Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනාවෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු පුළුස්සා දැමිය යුතුමයි, වෙනත් විකල්පයක් නෑ – විද්වතුන් සිය මතය තහවුරු කරයි

කොවිඩ් ආසාධිත මළ සිරුරු භූමදාන කිරීම නිසා භූගත ජලයට වෛරසය මුසුවිය හැකි බව විද්‍යාඥයින් නැවත වතාවක් පෙන්වා දෙනවා.

ඩෙන්මර්කයේ කොවිඩ් අසාදිත මුගටියන් භූමදානය කිරීමේ සිදුවීමක් උදාහරණයට ගනිමින් ඔවුන් මේ පිලිබඳ නැවත තහවුරු කරනවා.

කොවිඩ් 19 වසංගතය ආරම්භ වීමත් සමග වෛරසයට ගොඳුරු වී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ ආදාහනය කිරීමට එවකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තීරණය ක‍ළේ විශේෂඥ කමිටුවක නිර්දේශ සැලකිල්ලට ගනිමිනි.

අනතුරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කල සියලුම කොවිඩ් මෘතදේහ ආදාහනය කළ යුතු බව දැක්වෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසකම් පෙත්සම් ඉදිරිපත් කළා.

එහිදී ද විශේෂඥයින් විසින් මෘතදේහ භූමදානය කිරීමෙන් සිදුවිය හැකි හානිය විද්‍යාත්මක පදනමක සිට පෙන්වා දීමට කටයුතු කරනු ලැබූ අතර, එම කරුණු සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය, ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 11ම බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ප්‍රතික්ෂේප කිරීමට පියවර ගනු ලැබුවා.

අලි සබ්‍රිගේ පෙරැත්තය නිසා යළිත් කතා බහක්

එවැනි පසුබිමක අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ඉල්ලීමක් මත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘතදේහ භූමදානය කිරීමට හැකිදැයි යළි සලකා බලන ලෙස විශේෂඥ කමිටුවෙන් ඉල්ලීමක් කළේය.

මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ශීතාගාරවල

එම විශේෂඥයින්ගේ තීරණය ලැබෙනතුරු කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘතදේහ ශිතාගාරවල තැන්පත් කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා උපදෙස් දී තිබුණි.

මේ සම්බන්ධයෙන් අද වෛරසවේදය පිළිබද විශේෂඥයින් පමණක් සෞඛ්‍ය අමාත්‍යංශයට රැස්වී සාකච්ඡා කළේය.

කරාපිටිය රෝහල උණුසුම් වෙයි

මේ අතර කොවිඩ් ආසාදනයෙන් මියගිය ගාල්ල ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් පුද්ගලයෙකුගේ මළ සිරුර ආදාහනය නොකර කරාපිටිය රෝහලේ ශිතාගාරයක තැන්පත් කිරීමට විරෝධය පලකරමින් කරාපිටිය අධිකරණ වෛද්‍ය කාර්යාලයට අනුයුක්ත සියලු සේවකයින් සහ රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ සියලු වෛද්‍යවරුන් අද සිය රාජකාරීවලින් ඉවත් විය.

ඔවුන් ඒ බව ලිඛිතව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.

ඊට පිළිතුරු ලිපියක් යොමුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ මීට පෙර නිකුත් කර ඇති චක්‍රලේඛ යටතේ කටයුතු කරන ලෙසත් ඒ පිළිබදව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

ඒ සමග රාජකාරී කටයුතුවලින් ඉවත් වී සිටි සෞඛ්‍ය සේවකයින් සහ වෛද්‍යවරුන් යළි රාජකාරී කටයුතුවලට එක් වුණා.

විද්‍යාඥයින් තම ස්ථාවරය යළිත් තහවුරු කරයි

මුගටියන් හරහා කොවිඩ් ව්‍යාප්තවන බව තහවුරු කර ගත් ඩෙන්මාර්ක රජය මුගටියන් මිලියන 15ක් පමණ ඝාතනය කර භූමදානය කළ සිදු වීමක් පසුගියදා වාර්තා වුණා.

නමුත් අනෙක් අතට සිදුවුයේ එම සතුන්ගේ මළසිරුරු නැවත ගොඩගැනීමට සිදුවීමයි.

