Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කූ ක්ලක්ස් ක්ලෑන්.

ශතවර්ෂයකට පමණ පෙර, මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන් සුදු හම, ක්‍රිස්තියානි ඇමරිකාව සහ සාම්ප්‍රදායික සදාචාරය ආරක්ෂා කිරීම වෙනුවෙන් එකට බැඳී සිටියහ. එහෙයින් බොහෝ දෙනෙක් කළු ජාතිකයින් මෙන් ම රෙපෙරමාදු භක්තිකයින් ද මර්දනය කිරීමට සැරසී සිටි “කූ ක්ලක්ස් ක්ලෑන්” හෙවත් “කේ.කේ.කේ.” නම් වූ සංවිධානයේ වැඩපිළිවෙළ දැක දැකත් දෑස් පියාගෙන සිටියහ.

1925 අගෝස්තු 8 වන දින, කූ ක්ලක්ස් ක්ලෑන් සංවිධානයේ සාමාජිකයින් 50,000කට වැඩි පිරිසක් වොෂිංටන් ඩී.සී. හරහා පෙළපාළි ගියහ. සමහරු “කේ” අකුර හෝ ක්‍රිස්තියානි කුරුසයේ හැඩය රැගත් සංකේත ඔසවාගෙන ගියහ. කිහිප දෙනෙක් අශ්වයින් පිට නැඟී ගිය අතර බොහෝ දෙනෙක් ඇමරිකානු ධජ අල්ලාගෙන සිටියහ. පිරිමි සහ ගැහැණු යන දෙ පිරිස ම මීට සහභාගි වූ අතර පෙළපාලිකරුවන් ඔවුන්ගේ මව් ප්‍රාන්තවල නම්වලින් සරසා තිබූ බැනර් රැගෙන ගියහ. ඔවුන්ගේ පෙරහැර පැය තුනකට වඩා වැඩි කාලයක් පැවතිණි. පෙන්සිල්වේනියා මාවත ප්‍රේක්ෂකයන්ගෙන් පිරී තිබුණි. අදාළ සංවිධානයේ ජාතික නායකයින් වර්ණවත් සැටින් වස්ත්‍රවලින් සැරසී සිටි අතර රතු පැහැති රවුමක් මත පින්තාරු කරන ලද සුදු පැහැති කතිර සලකුණකින් එය සමන්විත විය.

පෙළපාලිකරුවන් සියල්ලම පාහේ උඩු රැවුලකින් සැරසී සිටිය ද සංවිධානයේ සම්ප්‍රදායට අනුව කිසිවෙකු මුහුණු වසා සිටියේ නැත. ඊට එක් හේතුවක් වූයේ නිලධාරීන් විසින් පෙළපාළිය අනුමත කරනු ලබන්නේ සහභාගිවන්නන් සාමකාමී ව ඇවිදීමට එකඟ වුවහොත් පමණක් වූ බැවිනි. වෙස්මුහුණක් ඇත්ත වශයෙන්ම අවශ්‍ය නොවීය. මන්දයත් ඇමරිකා එක්සත් ජනපදය පුරා ඔවුන් මිලියන ගණනක් විසිරී සිටි සිටි බැවිනි.

