Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනාව ගරනාවක් , ආණ්ඩුව මහා පරිමාණ ජාවාරම් රැසක – පාඨලී කරුණු හෙළි කරයි

· ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කොව්ඩ් එන්නත කඩිනමින් ලබාගැනීමේ කිසිම සූදානමක් ආණ්ඩුවට නෑ.
· ලංකාවටම කොවිඩ් එන්නත මිලදී ගැනීමට වැය වන්නේ ඩොලර් මිලියන 40 ක් පමණයි
· ලාංකිකයන් ලක්ෂ තුනක් මව්බිමට පැමිණීමට නොහැකිව ලතවෙද්දී, ගුවන්තොටුපොළ පාඩු ලබමින් අඩු මුදලට විදේශිකයන් ලංකාවට ගෙන්වයි 
· යුක්ක්‍රේනයෙන් සංචාරකයින් ගෙන්වීමෙන් නව කෝවිඩ් ප්‍රභේදය ලංකාවට පැමිණීමේ අවධානමක්
· නව කෝවිඩ් ප්‍රභේදය ලංකාවට පැමිණියොත් ආණ්ඩුව එහි සම්පූර්ණ වගකීම භාරගත යුතුයි
· කොරෝනා ගරානා යකා ආණ්ඩුවේ නායකයින්ගේ සරණින් ප්‍රකෝටි ගණනින් මුදල් ගැරීමක
· සීනි හා පොල්තෙල් ආනයනයෙන් බිලියන 10 කට අධික වංචාවක්
· රණවිරුවන් හා සුවවිරුවන් ගැන බොරු මවාපෑම් නොකර ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන ඔවුන් හට මුලින්ම කොව්ඩ් එන්නත ලබාදෙන්න

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධව ක්‍රියාත්මක වන ක්වොක් සංවිධානය විසින් දෙසැම්බර් 07 වන දිනට පෙර කෝවිඩ් එන්නත ලබාගැනීමට ලියාපදිංචි වන ලෙස දැනුම් දුන්නත් වත්මන් ආණුඩුව ඒ ගැන කිසිදු සැලකිල්ලකින් තොරව ක්‍රියා කරමින් සිටින බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

ඒ නිවේදනයක් නිකුත් කරමින්.

එම නිවේදනයන් පහළින්

දැනටමත් දුගී යැයි හඳුනාගත් රටවල් 90 කට ආසන්න ප්‍රමාණයකට කෝවිඩ් එන්නත නොමිලේ ලබාදීමේ කටයුතු සිදුකරගෙන යමින් සිටිනා බව අපේ වෛද්‍ය විශේෂඥයින් විසින් ද තහවුරු කර තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව කිසිදු උනන්දුවක් නොදක්වන බවත්, ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු ‘අපි එන්නත ගන්නෙ නෑ, අපි මේ රටේ මිනිසුන්ව පර්යේෂණාගාර මීයන් කරන්නෙ නෑ’ යනුවෙන් ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවත්
කෝව්ඩ් අර්බුදය හමුවේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේ
.

කෝවිඩ් වසංගතය සඳහා දැනට ලෝකය පුරා 200 කට ආසන්න එන්නත් ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. මෙයින් එන්නත් ගණනාවක් දැන් පර්යේෂණ මට්ටමෙන් ඔබ්බට ගොස් රටවල් සඳහා ලබාදෙමින් ඉන්නවා. ඒවාට ජාත්‍යන්තර අනුමැතිය, ප්‍රමිතිය හා සහතිකය ලැබිල තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ ධම්මික පැණිය පිටිපස්සෙ, එහෙමත් නැත්නම් ගංජ පැණිය පිටිපස්සෙ දුවයමින් ජනතාව මුලා කරමින් හිටපු අයට දැන් ඒවයෙ බොරුව වංචාව ඒ පුද්ගලයින්ගේ තත්ත්වය හෙළිදරව් වෙලා තියෙනවා. මේව මේ, කොරෝනා ගරා යක්කු ටික දේශීය හෙළ වෙදකමට කරපු සහගහන අපරාධ. එහෙම තියෙද්දිත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු එන්නත් ආණ්ඩුව ලබානොගැනීමට ක්‍රියා කරන්නේ ඇයි කියන ප්‍රශ්නය තියෙනවා.

