Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මැදදුම්බර පොහොට්ටු අයවැය පරාදයි – සජබ ත් පොහොට්ටුවට සහය දීලා

පොදුජන පෙරමුණ  බලය දරන තෙල්දෙණිය, මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ 2021 වසර සඳහා  අයවැය ලේඛනය ද බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ විරෝධය හේතුවෙන් සම්මත කරගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි.

එසේම එම ප්‍රාදේශීය සභාවේ සභාපති අශෝක සමරකෝන් විසින් නීති විරෝධී ආකාරයට අයවැය සම්මත කරගැනීමට උත්සාහ කරන බවටද චෝදනාවක් මන්ත්‍රීවරුන් එල්ලකර සිටියි. 

ඒ හේතුවෙන් 2021 සඳහා මැදදුම්බර ප්‍රාදේශීය සභාව වෙත සභාපති විසින්  කළ අයවැය නොසුදුසු බවත්,  2020 දෙසැම්බර් 30 වනදා දෙවන වර කියවූ 2021 අයවැය ට සභාවේ මන්ත්‍රීවරුන් 18ක් විරුද්ධව ප්‍රතික්ෂේප කළ බව සඳහන් අත්සන් ලේඛනයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සහ පළාත් පාලන  කොමසාරිස් වෙත යැවීමටද මන්ත්‍රීවරුන් පිරිස කටයුතු කර ඇත. 

මේ සම්බන්ධව අප වෙත අදහස් දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පවසා සිටියේ මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධුර 33ක් වන අතර ඒ අතුරින් එක්සත් ජාතික පක්ෂයේ 4ක්, පොදුජන පෙරමුණේ 12ක්, ජනතා විමුක්ති පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 2ක සමඟ 18 දෙනෙකු 2021 අයවැයට විරුද්ධ වූ බවයි. 

මැදදුම්බර ප්‍රාදේශීය සභාවට අයත් 2021 වසර සඳහා වන අයවැය සභාපතිවරයා පසුගිය දෙසැම්බර් 8 පළමුව සභාවට ඉදිරිපත් කල අතර එහිදී එය පරාජය වීම හේතුවෙන් ඔහු  ඊට පසු අවස්ථාවක නීති විරෝධී අයුරින් සම්මත කරගැනීමට උත්සාහ කළ අතර එයද පරාජය කළ බවත්,  අද (30) දින සිදුවීමෙන් අයවැය නිශ්චිතව පරාජය කල බව තහවුරු කල බවත් පැවසීය. 

මේ සම්බන්ධව සුදුසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පළාත් ආණ්ඩුකාර සහ පළාත් පාලන කොමසාරිස් වෙත අත්සන් ලේඛනයක් සහිතව දැනුම්දුන් බවත් අදාළ මන්ත්‍රීවරයා පැවසීය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ පොහොට්ටුවේ අයවැයට පක්ෂව සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් 04 දෙනෙකු ඡන්දය භාවිත කර තිබීමයි.