අද බොහෝ ඇමරිකානුවන් සිතන්නේ කූ ක්ලක්ස් ක්ලෑන් යනු 1950 සහ 1960 දශකවල සිවිල් අයිතිවාසිකම් යුගයේ උච්චතම අවස්ථාවේ දී බිහි වූ සංවිධානයක් හා එහි සාමාජිකයන් පහළ පංතියේ සුදු දක්ෂිණ පුරුෂයන් බව ය. ඔවුහු කොන්ෆෙඩරෙට් ධජය ඔසවන අතරතුර තම අනන්‍යතා සඟවා ගත් අය වූහ. සිය මතයට විරුද්ධ වූ දේශපාලන රැළිවල දී, සතුරන්ගේ තණකොළ මත කුරුස පුළුස්සා දැමීම හෝ ඔවුන්ගේ අහිංසක වින්දිතයින්ට අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් ද මෙම සංවිධානය ප්‍රසිද්ධියක් උසුලයි. තවත් සමහරුන් හට 1860 හා 1870 ගණන්වල කේ.කේ.කේ. සංවිධානයේ ක්‍රියාකාරකම් පිළිබඳ මතකයක් තිබේ. සැබවින් ම එය සුදු ජාතික දක්ෂිණ ත්‍රස්තවාදී සංවිධානයකි. පෙර දී එය දුප්පතුන් හට උපකාර කිරීමේ අරමුණින් ආරම්භ කළ ද පසු කාලයේ දී වහල්භාවයේ සිටි මිනිසුන්ට ලබා දී තිබූ දේශපාලන හා ආර්ථික නිදහස අඩපණ කිරීමට උත්සාහ ගත්, අන්ධකාරයේ ගොස් අහිංසක මිනිසුන් හට වධහිංසා පමුණුවා මරා දැමූ මිනිසුන්ගෙන් සමන්විත විය.  

හිටපු කොන්ෆෙඩරෙට් ප්‍රවීණයන් ඇතුළු කණ්ඩායමක් 1865 දී ටෙනසී ප්‍රාන්තයේ පුලස්කිහි දී සාමාන්‍ය සමිතියක් වශයෙන් කූ ක්ලක්ස් ක්ලෑන්හි පළමු ශාඛාව ආරම්භ කළහ. සංවිධාන නාමයේ පළමු වචන දෙක ග්‍රීක වචනයක් වන “කික්ලොස්” වෙතින් උපුටා ගත් බව කියැවේ. 1867 ක්ලැන්හි ප්‍රාදේශීය ශාඛා පොදු සංවිධාන සමුළුවක දී මෙම සංවිධානය “දකුණේ අදෘශ්‍යමාන අධිරාජ්‍යය” ලෙස හඳුන්වා දෙන ලදී. ජෙනරාල් “නේතන් බෙඩ්ෆර්ඩ් ෆොරස්ට්” ක්ලැන්හි පළමු නායකයා නොහොත් “මහා විශාරදයා” ලෙස තෝරා ගන්නා ලදී.

1867 සිට දකුණු ඇමරිකාවේ මහජන ජීවිතයට අප්‍රිකානු – ඇමරිකානු ජාතිකයින්ගේ සහභාගීත්වය වඩත් සුලභ අංගයක් බවට පත්විය. කළු ජාතිකයෝ දකුණු ප්‍රාන්ත රජයේ පමණක් නොව එක්සත් ජනපද කොන්ග්‍රසයේ පවා මැතිවරණ ජයග්‍රහණය කළහ. මෙම රැඩිකල් ප්‍රතිසංස්කරණයේ ප්‍රතිපත්ති ආපසු හැරවීමටත් දකුණේ සුදු ආධිපත්‍යය යථා තත්වයට පත් කිරීමේ උත්සාහයක් ලෙසත් කු ක්ලක්ස් ක්ලෑන් සංවිධානය රිපබ්ලිකන් නායකයින්ට සහ ඡන්දදායකයින්ට (කළු සහ සුදු යන දෙකටම) එරෙහි ව භූගත ප්‍රචණ්ඩ ව්‍යාපාරයක් සඳහා කැපවී සිටියේය.  “නයිට්ස් ඔෆ් ද වයිට් කැමිලියා” (1867 දී ලුසියානා හි දියත් කරන ලද) සහ “ධවල සහෝදරත්වය” වැනි සම සංවිධාන හරහා ඔවුහු මෙම අරගලයට සම්බන්ධ වූහ. 1867-1868 ව්‍යවස්ථා සම්මුතීන් තුළ තේරී පත් වූ කළු ජාතිකයන්ගෙන් අවම වශයෙන් 10%ක් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූහ. සුදු රිපබ්ලිකානුවන් (“කාපට් බෑගර්” හෝ “ස්කාලවැග්”) සහ කළු ස්වයං පාලනයේ සංකේත වන පාසල් සහ පල්ලි වැනි කළු ආයතන ද ක්ලෑන් ප්‍රහාර සඳහා ඉලක්ක විය.