අපට වඩා විශාල අපට වඩා කීප ගුණයක් ජනගහනය ඉන්න ඉන්දුනීසියාව ඩොලර් 1.64 කට එක එන්නතක් (ඇස්ට්‍රා සෙනෙකා එන්නත (AZ)) ලබාගැනීමට කටයුතු කරනව කියල අපි දැක්ක. ගබඩා කිරීමේ කටයුතුත් එක්ක මේක ඩොලර් 2 කට අපට ලබාගන්න පුළුවන් කියල අපේ විද්‍යාඥයෝ, මේ පිළිබඳ විශේෂඥයෝ පළකරල තියෙන අදහස්වලින් පේනවා. ඒතකොට අපිට මේ මුළු රටේම මිලියන 20 ක් වෙච්ච ජනතාවට මේක ලබාදෙන්න යන්නෙ ඩොලර් මිලියන 40 යි. ඒ කියන්නේ රුපියල් මිලියන 8000 ක් පමණ. අර විල්මා සීනි ගණුදෙනුව හරහා අපේ ජනතාවගේ කහට කෝප්පෙන් ගහපු ගාණ ඊට වඩා වැඩියි. මහ බැංකු වංචාව වගේ දහගුණයක මංකොල්ලයක් මේ සීනියි පොල්තෙලුයි ගණුදෙනුවෙන් ගහල තියෙනවා. ඒ අතරේ ලෝක බැංකුවෙන් ණය ඉල්ලනවා එන්නත ගන්න.

එමෙන්ම අපිට වාර්තා වෙනවා වත්මන් ආණ්ඩුව ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ කොවැක්ස් සංවිධානය මගඇරල කෝවිඩ් එන්නත රුසියාවෙන් හෝ චීනයෙන් ලබාගන්න කටයුතු කරමින් සිටින බව. රුසියාවේ හා චීනයේ එන්නත්වල ප්‍රමිතිය සමහරවිට ජාත්‍යන්තරව සහතික වෙලා තියෙන්න පුළුවන්. නමුත් අපිට අවශ්‍යයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි තැනකින් ජාත්‍යන්තර සහතිකයක් මේව ලබාගන්න. නැත්නම් මේවත් ධම්මික පැණිය වගේ වෙන්න පුළුවන්. ඇන්ටිජන් වංචාව වගේ වෙන්න පුළුවන්. ඒ වගේම සැනිටයිසර් වංචාව වගේ වෙන්න පුළුවන්.

අද වන විට කොරෝනා ගරානා යකා දිගටම ආවේශවී නටාගෙන යනවා. අහිංසක ජනතාව කෝටි දෙකක් කොරෝනා වසංගතයෙන් දුක් විඳිද්දි අපගේ විදේශ රටවල ජීවත්වන ජනතාව ලක්ෂ තුනක් පමණ මව්බිමට එන්න ක්‍රමයක් නැතිව මහපාරවල් වල දහදුක් විඳිද්දි කොරෝනා ගරානා යකා ආණ්ඩුවේ නායකයින්ගේ සරණින් ප්‍රකෝටි ගණන් සල්ලි උපයන්න කටයුතු කරනවා.

බ්‍රැන්ඩික්ස් පොකුර ඇතිවෙච්ච වෙලාවෙ ඒ ආයතනය ගලවාගන්න ආණ්ඩුව කළ මෙහෙයුම අපි දන්නවා. මොනම පරීක්ෂණයක්වත් ඒ ආයතනය සම්බන්ධයෙන්, ඒ ආයතනය හරහා පැතිරී ගිය කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සිදුකළේ නෑ. විශේෂයෙන්ම අද මේ රටේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 40,000 ඉක්මවලා තියෙනවා නිල සංඛ්‍යා ලේඛන මත. ඇත්තටම අපි දන්නවා දවසකට 7000 ක් විතර PCR පරීක්ෂණ කරනකොට 700 ක් පමණ ධන වෙනවා. ඒ කියන්නේ 10% ක් පමණ ධන වෙනවා. ලෝකයේත් පිළිගැනීම තමයි ලෝක ජනගහනයෙන් අඩුම තරමින් දැන් මිලියන 80 ක් විතර මේ රෝග ලක්ෂණ පෙන්නනවයි කියල ඔප්පු වෙලා තියෙනවා. නමුත් මෙය මිලියන 800 ක් පමණ වෙන්න පුළුවන් කියල විශේෂයෙන්ම පරීක්ෂණයට ලක් නොවිච්ච ජනතාවත් එක්ක ගන්නකොට.

