Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොල් රුප්පාවේ සිට තල් රුප්පාවට.

කොළඹින් රාත‍්‍රී එකට පිටත් වූ බසය ඒ 9 මාර්ගය ඔස්සේ යාපනයට පැමිණෙන විට පසු දා දහවල පසු වී තිබිණි. අලිමංකඩ මංසන්ධියේ දී පසු කෙරුණු වීර හසලක ගාමිණී ගේ සේයා රුව සිතට ගෙන දුන්නේ ලක් මවගේ දරුවෙකු පිළිබඳ උපන් සැබෑ ම ආඩම්බරයකි. එවන් පුතුන් කාෂ්ටක අව්වේ දහදුක් විඳිනා කල, ඔවුන් විසින් ඉතා අමාරුවෙන් රැස් කරගෙන තිබූ ජලය පිරවූ ටැංකිවලට සිදු වූයේ මුලින් කපා හෙළුෑ ගස් මෙන් බිම වැතිර සුසුම් හෙළීමට ය. හෙට මලක් වනු පිණිස සිප ගත් කටු පොකුරු විජයග‍්‍රහණයක් බවට හැරී, එහි සංකේතය මහා වැලි තලාවක් මැද සිංහ සෙයියාවෙන් වැඩ සිටිනු පෙණිනි.

මණ්ඩතිව් දූපතෙහි පිහිටි නාවික හමුදාවට අයත් නිවාඩු නිකේතනය අපගේ නවාතැන් පොළ විය. යාපනය දිස්ත‍්‍රික්කයේ පිහිටි සියලූ දූපත්වල නාවික හමුදා කඳවුරු පිහිටා තිබේ. මණ්ඩතිව්හි වේළුසුමන, කයිට්ස්හි කංචදේව, පුංකුඩතිව්හි ගෝඨයිම්බර, කරෙයිනගර්හි එළාර, මාදගල්හි අග්බෝ, ඩෙල්ෆ්හි වසභ සහ මූලස්ථානය වූ කන්කසන්තුරේහි උත්තර ආදී වශයෙනි.

අප්‍රේල් හා දෙසැම්බර් කාලවල දී පමණක් වැසි ලැබෙන යාපනය සැබවින් ම දුෂ්කර ය. නගරයේ සිට එහි යන්නෙකුට ප‍්‍රථමයෙන් හැඩ ගැසීමට සිදු වන්නේ ජල ප‍්‍රශ්නයට යි. වඩාත් අපහසු ම කාර්යය ද එය යි. අධික කිවුල් රසයකින් යුත් ජලය කටට ගැනීම ද ඔක්කාරය ඇති කරවයි. මුහුණ කට දොවා ගත්ත ද සබන් ගෑ කල ඔහේ දිය වී යයි. ස්නානය කළ පසු හිසකෙස් එකට ඇලේ. දිගු වරලසක් ඇත්තියකට නම් එය පිරීම සිහිනයක් ම වනු ඇත.

යාපනයේ ජනතාවගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය හේන් ගොවිිතැන ය. වී ගොවිතැනට තරම් සෑහෙන ජලය ඔවුනට නැත. තිබුණත්, ලුණු මිශ‍්‍ර ජලය වී වගාවට නොහොබී. මිරිස්, රතුලූනු ආදියත් වම්බටු, බෝංචි ඇතුළු සෑම වර්ගයක ම එලවළු මෙන් ම පලතුරු වර්ගත් මෙහි තිබේ. බැලූ බැලූ අත කෙසෙල් වගාවන් දිස් වන අතර යාපනයේ මිදි සඳහා වෙළෙඳපොළ තුළ ඇත්තේ ද හොඳ ඉල්ලූමකි. එක් ගොවියෙකුට සාමාන්‍යයෙන් එලවළු කි.ග‍්‍රෑ. 50ක පමණ ආදායමක් ලැබේ. ලංකාවට දුංකොළ සපයන ප‍්‍රධාන ගොවියෝ ද මොවුහු ය.

කොළඹට පොල් මෙන් යාපනයට කප්රුක තල් ගස යි. එහෙයින් ජනයා ගොවිතැනින් පමණක් නො සෑහී තල් ආශ‍්‍රිත නොයෙක් ආදායම් මාර්ග ද සකස් කරගෙන තිබේ. නිවෙස් බොහොමයක් සෙවිලි කෙරෙන්නේ තල් කොළවලිනි. අපූරු රටාවකට වියන ලද ඒ තුළින් හිරු රැස් හෝ වැහි බිඳු කාන්දු වන්නේ නැත.

