2022 මැයි 24

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කලාකරුවන්ට අස්වැසිල්ලක් : දිවි ගමන නිම කළ ගාමිණි වෙනුවෙන් ප්‍රේක්ෂා

රෝගාතුර වීමෙන් ජීවිත රඟමඩලින් සමුගත් වේදිකා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු හා ගායකයෙකු වූ ගාමිණී අම්බලන්ගොඩ මහතාගේ අභාවය වෙනුවෙන් ටවර් හෝල් රඟහල පදනම විසින් ක්‍රියාත්මක ප්‍රේක්ෂා හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය යටතේ රුපියල් ලක්ෂ දෙකක චෙක්පතක් ඔහුගේ පවුලේ ඥාතීන් වෙත පසුගියදා මාතලේ ඇල්කඩුවේ පිහිටි ඒ මහතාගේ ඥාති දියණියගේ නිවසේ දී ප්‍රදානය කරන ලදී. ‍

ටවර් හෝල් රඟහල පදනමේ සභාපති, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ මගපෙන්වීමෙන්, එම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ මහා භාණ්ඩාගාරයෙන් ලැබූ ප්‍රතිපාදන මත වේදිකා නාට්‍ය කේෂ්ත්‍රයේ නියුතු ප්‍රාසාංගික කලාකරුවන් 500 දෙනෙකු වෙනුවෙන් ප්‍රේක්ෂා හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය 2021 මාර්තු මස 16 දී ආරම්භ කරන ලදී. මේ වන විට රුපියල් ලක්ෂ 80 කට අධික මුදල් ප්‍රතිලාභ මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ කලාකරුවන් වෙත පිරිනමා ඇත.

අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදෑරූ ගාමිණී අම්බලංගොඩ මහතා එම විද්‍යාලයේ ආචාර්යවරියක් විසින් නිර්මාණය කළ “නුරාමල්” වේදිකා නාට්‍යයෙන් රංගනය සඳහා පිවිස ඇති අතර, පසුව අම්බලන්ගොඩ ටුක්කාවඩු හරිස්චන්ද්‍ර ගුරුතුමා යටතේ කෝළම් නාට්‍ය සම්ප්‍රදාය හදාරා ඇත.

පුණ්‍යසේන ගුණසිංහයන්ගේ  ‘‘දික්තල කාලගෝල” නාට්‍යයේ දික්පිටියාගේ චරිතයට පණ පොවමින් ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි අම්බලන්ගොඩ මහතා ජනක් ප්‍රේමලාල්ගේ රජගහේ නාඩගම, රාජ කපුරු ආදී වේදිකා නාට්‍ය සඳහා රංගනයෙන් මෙන් ම ගායනයෙන් ද සිය නිර්මාණ දායකත්වය ලබාදී ඇත.