ඊට හේතුව වුයේ අදාල සිරුරු භූමදානය හරහා භූගත ජලයට කොවිඩ් වෛරසය එක්වන බවට පරික්ෂණවලින් තහවුරු වීමයි.

ඒ අනුව එම සතුන්ගේ මළසිරුරු යළි පුළුස්සා දැමීමට ඩෙන්මාර්ක රජය පසුගියදා කටයුතු කළා.

මියගිය අයට වඩා වැදගත්, ජීවත් වන අයයි

මේ පිළිබඳ අදහස් දක්වමින්

කෝවිඩ් – 19 ආසාදිත දේහයන් කළමනාකරණය කිරීම පිළිබඳව සොයා බලන ඇගයුම් කමිටුවේ, සාමාජිකා මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය සඳහන් කර සිටියේ,

“වෛරසවේදීන්ගේ මතය හා ජල භූ විද්‍යාත්මක මතයයි වෙනස් වෙන්න පුළුවන්. වෛරසවේදීන් තහවුරු කරනවා නම් තාම විද්‍යාත්මක සාක්ෂි නැහැ මෙම වෛරසය මියගිය දේහයක මෙන්න මේ කාලසීමාව පමණයි කියන එකට. භූගත ජලය දිනක අපි දුෂණය කළහොත් ඊට පස්සේ අපිට එය පිරිපහදු කිරීමේ කිසිම හැකියාවක් නෑ.“ යනුවෙනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ජල භූ විද්‍යා මහාචාර්ය චන්ද්‍රා ජයසේන මහතා දැක්වුයේ මෙවන් අදහසකි.

“මිනී භූමදානය කිරීමෙන් පසු නරක්වේගෙන එනකොට ඒකෙන් ඇතිවන ඕජස්වලින් බොහෝ දුරට ජල මූලාශ්‍රවලට අපද්‍රව්‍ය එකතුවෙන්න පුළුවන්. වෛරසය නිරන්තරයෙන් වෙනස්වන බව අප තේරුම් අරන් ඉන්නේ. අපිට ඉස්සරහට වෙන තත්ත්වය පුරෝකථනය කරන්න බැහැ. ජල භූවිද්‍යාඥයෙක් හැටියට අපිට පේනවා මේක ජල මූලාශ්‍රවලට එකතුවෙන්න පුළුවන් කියලා. ජලයට එකතුවෙලා තියෙන ද්‍රව්‍යයක් ආපසු ශරීරයට එකතුවෙන්න පුළුවන්. ජල මූලාශ්‍ර ආරක්ෂාකර ගැනීම අපිට වැදගත්වෙනවා මහජනතාවගේ ආරක්ෂාව බලද්දි. සම්පූර්ණයෙන්ම පිරිපහදු කරපු ජලය ලැබෙන කැනඩාව වගේ රටක් ගත්තම, ඒ වගේ රටවල තත්ත්වයයි ශ්‍රී ලංකාවේ තත්ත්වයයි සංසන්දය කිරීම වැරදි ක්‍රියාවක්. කිසියම් සැකයක් ඇතිවිට සැකය දුරුවෙනකම් මහජනතාවගේ ආරක්ෂාව බැලිය යුතුයි.“

මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජල කළමනාකරණය පිළිබඳ මහාචාර්ය මංගල චතුරංග ද සිල්වා මහතා දැක්වුයේ මවන් අදහසකි.

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මාලාවක් තියෙනවා. ඔවුන් පැහැදිලිව සඳහන් කරනවා වළ දැමීම හා පිළිස්සීම යන කාරණය රඳා පවතින්නේ, අදාළ රටේ තත්ත්වයන්ට අනුව බව. මෙහිදී වළ දැමීමේ දී සම්මත බොඩි බෑග් එකක් භාවිත කරනවා. එය භූගත ජලමට්ටමට ආසන්නව සිදුනොකළ යුතුබව පැහැදිලිව සඳහන් කර තිබෙනවා.“මළ සිරුරු දිරාපත් වීමේ දී මළ සිරුරු තුළ පවතින වෛරසය යම්කිසි කාලයකට පෙර ජලයට එකතු නොවේ කියන එක අපට නිගමනය කරන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ අපිට තියෙන හොඳම විකල්පය තමයි පිළිස්සීම.“ යනුවෙනි.