ගැමියන්ගේ ප‍්‍රයෝජනය සඳහා තල්කොළ කැපීම තවත් පිරිසකගේ ජීවන වෘත්තිය යි. එවැන්නන්ගේ හිනතුරෙහි හැම විට ම පිහියක් රැඳෙයි. පරම්පරා ගණනක් තිස්සේ එක ම පිහිය භාවිතා කරමින්,
”මේ අපේ මුත්තා පාවිච්චි කරපු පිහිය…”
යැයි ආඩම්බරයෙන් පවසන්නෝ ද වෙති. එහෙත් ඔවුන්ගේ දිනක වේතනය රුපියල් 350ක් වැනි සුළු මුදලක් පමණි.

තවත් පිරිසක් තල් හකුරු නිපදවති. හකුරු කුට්ටි හා කැබලි ලෙස කපා තල් කොළයේ ම දවටනු ලැබේ. දොදොල්, තලගුලි, තල කැරළි, තල බොන්ඩා මෙන් ම කොට්ටකිලංගුවලින් ද යාපනයට අඩුවක් නැත.

සැමියා නිවසින් පිටත රැකියාවට යන අතර බිරිඳ හා දරුවෝ මෙවැනි ස්වයං රැකියාවල නිරත වෙති. සියල්ලෝ එක් රැකියාවක් කරන අවස්ථා ද ඇත. මෙම ද්‍රව්‍ය වෙළෙඳාම් කරන්නේ ද ඔවුන් ම ය. නගරයෙන් පැමිණෙන සංචාරකයෝ මෙවැනි ආහාරවලට වැඩි කැමැත්තක් දක්වති.

මුහුදුබඩට ම ආවේණික ධීවර වෘත්තිය යාපනයට ද වෙනසක් නැති ව ම අදාළ ය. එහෙත් මෙහි බොහෝ දුරට ඇත්තේ මුහුද නොව කළපුව යි. එහෙයින් බෝට්ටුවලටත් වඩා සුලබ දර්ශනය වන්නේ මාළු දැල් සහ මාළු කොටු ය. විශාල දැලක් අතේ වැලමිට වටා ඔතා, මාළු අහිනක් දුටු විට එක්තරා රටාවකට දැල වීසි කොට නැවත ඇදි කල, මාළු පමණක් දැලේ ඇමිණී එම පුදුම සහගත ය. එම ක‍්‍රමය ආරක්ෂිත ය. මහලු වියට එළඹුණු පුද්ගලයෙකුට වුව ද පහසුවෙන් සිදු කළ හැකි ය.

ගැඹුරු මුහුදේ සිදු කිරීමට අසීරු මාළු කොටු සකස් කිරීමේ ක‍්‍රියාවලිය, ස්වභාවික සංසිද්ධියක් උපයෝගී කොට ගනී. කළපුවේ එක් ස්ථානයක දැල් හා දඬු යොදා ගනිමින් කොටුවක් සාදන අතර එක් පසෙක හිඩැසක් තබයි. විවෘත වූ ස්ථානයේ එක් පැත්තක දැල මීටර කිහිපයක් දිගට ගෙන ගොස් සවි කර ගනී. දික් වී ඇති දුර ප‍්‍රදේශයේ සිටින මාළුන් එහා මෙහා යාමට උත්සහ ගනිද්දී දැලෙන් බාධා ඇති වේ. මාළුවා ආපසු නොහැරී දැල දිගේ පිහිනමින් ඉදිරියට යාමට උත්සහ කරයි. එහෙත් අවසානයේ සිදු වන්නේ ඌ කොටුව තුළට පැමිණීම යි. පිටතට යාමේ සිදුරක් ඇතත් අහම්බයකින් හැර එය සොයා ගැනීමට මාළුවාට ඥානයක් නොමැත. එහෙයින් කොටුව තුළ ම පිහිනමින් පසුවීමට ඌට සිදු වේ. පසු දින පැමිණෙන අයිතිකරුවාට කොටුව තුළ සිර වී සිටින මාළුන් පහසුවෙන් අල්ලා ගැනීමට හැකි වේ.