ඒ වගේම ලංකාවේ මේ රෝගය අඩුම තරමින් මීට වඩා පුළුල් ලෙස තියෙන්න පුළුවන්. නමුත් රෝග ලක්ෂණ පහල නොවීම නිසාත් ඒ වගේම PCR පරීක්ෂණ සීමා සහිතව කරන නිසාත් ඕන කමින් මේ තත්ත්වය මේ ආකාරයෙන් පවතිනවා වෙන්න පුළුවන්. නමුත් රෝගීන් 4000 ක් හිටපු තැන රෝගීන් 40,000 දක්වා රෝගීන් දහ ගුණයකින් වැඩි වුණේ මේ බ්‍රැණ්ඩික්ස් පොකුර නිසා. මොකක්ද ආණ්ඩුව දීපු පිළිතුර ? යුක්ක්‍රේන ගුවන් නියමුවෙක් හෝ ගුවන් සේවකයෙක්ගෙන් කටුනායක ප්‍රදේශයේදී මේ රෝගී තත්ත්වය ව්‍යාප්ත වුණා කියන එක.

දැන් මොකක්ද ආණ්ඩුව කරන්න යන්නේ ? එම යුක්ක්‍රේනයෙන්ම සංචාරකයින් ගේන්න යනවා. ඒ සඳහා අද පුද්ගලික ව්‍යාපාරයක් JoinUp නමින් ඇති කරල තියෙනවා. යුක්ක්‍රේනය යුරෝපයේ ධනවත් රටක් නෙමෙයි. ඒ වගේම යුක්ක්‍රේනය සමඟ පැහැදිළි ගණුදෙනු වගයක් කරපු දේශපාලන ඥාතියෙක් ආණ්ඩුවට ඉන්නවා. ඒ උදයංග වීරතුංග මහතා. ඔහු තමයි මේකට පෙනී ඉන්නෙ. ඔහු රූපවාහිනී නාලිකාවලට පෙනී ඉදල රට ගොඩනගන්න තමන් මේ කටයුත්ත කළ බව කියනවා. ඔහුට මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් ඩොලර් මිලියන 07 ක පමණ වංචා දූෂණ චෝදනා එල්ලවෙලා තිබුණු ඒ විභාග වෙමින් තිබුණු නඩුවෙන් ගැලවීම සඳහා නොයෙකුත් ජනාධිපති කොමිෂන් හරහා දැන් ක්‍රියාත්මක වෙමින් සිටිනවා.

යුක්ක්‍රේනයෙන් එන සංචාරකයෝ හරහා දැන් යුරෝපයේ සැරිසරන නව කෝවිඩ් ප්‍රභේදය, ලංකාවට ගෙන්වා ගත්තොත් කවුද එහි වගකීම ගන්නේ ? එයත් බ්‍රැන්ඩික්ස් පොකුර වගේ හංගන්නද යන්නේ ? මේ සඳහා ගුවන් යානාවලට ලබාදීල තියෙන සහන හරහා රටට, ගුවන් තොටුපොළට ඇතිවන පාඩුව කොච්චර ද ? කවුද ඒ පාඩු වලට වගකිව යුත්තේ ?

මෙන්න මේ කරුණු වලට රජය පැහැදිළිව වගකිව යුතුයි. මේ ආකාරයට සංචාරකයින් ගෙන්වීමෙන් මත්තල හෝ කටුනායක හෝ වෙනත් තැන්වල හෝටල් ආශ්‍රිතව මේ රෝගයේ නැවත ව්‍යාප්තියක් ඇති වුණොත් එහි වගකීම සම්පූර්ණයෙන්ම මේ ආණ්ඩුවේ නායකයින් භාරගත යුතුයි කියන එක අපි පළමුවෙන්ම ප්‍රකාශ කරනවා.