ප්‍රාදේශීය ක්ලෑන් සාමාජිකයින් බොහෝ විට වෙස්මුහුණු පැළඳ සිටින අතර සංවිධානයේ අත්සන සහිත දිගු සුදු සිවුරු සහ හිස් ආවරණ වලින් සැරසී සිටියහ. සාමාන්‍යයෙන් රාත්‍රියේ දී ඔවුන්ගේ ප්‍රහාරයන් තනි තනිව ක්‍රියාත්මක විය. ඔවුන්ගේ මූලික අරමුණු වූයේ රැඩිකල් ප්‍රතිසංස්කරණය පරාජය කිරීම සහ දකුණේ සුදු ආධිපත්‍යය යථා තත්ත්වයට පත් කිරීම ය. විශේෂයෙන් දකුණු ප්‍රදේශවල කළු ජාතිකයන් සුළුතරයක් හෝ ජනගහණයෙන් සුළු බහුතරයක් සිටින ප්‍රදේශවල ක්ලෑන් ක්‍රියාකාරකම් දැඩි ව ක්‍රියාත්මක වූ අතර අනෙකුත් ස්ථානවල ඒවා සාපේක්ෂ ව සීමිත විය. ක්ලෑන් ක්‍රියාකාරකම්වල වඩාත් කුප්‍රකට කලාප අතර දකුණු කැරොලිනාව ද වෙයි. 1871 ජනවාරියේ දී වෙස්මුහුණු මිනිසුන් 500ක් එහි පිහිටි යුනියන් ප්‍රාන්ත බන්ධනාගාරයට පහර දී කළු සිරකරුවන් අට දෙනෙකු ඝාතණය කළහ.

ඩිමොක්‍රටික් නායකයින් පසුකාලීන ව කූ ක්ලක්ස් ක්ලෑන් හිංසනය දුප්පත් දකුණු සුදු ජාතිකයින් වෙත ආරෝපණය කළ ද, සංවිධානයේ සාමාජිකත්වය කුඩා ගොවීන් හා කම්කරුවන්ගේ සිට වැවිලිකරුවන්, නීතිඥයින්, වෙළඳුන්, වෛද්‍යවරුන් සහ ඇමතිවරුන් දක්වා පන්ති සීමාව ඉක්මවා ගොස් තිබිණි. බොහෝ ක්ලෑන් ක්‍රියාකාරකම් සිදු වූ ප්‍රදේශවල, ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීහු එක්කෝ ක්ලෑන් සංවිධානයට අයත් වූ අතර නැතහොත් ඊට එරෙහිව පියවර ගැනීම ප්‍රතික්ෂේප කළ අය වූහ. චූදිත ක්ලෑන්වරුන් අත්අඩංගුවට ගනු ලැබුව ද ඔවුන්ට එරෙහිව සාක්ෂි දීමට කැමති සාක්ෂිකරුවන් සොයා ගැනීම දුෂ්කර විය. දකුණේ අනෙකුත් ප්‍රමුඛ පෙළේ සුදු පුරවැසියයෝ ද සමූහයේ ක්‍රියාවන්ට එරෙහිව කතා කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ට නිහඬ අනුමැතිය ලබා දුන්හ.