සිරුරේ අලංකාරය ගැන සිතමින් එක් දරුවෙකුගෙන් සෑහීමකට පත් වන අම්මලා යාපනයේ නැත. මේ අම්මලාට දරුවන් මහ ගොඩකි. පියා කන්තොරුවට ගොස් එන තුරු ඔවුන් බලා සිටින්නේ ද නැත. නිවැසියන් අතර සිදු වන කවර තරමේ කටයුත්තකට වුව ද යන්තම් ඇවිදින වයසේ පසුවන දරුවාත් සම්බන්ධ වෙයි. එහෙයින් දරුවා පවුලේ අවශ්‍යතාවයක් බවට පත් වේ.

එනමුත් දරුවා ගේ අධ්‍යාපනය ගැන නම් පැවසීමට ඇත්තේ දුක්බර කථාවකි. ඔහුට ස්වාධීන අධ්‍යපනයක් ලබා ගැනීමට ඇති අවස්ථා ඇහිරෙන්නේ, දරුවන් ද දෙමාපියන්ට අත් උදව් දෙමින් ඔවුන් කරන රැකියාවේ ම නියැලීමට උත්සහ ගන්නා බැවිනි. පාසල්, විශ්ව විද්‍යාල මෙන් ම ආසියාවේ විශාලත ම පුස්තකාලය ඇත්තේ ද මෙහි බව සැබැවි. එහෙත් මේ දරුවන් පාසල් යන්නේ කලාතුරකිනි. අස්වනු නෙළන කලට එය ද නවතී. ගැහැනු, පිරිමි බේදයකින් තොර ව සියල්ලන්ට ම අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව තිබුණ ද, වැඩි විය පත් වූ පසු ගැහැනු දරුවාට ඉක්මන් විවාහයක් කර දීමට මාපියන් පෙළඹෙන්නේ ඇගේ වගකීම් බර මෙන් ම හින්දු චාරිත‍්‍රය ද නිසාවෙනි.

කොළඹ නගරයේ කිසිදු ස්ථානයක දැකිය නොහැකි වන දඬු කිහිපයක් සිටුවා, පොල් අතු සෙවිලි කළ ටියුෂන් මඩු යාපනයේ බහුල ය. පාට පාට බිත්ති නංවා, සිවිලිම් ගසා, වායු සමනය කළ ටියුෂන් පන්ති ඔවුන් දැක නොමැති බව නම් නිසැක ය. යාපනය ප‍්‍රදේශය වැඩි වශයෙන් ම ඇත්තේ සිසුන් 50කට අඩු පාසල් ය. එහි නියමිත ආගමික වතාවත් සිදු කෙරෙන්නේ වැඩිමහලු ම දරුවා අතිනි. එවැනි පාසල්වල ගුරුවරුන් ද ඇත්තේ 10කට අඩු සංඛ්‍යාවකි.

රොටි සහ පිට්ටු වැනි තිරිඟු පිටි යොදා සෑදූ ආහාර යාපනයේ ජීවිතයට සුලබ ය. දහවලට පමණක් බත් කති. වී ගොවිතැනක් නොමැති මොවුන්ට හාල් ගැනීමට සිදු වන්නේ අත්පිට මුදලට වීම ඊට හේතුවයි. එලවළු පිරී ඇති බත් පතෙහි අනිවාර්යය අංගයක් වන්නේ මාළු ය. ක‍්‍රිස්තු භක්තිකයෝ පමණක් හරක් මස් අනුභව කරති.

යාපනය ප‍්‍රදේශයේ කෝවිල් මෙන් ම දේවස්ථාන ද බොහොමයක් තිබේ. මණ්ඩතිව් දූපතෙහි වැඩි වශයෙන් ඇත්තේ දේවස්ථාන යි. එහෙත් යාපනයේ ජීවත් වන්නේ කතෝලිකයන් නොව ක‍්‍රිස්තියානි, පෙන්තකොස්ත, රෙපෙරමාදු, යොහෝවාගේ සාක්ෂිකරුවෝ ආදී ආගම් භක්තිකයෝ ය. පන්සල් කිහිපයක් සොයා ගත හැකි වුවත් කිසිසේත් ම දැකිය නොහැකි ස්ථානයක් වන්නේ මුස්ලිම් පල්ලිය යි.