ඒ වගේම මේක තවත් කොරෝනා ගරානාවක්. අපි දන්නවා මේ රටේ විදේශගත දුප්පත් ජනතාව ලක්ෂ තුනක් ඉන්නවා අද රටට එන්න විදියක් නැතිව. ඒ ජනතාව ගෙන්වා ගන්න කිසිම වැඩපිළිවෙළක් නෑ. ඒ වගේම ඒ ජනතාවට යෝජනා කරල තියෙනවා රුපියල් ලක්ෂ තුනක් ගෙවන්න කියල හෝටල් පහසුකම් සහ අනෙකුත් ඒවට රටට එනවනම්. ඇත්ත වශයෙන්ම අතේ සතේ නැතිව තැන් තැන්වල ලගිමින් දහදුක් විඳින මේ ජනතාවට මේක ගෙවාගන්න ක්‍රමයක් නෑ. මේ ජනතාවට පමණක් නෙමෙයි මධ්‍යම් පාන්තික පිරිස්වලට මේ රටට එන්න ඉන්න මේක ගෙවාගන්න ක්‍රමයක් නෑ. නමුත් අපි දන්නවා මේ හෝටල් පහසුකම් සැපයීම හමුදාව කරනවයි කිව්වට හමුදාවට මුවාවෙලා මේ හෝටල් පහසුකම් සැපයීම හරහාත් සිදුකරන්නෙ දැවැන්ත වංචාවක්. ඇතැම් හෝටල්වලට ඉතාමත් පොඩි ගාණක් ගෙවල ඔවුන්ට කඩවලින් බත්මුල් ගෙනත් දීල ඊට පස්සෙ ඒවයෙන් විශාල ධනයක් උපයාගන්නා බව දැන් වාර්තා වෙලා තියෙනවා. හෝටල් හිමියනුත් අසරණයි. මොකද සංචාරක ව්‍යාපාරය කඩාවැටිල. ඉතාම සුළු ආදායමක්, 10%ක පමණ ආදායමක් ගිය වසරට සාපේක්ෂව ලැබිල තියෙන්නෙ. ඉතිං කෙසේ හෝ තමන්ගේ හෝටල් නඩත්තු කරගැනීමට පෙළඹිල තියෙනව ඔවුන්. ඒ හරහා මේ කොරෝනා ගරා යක්කු ටික හොඳට හම්බුකරගෙන යන බව අප ප්‍රකාශ කරන්න ඕන.

ඒ වගේම පසුගියදා වාර්තා වුණා මේ අතරේ තව තවත් ගරානා ගහන බව. විශේෂයෙන්ම අර විල්මා නැමති ව්‍යාපාරය, ශ්‍රැංග්‍රීලා හෝටලයට අනුබද්ධ පුද්ගලයාම පවත්වාගෙන යන විල්මා නැමැති ඒ ආයතනය සීනි ගෙන ඒමෙන් දැවැන්ත වංචාවක් කළ බව. ඒ වගේම පොල්තෙල් ගෙන ඒමෙන් දැවැන්ත වංචාවක් කළ බව. එය බිලියන 10 කට ආසන්න වංචාවක් බව ජනතා විමුක්ති පෙරමුණ වාර්තා කරල ඔවුන් රහස් පොලීසියට මේ ගැන පැමිණිල්ලක් කරල තියෙනවා. අපේ නාගරික සංවර්ධන අධිකාරිය බිලියන 39 ක ණයවර තත්ත්වයකට පත්වෙලා කඩාවැටෙන්න ගිය වෙලාවෙ ඒක බේරාගත් අපගේ රජයේ නිලධාරීන් දවසට එක්කෙනා දෙන්න නෙමෙයි, දහය පහලොව රහස් පොලීසියට දක්කන රහස් පොලීසියට තාම මේ විල්මා ගණුදෙනුව ගැන පරීක්ෂණයක්වත් ආරම්භ කරන්න බැරිවෙලා තියෙන බව කණගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕන. ඒ නිසා මේ රජයේ හැම නිලධාරී තන්ත්‍රයක් කෙරෙහිම අපි හොඳින් බලාගෙන ඉන්න බව ඒ සියලු දෙනාටම අපි මතක් කරනවා.