1915 අගභාගයේ දී විලියම් ජේ. සිමන්ස් නමැත්තා කූ ක්ලක්ස් ක්ලෑන් සංගමය ප්‍රතිසංවිධානය කිරීමට තීරණය කරන විට එය අඩ සියවසකට ආසන්න කාලයක් අක්‍රිය ව පැවතී තිබිණි. ඇට්ලන්ටාහි පදිංචිකරුවෙකු වූ සිමන්ස් හට සමාජ ශාලා හා පල්ලි දුසිමකට වඩා අයත් විය. ඔහු මෙවැනි සහෝදර සංවිධානයක් ආරම්භ කිරීම ගැන වසර ගණනාවක් තිස්සේ සිහින මැව්වේය. ඩී. ග්‍රිෆිත්ගේ සිනමාපටයක් වන “ක්ලාන්”, “ද බර්ත් ඔෆ් නේෂන්” වැනි චිත්‍රපට  ඇට්ලන්ටා හි තිරගත වීමට නියමිතව තිබූ අතර, කේ.කේ.කේ. සංවිධානය එළිබැස්වීමට එය සුදුසු ම කාලයක් විය. අදාළ දින රාත්‍රියේ දී, තවත් මිනිසුන් 15 දෙනෙකු සමඟ කුලියට ගත් සංචාරක බස් රථයකින් “ස්ටෝන් මවුන්ටන්” නමින් හැඳින්වෙන නගරයෙන් පිටත විශාල කළුගල් තලාවකට ගිය සිමන්ස්, දැවමය කුරුසියක් සාදා, ගිනි දැල් වූ අතර “නයිට්ස් ඔෆ් ද කූ ක්ලක්ස් ක්ලෑන්” හෙවත් කූ ක්ලක්ස් ක්ලෑන්හි නැවත ඉපදීම නිවේදනය කළේය. 1920 ගණන්වල දී ක්ලෑන්වරුන් එක්සත් ජනපදය තුළ වඩාත් ජනප්‍රිය වූ අතර, එහි සාමාජිකයන් අසමානුපාතික ව මධ්‍යම පංතිය සහ උත්සව, සංදර්ශන, සමාජ රැස්වීම් සඳහා යොමු වී සිටියහ. එහෙත් කිසියම් ආකාරයකින්, සමාජයට වඩාත් ද්‍රෝහී වූයේ මෙම මතුපිටින් අහිංසක ව පෙනුණු ක්ලෑන්වරුන් ය. 1925 වන විට එහි සාමාජිකයින් ගණන මිලියන 2 සිට මිලියන 5 දක්වා වැඩි වූ අතර තවත් මිලියන ගණනකගේ අනුකම්පාව හා සහයෝගය ලබා ගැනීමට සමත් ව සිටියහ.

මේරි එලිසබෙත් ටයිලර් සහ එඩ්වඩ් යං ක්ලාක් යන දෙදෙනා ප්‍රචාරක නියෝජිතයන් සහ කණ්ඩායමේ ප්‍රවර්ධකයන් ලෙස බඳවා ගත් පසු සංවිධානය සාමාජිකයින් දහස් ගණනක් ආකර්ෂණය කර ගැනීමට සමත් විය.  ටයිලර් සහ ක්ලාක් මුළු රට ම විකුණුම් බල ප්‍රදේශවලට බෙදා තිබූ අතර ඩොලර් 10ක සාමාජික ගාස්තුවක් අයකර ගනිමින් සාමාජිකයින් බඳවා ගැනීම සඳහා සොලිසිටර්වරු 1,000කට වැඩි පිරිසක් ක්ෂේත්‍ර චාරිකාවල යවනු ලැබූහ. ටයිලර් සහ ක්ලාක්ගේ උපාය මාර්ග අතිමහත් සාර්ථක වූ අතර, මාස කිහිපයකින් ක්ලාන්හි ජාතික සාමාජික සංඛ්‍යාව 100,000 ඉක්මවා ගියේය. 1921 දී පුවත්පතකික් සිදු කළ හෙළිදරව්වක් හේතුවෙන් ක්ලෑන් සංගමයේ අනුග්‍රහයෙන් සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා 100කට වැඩි ගණනක් සවිස්තරාත්මක ව හෙළි විය. එහෙයින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුනට විරුද්ධ ව කොන්ග්‍රස් පරීක්ෂණයක් ආරම්භ කරන ලදී. එනමුත් සාක්ෂි මද වීම හේතුවෙන් මෙම පරීක්ෂණය වැඩි දුරක් නොගියේ ය.