ද්‍රවිඩ ජනයාගෙන් පිරි යාපනය නගරාශ‍්‍රිත ව සිංහල පවුල් කිහිපයක් ද වෙසෙති. එහෙත් පුදුමය වන්නේ බොහෝ පිරිසකට සිංහල භාෂාව හොඳින් වැටහීම යි. වෙළෙඳාමේ යෙදෙන්නන්ට නම් සිංහල කථා කිරීමට ද හැකියාව තිබේ.

කෝවිල යනු ජනතාව එක් රැස් කරන ස්ථානය යි. වේල් පෙරහැර අවස්ථාවේ බොහෝ දෙනෙක් බාරහාර ඔප්පු කිරීමට යුහුසුළු වෙති. සිරුර පුරා කටු ගැසීම ද එක්තරා භාරයකි. වයස් බේදයකින් තොර ව කුඩා ළමුන්ට ද කටු ගැසුවත් පුදුමය වන්නේ එම තුවාලවලින් ලේ බිඳක් වත් නොඉනීම ය. මෙයට හේතුව වශයෙන් ඔවුන් දක්වන්නේ ජනතාව තුළ ඇති විශ්වාසය හා භක්තියත් පේ වීමත් ය. ඇතැම්හු කෝවිල් භූමිය පුරා පෙරළෙමින් වන්දනා කරති. ඇතැම්හු දෑත් දෙපා ඉහළට ඔසවා බිම දිගා වෙති.

එක් ගම්මානයක් තුළ කෝවිල් දහයක් පමණ දක්නට ලැබේ. ඒ අතර මුරුගන්, පුල්ලෙයාර් (ගණ දෙවියන්), අම්මාන් (පාර්වතී), මුත්තු මාරි අම්මාන්, මාරි මුත්තු අම්මාන්(මාරි අම්මා), ශිව, කාලි ආදී කෝවිල් ප‍්‍රධාන වේ. අම්මාන් කෝවිලේ බාර ඔප්පු කෙරෙන්නේ සෑම වසරක ම මාර්තු මස මුල් සඳුදා සිට එළඹෙන සඳුදා දින සතරක් තුළය. ගවයන් නැහැවීමේ පූජාවෙන් පසු බාරය අවසාන කෙරේ. ඉන්දියාවේ මුරුගන් කෝවිල තූළට ස්ත‍්‍රීන්ට යාම තහනම් ය. වසරකට ම එක් දිනක් පමණක් ඔවුන් ඊට ඇතුළු කර ගන්නා අතර පසු දින ම කෝවිල් භූමිය සම්පූර්ණයෙන් සොදා හරිනු ලැබේ. එහෙත් ලංකාවේ දී එවැනි රීති එතරම් බල පැවැත්වෙන්නේ නැත.

ප‍්‍රධාන දේවාල පූජාව මහා ශිව රාත‍්‍රියේ දී පැවැත්වේ. එම කාලයට දේවාලයේ ප‍්‍රතිමාව පුරා දින දහයක් ගම්මානය වටා වීදි සංචාරය කරවයි. යුද්ධය පැවැති වකවානුවේ දී මෙවැනි පුද පූජා සිදු කිරීම අසීරු ව පැවතියත්, මේ වන විට වැසියෝ නිදහසේ තම ආගම අදහති. එදිනට නාවික හමුදා නිළධාරීහු ද ආගම් බේදයකින් තොරව ගමනට ආරක්ෂාව සලසති. හින්දු ජනතාවගේ ආගමික භක්තිය කෙසේ ද යන්නට ඔවුන්ගේ වෙළෙඳසල්වල දොර පියන් ද සාක්ෂි දෙයි. සෑම දොර පියනක ම හරහට අඳින ලද සුදු පැහැ ඉරි තුනක් මැද තබන ලද රතු තිලකය අනිවාර්යය වේ.

සිංහලයා අතර මෙන් ම යාපනයේ ජනතාව අතර ද කුල වර්ග 60ක් පමණ තිබේ. එම බෙදීමේ ක‍්‍රමය ඉන්දියාවෙන් පැමිණි එකකි. ඇතැම් නිවෙස් බිත්ති නංවා, උළු සෙවිළි කොට, ඉඩම වටා තාප්පය ද කළු ගලින් ම නිමවා ඇතත්, ඇතමක් තල් අතු භාවිතයෙන් ගොඩ නංවා, තල් වැටකින් ම ආවරණය කෙරෙන්නේ එබැවිනි.