දැන් පොල්තෙල් වලිනුයි, සීනි වලිනුයි අසරණ මිනිහගෙ කහට කෝප්පෙනුත් ගසා කාපු මේ ආණ්ඩුව මොකද කරන්න යන්නේ ?

ෆේස්මාස්ක් එකකින් ගහපු ආණ්ඩුවකින්, නායකයින්ගෙන් අපිට වෙන දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා මේ වංචා දූෂණ පිළිබඳව අනාගතයේදී අනිවාර්යෙන්ම නව ආණ්ඩුවක් යටතේ පියවර ගන්නවාමයි, මේ කොරෝනා ගරානාව සම්බන්ධයෙන් කටයුතු කරපු අයගෙන්.

අපි ආණ්ඩුවට කියනවා ජනතාවගේ දුක හූරං කන්න එපා, ජනතාවගේ බිය හූරං කන්න එපා මේ විදියට. කරුණාකර කොවැක්ස් ආයතනයත් එක්ක වැඩ කරල ඉන්දුනීසියාව, ඉන්දියාව බංගලිදේශය වැනි රටවල් කළ ආකාරයට කටයුතු කරල අපේ ජනතාවට නියම විද්‍යාත්මක එන්නත ලබාදෙන්න. වංචනික විදියට කටයුතු කළොත් ඒ සියලුම දෙනාට ඒ ජන ජීවිත අපහසුතාවයට පත්කිරීම සම්බන්ධයෙන් අපට සිද්ධ වෙනවා ජනතාවට හෙළිදරව් කරන්නත්, අනාගතයේ යම් දවසක ඒ අයට නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන්නත්.

ඉතාම පැහැදිළිව මේ එන්නත ලබන පෙබරවාරි මාසයට පෙර අපට ලබාගෙන ලබාදෙන්න පුළුවන් කියල අපේ විශේෂඥයින් කියනව. අන්න ඒ සඳහා අවශ්‍ය ශීත ගබඩා, පර්යේෂණ, මූලික පර්යේෂණ කරල, මෙයට කෙලින්ම මුහුණ දීල තියෙන අපගේ සෞඛ්‍ය සේවකයින්, අපගේ රණවිරුවන්ට කරුණාකරල මේ එන්නත පළමුවෙන්ම ලබාදීල සුරක්ෂිත කරන්න. එසේ නැතිව බොරුවට රණවිරුවො, බොරුවට සුවවිරුවො කියමින් ඔවුන් නලවමින් ඉන්නෙ නැතිව ඔවුන් අප වෙනුවෙන් කරල තියෙන කැපවීමට මේ එන්නත ලබාදීම සඳහා කටයුතු කරන්න.

ඒ පිළිබඳව ඉදිරියේදී අපි තවත් හෙළිදරව් කිරීම් ගණනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව අපව දැනුවත් කළ සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ට අපගේ ප්‍රණාමය මේ අවස්ථාවේ පිරිනමනව. වංචා දූෂණ වලට යටනොවී මේ කටයුතු කිරීම ගැන. ඒ වගේම ඖෂධ නියාමන අධිකාරිය සහ අනෙකුත් අධිකාරිවල වගකීමක් තියෙනවා රජයට බල කරල කියන්න මේ එන්නත ලබාදීමට කටයුතු කරන්න කියල. මේ කෝව්ඩ් සම්බන්ධයෙන් අද වෘත්තීය මට්ටමේ නායකත්වයක් වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමියගෙන් ලැබිල තියෙනවා. එතුමියට අපි කියනවා එතුමියගේ ගරුත්වය ආරක්ෂාවෙන්නේ මේ පැණි බීල, කල විසිකරල මේ රට රවට්ටපු පිරිස්වලින් නෙමෙයි, ඔබතුමියගේ වෘත්තීය ගරුත්වයත් ආරක්ෂා කරගෙන වහාම අන්තර්ජාතික ප්‍රමිතිය, අන්තර්ජාතික සුරක්ෂාව සහිතව මේ එන්නත ලබාදීම සඳහා කටයුතු කරන්න කියල අපි ඉල්ලනවා.

About The Author