Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොටි අවයවයෙන් සුප්.

ආසියානු රටවල ඇතැමුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “ඔබ කන්නේ කුමක්ද? එය ඔබේ ස්වභාවය පෙන්වයි” යන කියමන පිළිබඳ වුවමනාවට වඩා සිතට ගෙන ඇති බව පෙනේ. වසර දහස් ගණනක් තිස්සේ සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවේ නියැලෙන්නන් ජීව ශක්තිය වැඩි කිරීම සඳහා සහල් හා වයින්වල ගිල්වා ඇති සර්පයින්ගේ සිට ශක්තියේ මාත්‍රාවක් ලබා ගැනීම සඳහා වලසෙකුගේ නියපොතු දක්වා සෑම දෙයක්ම අනුභව කර ඇත. කෙසේ වෙතත්, මෙම භාවිතයේ වඩාත් ම සංකීර්ණ උදාහරණවලින් එකක් වශයෙන් සුප් වල තම්බා පිරිමි කොටියෙකුගේ වියළන ලද ලිංගික අවයවය පරිභෝජනය කිරීම දැක්විය හැකි ය.

බිළාල කුලයට අයත් සතුන්ගේ අවයව භාවිතයෙන් නොයෙක් ඖෂධීය පාන වර්ග සෑදීම ආදි කාලයේ සිට සිදු කෙරෙමින් යන්නකි. එයිනුත් කොටි අවයව විශේෂ ය. කොටියාගේ ලිංගික අවයවය ගොඩනැඟී ඇති මාංශ පේශි සහ අභ්‍යන්තර පටකවල ඇති ජීව ගුණය හේතුවෙන් සාමාන්‍ය මිනිසෙකුගේ ලිංගික ආශාවන් වැඩි දියුණු කළ හැකි බව කියවේ. එය ඔබ දන්නා “ව්‍යාග්‍රා” ඖෂධය වෙනුවට ආදේශකයක් ලෙස යොදා ගත හැකි ය. නමුත් වඩා මිල අධික ය. ඵලදායීතාව ද අඩු ය. කොටින්ගේ අවයව කපා ගැනීම සදාචාර විරෝධී හා නීති විරෝධී ක්‍රියාවක් වන අතර වර්‍ගාත්මක ජීවී විශේෂයක අනාගතයට භයානක අනතුරක් ද වෙයි. චීනයේ සහ අග්නිදිග ආසියාව පුරා, මෙම කොටි ශිෂ්ණය අනුභව කළ බවට සාක්ෂි මඳ වුව ද, එය පිරිමින් සඳහා ප්‍රබල ලිංගික ඖෂධයක් ලෙස තවමත් විශ්වාස කෙරේ. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බිළාලයෙකුගේ අවයව ආහාරයට ගැනීම රසවත් නොවන බවක් පෙනෙන්නට තිබුණ ද, කොටි ශිෂ්ණ සුප් බඳුනකට ඩොලර් 300ක් දක්වා මිළ නියම කළ හැකිය. ඔබට සම්පූර්ණ ආහාර වේලක් ම අවශ්‍යද? එසේ නම්, ඒ සඳහා ඔබට ඩොලර් 5,000ක් වත් වැය වනු ඇත.

දඩයම් කිරීමට ඇති තහනම සහ නවීන වෛද්‍ය විද්‍යාවේ අලුත් ම සොයා ගැනීම් මධ්‍යයේ වුව ද මේ සඳහා ඇති ඉල්ලුම අඩු වී ඇත්තේ සුළු වශයෙන් පමණි. ජාත්‍යන්තර වශයෙන් කොටි වෙළඳාම් කිරීම 1987 සිට තහනම් කර ඇතත්, මෙම මහා බළලුන් සඳහා කළු වෙළඳපොළේ ඇති රුචිය හේතුවෙන් දඩයම් කිරීම තවමත් සිදු වේ. ලෝක වනජීවී අරමුදලට අනුව ලොව පුරා ඉතිරි ව ඇත්තේ කොටින් 3,200 කට වඩා අඩුවෙනි. එහෙයින් මෙම ක්‍රමය අන් රටවල ද ජනප්‍රිය වුවහොත්, එය නිසැකව ම ගැටලුවක් වනු ඇති බව නොඅනුමාන ය.

රයිනෝසිරස් අඟ.

ඔබ කුඩා කල තමන්ගේ නියපොතු කෑම පුරුද්දක් වශයෙන් කරන්නට ඇත. චින වැසියන් ද නියපොතු හා සමාන සත්ත්ව කොටස් ප්‍රතිකාර සඳහා ආහාරයට ගන්නා බවට සාක්ෂි ලැබී තිබේ. ශතවර්ෂ ගණනාවක් තිස්සේ චීන සාම්ප්‍රදායික වෛද්‍යවරුන් රයිනෝ අං, සිරුරේ දැවිල්ල හා උණ සඳහා දුර්ලභ හා ප්‍රබල පිළියමක් ලෙස දැක තිබේ. සත්‍ය වශයෙන් ගත් කල, අං යනු හුදෙක් සම්පීඩිත හිසකෙස් සහ කෙරටින් ය. නියපොතු සෑදී ඇත්තේ ද එ්වායිනි. එහෙයින් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව අදාළ රයිනෝ අංවලින් ලැබෙන දෙයක් නැත.

එසේ වුවද, චීනයේ අලුතෙන් පොහොසත් වූ පුද්ගලයෝ රයිනෝ අඟක් සඳහා පවුම් 30,000ක් දක්වා ගෙවති. එ් හේතුවෙන් අං සපයා ගැනීම සඳහා අප්‍රිකාව සහ ආසියාව පුරා රයිනෝ දඩයම් කිරීමේ ක්‍රියාවලිය සිදු වෙමින් යාම සත්ත්ව හිංසන විරෝධීන්ගේ දැඩි කෝපයට හේතු වී තිබේ. වියට්නාමයේ ප්‍රභූ පැලැන්තිය ද ඖෂධයක් වශයෙන් සහ මත් ගතියෙන් මිදීමේ ප්‍රතිකාරයක් වශයෙන් රයිනෝ අං භාවිත කරති.

චීන රජය මෙම රයිනෝ අං ජාවාරම මැඬ පැවැත්වීමට පියවර ගෙන ඇත්තේ රයිනෝ ගහණයේ සංඛ්‍යාව දැනටමත් අතිශයින් අඩු වී ඇති හෙයිනි. 2012 වසරේ දී දකුණු අප්‍රිකාවේ රයිනෝසිරස් සත්ත්වයින් 668 කට වැඩි ප්‍රමාණයක් දඩයම් කර ඇති අතර එය 2007 සිට සලකන විට දළ වශයෙන් 30% ක වර්ධනයකි. මෙය තව දුරටත් වැඩි වුවහොත් ලොව පුරා රයිනෝසිරස්වරුන් ඉතිරි වනු ඇත්තේ සත්ත්ව උද්‍යාන තුළ පමණි.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author