බැලූ බැලූ අත දිස් වන්නේ අක්කර ගණනක් පුරා විහිදුණු කටු පඳුරු සහිත පිට්ටනි වුවත් යාපනය භූමියේ නැරඹීමට හැකි ස්ථාන ද කිහිපයකි. බෞද්ධයන්ගේ සෙළොස්මස්ථානයට අයත් නාගදීපය ඉන් එකකි. කයිට්ස් දූපත වෙත බසයෙන් පැමිණ, එතැන් පටන් නයිනතිවු දූපත දක්වා ඇති කි.මී. 3ක පමණ දුර මගී බෝට්ටුවකින් තරණය කිරීමට සිදු වේ. එක් බෝට්ටුවකට ඇතුළු විය හැකි ගණන 100කි. එක් ගමනකින් බෝට්ටු හිමියාට දළ වශයෙන් රුපියල් 3000ක පමණ ආදායමක් ලැබේ. බෝට්ටුවට නැගෙන සියල්ලන් අනිවාර්යයෙන් ම නාවික හමුදාව විසින් ලබා දෙන රඹ පැහැ ගත් ජීවිතාරක්ෂක කබා හැඳ ගත යුතු ම ය. ගමන පුරා එය ඉවත් කිරීමට අවසර නොලැබෙතත්, බෝට්ටුවට නැගි විගස කබාය ගලවා දමා, අන් අයට ද එසේ කිරීමට උපදෙස් දෙන පිරිස් ද අපි දෑසින් ම දුටුවෙමු. සිර වී, තදබද වී විඳිනා දුක කෙසේ වුවත් කි.මී. තුනක් පුරා හඬන දිය මත නැළවෙමින් යන ගමනේ චමත්කාරජනක බව කිසිසේත් අඩු වන්නේ නැත.

නාගදීප භූමිය අති විශාල බිම් පෙදෙසක් පුරා පැතිර ගිය එකක් නොවේ. එහෙත් රිදී ආලේප කළ චෛත්‍යයත්, බුදු මැදුරත් බෝධි වෘක්ෂයත් හැරුනු විට එහි දක්නට ලැබෙන කිරිපළු ගස එක්තරා විශේෂ වස්තුවකි. ඉන් මදක් ඔබ්බට ගිය කළ නයිනතිවු දූපතෙහි ම පිහිටා තිබෙන හින්දු කෝවිල දිස් වේ. මෙම පූජනීය ස්ථාන ද්විත්වය ම වැඳ පුදා ගැනීමේ අරමුණින් බෞද්ධ සහ හින්දු යන ආගම් දෙකට ම අයත් බැතිමතුන් ගමන් ගන්නේ එක ම බෝට්ටුවකින් වීම අපූරු සිදුවීමකි. ප‍්‍රථමයෙන් ගොඩ බසින්නේ බෞද්ධයන් ය. ඊට මීටර කිහිපයක් දුරින් හින්දු භක්තිකයෝ ගමන අවසන් කරති. වැද පුදා ගත් පසු පිරිස පේළි සැදී විත් නිවෙස් බලා යාම සඳහා නැවත ගොඩ වන්නේ ද එක ම බෝට්ටුවට යි. ජාතිය, ආගම කුමක් වුවත් අපි සියලූ දෙනා එක ම බෝට්ටුවක ජීවිත ගමන තරණය කරන්නෙමු.

ක‍්‍රි.පූ. තුන් වන සියවසේ දී සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ශ‍්‍රී මහා බෝධි වෘක්ෂයේ දකුණු ශාඛාව ලක්දිවට වැඩම කරවූ ස්ථානය පිහිටා ඇත්තේ ද යාපනයේ ය. ඒ දඹකොළපටුන යි. ප‍්‍රදේශයට අයත් නාවික හමුදා කඳවුර තුළ පිහිටා ඇති බුදු ගෙය, දේවාලය හා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට මෙහි පැමිණෙන බෞද්ධ සංචාරකයෝ අමතක නොකරති. පෙර, යුද්ධයෙන් පීඩාවට පත් ව තිබුණත් 2011 වසරේ පෙබරවාරි මස 09වන දින අලූතින් ප‍්‍රතිසංස්කරණය කෙරුණු එම ස්ථානයේ සිට බලන විට නීල සාගරයේ අලංකාරත්වය මැනවින් දර්ශනය වේ. විශේෂයෙන් මෙම ස්ථානයේ පිහිටුවා ඇති උප තැපැල් කාර්යාලයෙන් දකුණේ මිතුරෙකුට සුබපැතුම් පතක් යැවීමේ හැකියාව ද සලස්වා තිබේ. එය ද එක්තරා ආකරයකට අපූරු අත්දැකීමකි.