ක්ලෑන් සංවිධානයේ මූලස්ථානය දකුණු ඇමරිකාවේ පිහිටා තිබුණ ද රට පුරා ම විසිරී සිටි සුදු ඇමරිකානුවන් සංවිධානය වෙත පැමිණියහ. ක්ලෑන් සංවිධානයේ කුඩා කුඩා ශාඛා නගර මෙන් ම ග්‍රාමීය ප්‍රදේශවල ද එක හා සමාන ව සොයාගත හැකි විය. සංවිධානයේ බලකොටු පිහිටා තිබුණේ ආකැන්සාස්, ජෝර්ජියා, ඇලබාමා සහ ටෙක්සාස් වැනි හිටපු කොන්ෆෙඩරෙට් ප්‍රාන්තවල පමණක් නොවේ. ඉන්දියානා, ඔරිගන්, කැන්සාස්, කොලරාඩෝ, පෙන්සිල්වේනියා, වොෂිංටන්, සහ ඔහියෝ යනාදී අනෙකුත් දේශපාලන පක්ෂවලට අයත් නගරවල ද මෙහි ශාඛා දක්නට ලැබුණු බව පෙනේ. සාමාන්‍යයෙන් සාමාජිකයන් ධනවත්, බලවත් හෝ දුප්පත් යැයි සලකා  නෙරපා හරිනු ලැබුවේ නැත. ඒ වෙනුවට ඔවුන් හට මධ්‍යම පාන්තික සුදු ඇමරිකානු මිනිසුන් සහ ඔවුන්ගේ පවුල් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙන ලදී. සංවිධානයට බැඳීමට මූලික සුදුසුකම් වූයේ සුදු ජාතිකයෙකු වීම සහ කළු ජාතියට විරුද්ධ වීම පමණි.

1930 ගණන්වල දී ඇති වූ මහා ආර්ථික අවපාතය ක්ලෑන් සාමාජිකත්වය අඩු කළ අතර 1944 දී එම සංවිධානය තාවකාලික ව විසුරුවා හරින ලදී. 1960 දශකයේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය හරහා දකුණේ දේශීය ක්ලෑන් ක්‍රියාකාරකම්වල ඉහළ යාමක් දක්නට ලැබුණි. කළු හා සුදු රැඩිකල්වරුන්ට බෝම්බ හෙලීම්, පහරදීම් සහ වෙඩි තැබීම් ද ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක් රහසිගත ව සිදු කෙරිණි. පෙනුණු පරිදි දේශීය ක්ලෑන්වරුන්ගේ කාර්යයන් ජාතිය කෝපයට පත් කළ අතර සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් සහයෝගය දිනා ගැනීමට උපකාරී විය. 1965 දී ජනාධිපති “ලින්ඩන් ජොන්සන්” ක්ලෑන් සංවිධානය ප්‍රසිද්ධියේ හෙළා දකිමින් දේශනයක් පැවැත්වූ අතර ඇලබාමාහි සුදු ජාතික සිවිල් අයිතිවාසිකම් සේවිකාවක ඝාතණය කිරීම සම්බන්ධයෙන් ක්ලෑන්වරුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නිවේදනය කළේය. විසිරුවා හරින ලද අනෙකුත් කණ්ඩායම් 1970 දශකයේ සිට නව නාසි හෝ වෙනත් දක්ෂිණාංශික අන්තවාදී සංවිධාන සමඟ පෙළගැසී සිටිය ද, ක්ලෑන්වරුන් තනිව ම කළු හමට විරුද්ධ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූහ. 1990 දශකයේ මුල් භාගයේ දී පවා ක්ලෑන් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන් 6,000 ත් 10,000ත් අතර සංඛ්‍යාවක් සිටි බවට ගණන් බලා ඇත.

