Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහමැතිවරණයෙන් පසු පොලොන්නරුව මෛත්‍රී පාලනයට

අගෝස්තු මාසයේ 5 වෙනිදා ඡන්ද ප්‍රතිඵලය දැන්ම කියන බව පැවැසූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජන්ද 150,000කට එහා ලබාගෙන වැඩිම මනාපයෙන් තමන් ජයග්‍රහණය කරන බව ඊයේ(26) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.

ඒ අනුව අගෝස්තු 5 වෙනිදායින් පසුව පොළොන්නරුවේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම තමන්ගේ අතට ගන්නා බවද කී ඒ මහතා අදින් වසර 25කට පමණ පෙර තමන් පොළොන්නරුවේ සංවර්ධනය ආරම්භ කළ අවදිය වනවිට අද තමන්ට බණින විවේචනය කරන අය පොඩි ළමයි යැයිද කීවේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව නගරයේ පැවැති මහ මැතිවරණයේ ප්‍රචාරක ජනහමුවක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

“අද තිබෙන පොළොන්නරුව නගරය මම එදා ගොඩනඟනකොට චන්ද්‍රිකා මැතිණිගේ ආණ්ඩුවෙන්, මහින්ද රාජපක්‍ෂ මහත්තයගේ ආණ්ඩුවෙන්, මගේ ආණ්ඩුවෙන් අද ඔය මට බණින අය, මාව විවේචනය කරන අය පුංචියි. ඔය ගොල්ලෝ ඔක්කොම දේශපාලනයට ගෙනාවේ මම තමයි. මේ පොළොන්නරුව නගරය මම පාර්ලිමේන්තුවට යනකාලේ හරියට සොහොන් පිට්ටනියක් වාගේ. ඒකාලේ එක පැත්තකින් යුද්ධය. අනෙක් පැත්තකින් JVPය හින්දා දිගට හරහට මරා ගන්නවා. මේ පොළොන්නරු නගරය 1977 ඉඳන් 1994 වෙනකම් හිටපු ඇමතිවරු මන්ත්‍රීවරු පොළොන්නරු නගරය වහලදාලා කදුරුවෙල නගරය පැත්ත විතරක් සංවර්ධනය කරන්න පටන් ගත්තා. නමුත් මම පොළොන්නරුවයි, කදුරුවෙලයි කියලා කිසිම වෙනසක් කළේ නෑ.

පොළොන්නරුවෙ, කදුරුවෙල දෙකම එකට එකතු කරලා මහ නගරයක් විදියට මහා නගර සභාවක් හැදුවා. පොළොන්නරුවට මහ නගර සභාවක් දුන්නේ මමයි කියන එක බොහොම පැහැදිලිව කියන්නට ඕනෑ. තමුන්නාන්සේලාගේ මෙතැන තිබුණ පොලීසිය මෙතැනින් ගලවලා කදුරුවෙලට අරගෙන ගියා. මේ පැත්ත පාළු ස්වභාවයක් ගත්තා. මෙතැන තිබුණු තැපැල් කන්තොරුව ගලවලා කදුරුවෙලට අරන් ගියා.

පස්සේ මම තමයි අද මේ තියෙන සියළු දේවල් මේ පැත්තට ගෙනාවේ. අගොස්තු 05 වෙනිදායින් පස්සේ පොළොන්නරුවේ පාලනය සම්පූර්ණයෙන් ම මගේ අතට ගන්නවාය කියන එක මම තමුන්නාන්සේලාට කියනවා. මම සංවර්ධනය අතින් පොළොන්නරුවේ ඓතිහාසික වෙනසක් කරල තියෙනවා. තමුන්නසේලාට කිසිම ප්‍රශ්නයක් නෑ. පස්වෙනිදා ජන්ද ප්‍රතිඵලය මම දැන් තමුන්නානසේලාට කියන්නම් උදේට ජන්ද පොළට ගිහිල්ලා පොහොට්ටුවට කතිරයක් ගහලා මනාප අංක 7ට කතිරයක් ගහන්න තමුන්නාන්සේලාට ජන්ද ප්‍රතිඵල කියන්නේ 07 වෙනිදට. මම 150,000කට එහා ජන්ද අරගෙන වැඩිම මනාපයෙන් ජයග්‍රහණය කරනවා කියන එක දැන් කියනවා” යැයිද කීය.