දඹකොළපටුනේ සිට කි.මී. 5ක් පමණ දුරින් පොන්නාලේ පොකුණ පිහිටා ඇත. එය ස්ත‍්‍රීන්ට හා පුරුෂයන්ට වෙන් වෙන් ව ස්නානය කළ හැකි වන සේ සකසන ලද්දකි. මෙම පොකුණ, කිසිදු දිනෙක නොසිඳෙන බව කියවේ. එමෙන් ම වඳ කාන්තාවක් මෙයින් ස්නානය කළහොත් මද කලකින්ම ඇයට දරුඵල නිසැක බවට ද විශ්වාසයක් ඇත. ප‍්‍රදේශීය ජනතාව පමණක් නොව බොහෝ දුරින් ජීවත් වන හමුදා සෙබළුන් ද නියං සමයේ සිය ජල අවශ්‍යතා සපුරා ගන්නේ මෙයිනි.

පොන්නාලේ පොකුණ හා සම්බන්ධ තවත් ස්ථානයකි, නිලාවරයි ළිඳ. එහි පතුලක් සොයා ගැනීමට මෙතෙක් කිසිවෙකු සමත් ව නොමැති බව කියවේ. ළිඳ ඉතා විශාල ය. අඩි 15ක පමණ විෂ්කම්භයක් තිබේ. ඉහළ සිට බැලූ කල ජලය කළු පැහැති බව පෙණුනත්, එසේ නොවේ. එම අඳුරු පැහැය ගැඹුර නිසා ඇති වූවකි. වරක් නාවික හමුදා නිළධාරියෙකු එහි ගැඹුර මැනීමට උත්සහ ගෙන තිබේ. ඔහු අඩි 300ක් දක්වා ගැඹුරට කිමිදුන ද පතුලක් දක්නට ලැබී නැත. තවදුරටත් කිමිදීමෙන් කණ් අඩි පුපුරා ජීවිතයට හානි වීමට ඉඩකඩ ඇති බැවින් ගමන එතැනින් නවත්වා තිබේ. ගැමියන්ගේ විශ්වාසය වන්නේ මාතලේ සුදු ගඟ හා මෙම ළිඳත්, පොන්නාලේ පොකුණත් අතර උමං ජල මාර්ගයක් ඇති බව ය. මාතලෙන් ගඟට දෙහි ගෙඩියක් දැමූ කල එය යාපනයෙන් මතු වන බව ඔවුහු විශ්වාස කරති.

යාපනයේ කදුරුගොඩ විහාරය ද සුවිශේෂී ස්ථානයකි. ඒ හා සම්බන්ධ එක්තරා ජනප‍්‍රවාදයක් ද ඇත. වරක් නාගදීපය වැද පුදා ගැනීමට පැමිණි රහත් භික්ෂූන් වහන්සේලා හැට නමකට, එහි දී බිම් මල් යොදා සකස් කළ දානයක් වැළඳීමට සිදු විය. නැවත ගම් බලා යාමට පිටත් වී මද දුරක් ගිය කළ, ඔවුන් එම බිම්මල් විෂ වීමෙන් රෝගී බවට පත් වී තිබේ. පිරිස කදුරුගොඩට පැමිණි අතර එහි දී රෝගය උත්සන්න වීමෙන් සියල්ලෝ අපවත් වූහ. ඔවුන් උදෙසා ගලින් ගොඩ නංවන ලද දාගැබ් හැටක නටඹුන් අදටත් එම ස්ථානයේ දක්නට ලැබේ.

