීම පැහැර හරින්න බැහැ.

මමත් දැන් මිත්තණියක්.මාසයකින් මගේ පුංචි මිණිපිරිය බලන්න මට යන්න බැරි වුණා.මේ කොරෝනා ප්‍රශ්නය නිසා.අපිත් කැප කිරීම් කරන්න අවශ්‍යයි.සමහර විට අපිට ඉස්සරහට කොරෝනා එක්කම සාමාන්‍ය විදියට ජීවත් වෙන්නත් වෙයි.

ඒ මොනවා වවුණත් අපිට වගකීමක් තියෙනවා.රටේ බැංකු, වෙළඳසැල්, සුපර්මාර්කට් මේ හැම දෙයක්ම ඇරලා තියන වෙලාවක අපිට නගර සභාවේ අවශ්‍යයෙන්ම සම්මත කරගත යුතු මුදල් වෙන්කරගැනීම් සිදු කරන්න. ඒ සදහා සභාව කැඳවන්නම වෙනවා. අනික එහෙම කැඳෙව්වා කියලා කිසිම කෙනෙක් අතරේ  පැනක් පැන්සලක්වත් හුවමාරු වෙන්නෙ නෑ .අවශ්‍ය දුර ප්‍රමාණ යටතේ ඒ අයට ආසන පනවල තමයි රැස්වීම පැවැත්වුණේ.

ඇතැම් මාධ්‍ය වාර්තා කරල තිබුණා සමහරවිට ඔබ වත් නිරෝධනයට යවන්න වෙයි කියලා.

“මම කණගාටු වෙනවා ඒ වගේ වාර්තා කිරීම් ගැන.ඒ අයගේ රාජකාරි වෙන එකක් අපේ රාජකාරියට තව එකක්. ඒ නිසා එහෙම ප්‍රශ්නවලට උත්තර දීල වැඩකුත් නෑ.

මම හිතන්න ඕනේ මගේ නගර සභා බල ප්‍රදේශ ඉන්න මිනිස්සු ගැන.ඒ වගේම මොන අවදානමක් අවදානමක් තිබුණත් ⁣රටේ අගනගරයේ පවිත්‍රතාවය ගැන.ජල සැපයුම්,සනීපාරක්ෂක පහසුකම් අඛණ්ඩව සැපයීම පිළිබඳව.පිං පඩි ලබන විශාල පිරිසක් ඉන්නවා මහජන ආධාර දෙපාර්තමේන්තුව ඒ අයට අවශ්‍ය මුදල් ලබා දෙනවා ඒ මුදල් ලබා දෙන්න බැරිවුණොත් දන්නවද මොකද වෙන්නේ කියලා.අපි කිසි කෙනෙකුට ඒ වගකීම මග අරින්න බෑ. සියළු ආයතන සහ සේවා අඛණ්ඩව පවත්වාගෙන යා යුතුමයි. අනික් අතට රජයේ නිලධාරීන් ,කම්කරුවන් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරද්දි ඒ අය මෙහෙයවන්න, ඒ අයට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න වගකීමක් අපට තියෙනවා.මොන අවදානම ආවත් අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා”යනුවෙන් ඇය සදහන් කළාය.

About The Author