දෘෂ්ටිවාදාත්මක ව ගත් කල, ක්ලෑන් භීතිකාව විසින් පුළුල් ලෙස ආගමික අගතිය හා සුදු ආධිපත්‍යය ගතානුගතික සදාචාරය සමඟ මුසු කළේය. පළමුවන ලෝක සංග්‍රාමයෙන් පසු ඇති වූ ගෝලීය අවපාතය මධ්‍යයේ, ස්වදේශික ව උපන් සුදු රෙපරමාදු භක්තිකයන් අතර භීතිය බහුල ව පැතිරී ගිය අතර ඔවුන් දන්නා සහ ආධිපත්‍යය දැරීමට පුරුදු වී සිටි රට අහෝසි වෙමින් පවතින බව එම ආගමිකයින්ට වටහා දීමට කේ.කේ.කේ. සංවිධානය කටයුතු කළේ ය. කොමියුනිස්ට්වාදයට හා අනෙකුත් කඩාකප්පල්කාරී දේශපාලන විශ්වාසයන්ට අනුගත වූ නැගෙනහිර යුරෝපීය සංක්‍රමණිකයින්ගේ පැමිණීම ගැනත්, ඇමරිකානුවන් අතර කතෝලිකයන් හා යුදෙව්වන් වර්ධනය වන බව පෙනෙන්නට තිබීම සහ අප්‍රිකානු ඇමරිකානුවන් දකුණේ සිට රට තුළට සංක්‍රමණය වීම ගැනත් ඔවුහු කනස්සල්ලට පත්ව සිටියහ. 

මුල් යුගයේ දී යහපත් අරමුණින් සංවිධානය වෙත බැඳුණු ඇතැම් පුද්ගලයින් පසු කාලීන ව ඔවුන්ට අනුගමනය කිරීමට සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ කලකිරීමට පත් ව සිටි බව පෙනේ. එහෙත් කිසිවෙකුටත් සංවිධානයෙන් ඉවත් වීමට අවසර නොලැබුණි. එයට හේතුව නම් එවිට ඔවුන් විසින් සිදු කළ වැරදි ක්‍රියාවන් සම්බන්ධ සාක්ෂි පිටතට යන හෙයිනි. යමෙකු හොර රහසේ සංවිධානයෙන් ඉවත් ව, රටිනුත් පැන ගිය ද ඉන් ප්‍රයෝජනයක් ලැබුණේ නැත. කේ.කේ.කේ. සාමාජිකයින් සතුව තිබුණු පුළුල් තොරතුරු ජාලය හේතුවෙන් එම පාවා දෙන්නා පහසුවෙන් සොයා ගැනුණු අතර තුන් වරක් කෙරුණු අනතුරු හැඟවීමකින් පසු ව කිසියම් රාත්‍රියක දී හොර රහසේ ම මරා දැමිණි. මෙම අනතුරු ඇඟවීම ලියුම් කවරයක් තුළ බහා ලූ දොඩම් වැනි කිසියම් ඇට වර්ගයක් උපයෝගී කරගෙන සිදු කෙරිණි.

නූතන යුගය උදා වන විට ආගමික නූතනවාදය සඳහා වූ බුද්ධිමය ප්‍රචණ්ඩත්වය, කාන්තාවන් සඳහා දේශපාලන හා ලිංගික නිදහස සහ දුරාචාරය, අපරාධ සහ දුෂ්ටකම් යන සියල්ල ම වඩාත් ඉහළ යමින් තිබිණි. විශේෂයෙන් දේශපාලන ලෝකය ඔවුන්ගේ පාලනයෙන් ඔබ්බට කැරකෙමින් පැවතිණි. එහෙයින් කූ ක්ලක්ස් ක්ලෑන් සංවිධානය මඳින් මඳ බිඳ වැටුණු බව පෙනේ. එහෙත් නිළ නොවන ආරංචිවලට අනුව ඇමරිකාවේ යම් යම් ස්ථානවලින් අදටත් කූ ක්ලක්ස් ක්ලෑන්වරු හමු වෙති.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author