හින්දු භක්තිකයන්ට අයත් විශාලතම වූත් පුරාණතම වූත් ශිව කෝවිල පිහිටා ඇත්තේ යාපනයේ ය. එය නගුලේශ්වරම් කෝවිල යි. වසර සිය ගණනක් පැරැණි මෙය වන්දනා කිරීම සඳහා ආර්යයන්ගේ ප‍්‍රථම රජු වූ විජය රජතුමා ද පැමිණි බව කියවේ. මේ වන විට ප‍්‍රතිසංස්කරණය කරමින් පවතින නගුලේෂවරම් කෝවිල තුළට යන පුරුෂයන්, අනිවාර්යයෙන් ම ඔවුන්ගේ උඩුකය නිරාවරණය කළ යුතු ය. හින්දු භක්තිකයන් සලකන්නේ පුරුෂයන් උඩුකය ආවරණය කිරීම ශිව දෙවියන් හට කරන අගෞරවයක් බව යිි. යාපනයේ නගුලේශ්වරම් හැරුණු විට ත‍්‍රිකුණාමලයේ කෝනේශ්වරම්, මන්නාරම තිරකදීශ්වරම් සහ හලාවත මුන්නේශ්වරම් යනු ලංකාවේ පිහිටා ඇති ශිව දෙවියන්ට අයත් ඉතිරි කෝවිල් තුන යි.

නල්ලූර් කෝවිල ගැන ද නොකියා ම බැරි ය. අතිවිශාල කෝවිල් සංකීර්ණයක් වන එය වැඳපුදා ගැනීම සඳහා රට පුරා සෑම ප්‍රදේශයකින් ම හින්දු භක්තිකයෝ පැමිණෙති. එමෙන් ම නල්ලූර් කෝවිල අධික සංචාරක ආකර්ශනයක් ද දිනාගෙන ඇති ස්ථානයකි. එහි ගියවුන් දෙවනුව ගමන් කරන්නේ කෝවිල ආසන්නයේ ම පිහිටා තිබෙන අයිස්ක්‍රීම් වෙළෙඳසල් වෙත ය. දාහය මෙන් ම විඩාව නිවා ගැනීම සඳහාත් එය ජනප්‍රිය ස්ථානයකි.

පෙර, යුධ වාතාවරණය හේතුවෙන් ගොවිතැන, වෙළෙඳාම, මුහුදු යාම තබා සවස 4න් පසු නිවසින් පිටතට පය තැබීමටත් අසමත් ව සිටි යාපනයේ වැසියෝ අද නිදහසේ ජීවත් වෙති. එක් පසෙකින් හමුදාවටත් අනෙක් පසෙන් එල්.ටී.ටී.ඊයටත් මැදි ව ගෙවූ කාලය ඔවුන් සිහිපත් කරන්නේ කණගාටුවෙනි. යුද්ධය අවසන් වුවත් මුල දී ගැමියෝ හමුදා නිළ ඇඳුම වෙත දැක් වූයේ පුදුමාකාර බිය කි. එහෙත් මේ වන විට එම බිය පහ ව ගොස් ඇත. ඔවුහු නීතිය දනිති. එය රැකීමට හෝ කඩ කිරීමට මෙරට අන් ප‍්‍රදේශවල ජනතාවට මෙන් ම ඔවුන්ට ද අයිතියක් තිබේ. හමුදා සහ පොලිස් නිළධාරීන්ට ද සාමාන්‍ය ජනතාව හා ගැටීමේ වුවමනාවක් නැත. කෙටියෙන් කියතොත් නාගදීපය, මණ්ඩතිවු හා කයිට්ස් යන දූපත් තුනට ම ඇත්තේ එක් පොලිස් ස්ථානයක් වුවත්, අඩියෙන් අඩිය පොලිස් ස්ථාන පිහිටා ඇති කොළඹ නගරයට වඩා යාපනය සාමකාමී ය.

අවසන් වශයෙන් සිය මුත්තාගේ පිහිය ඉනේ ගසාගෙන, තල් අතු කපමින් නිදහසේ ජීවත් වන කනපදිපිල්ලෙයි ඊන්ශල්ලිංගම් මහතාගේ අදහසකින් මෙම සංචාරය අවසන් කරන්නෙමු.
”මහත්තයා, කොළඹ හිටියත් යාපනේ හිටියත් අපි ඔක්කෝම එක ම ලංකාවේ ජීවත් වෙන මිනිස්සු නේ…”

ඔව්, අපි එක මවකගේ දරුවෝ වෙමු.


මෙම සංචාරයේ දී අප හට සහය දැක් වූ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ අණ දෙන නිළධාරී කමාන්ඩර් ජයන්ත පෙරේරා මහතාටත්, බල සෙබළ සී.මහීපාල මහතාටත්, රෙජිනෝල්ඞ් ප‍්‍රියන්ත මහතාටත් අපගේ ස්තූතිය පුද කරමු.

ශ‍්‍රීනි ලංකා ජයකොඩි