Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කපටි තැරැව්කරු

ඊශ්‍රායල සාමය සඳහා වූ ට්‍රම්ප්ගේ සැලැස්ම වසර හතරක් තිස්සේ ඊශ්‍රායලය හා අරාබිය එක් කිරීම අත්හිටුවා ඇති අතර අනාගතයේ දී බටහිර අරාබි ඉවුරේ විශාල කොටසක් ඊශ්‍රායලයට පවරා ගැනීමට ද ඉඩ සලස්වා තිබේ. එනමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර පසුගිය දිනක පැවති සාම සාකච්ඡාවල දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ භූමිකාව පිළිබඳ සෞදියේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී “තුර්කි අල් ෆයිසාල්” විසින් ප්‍රශ්න කර තිබේ. තුර්කි කුමරු කියා සිටියේ පලස්තීන රාජ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් ට්‍රම්ප් අවංක නොවූ බවයි. 1960 සහ 1970 දශකවල රාජධානිය පාලනය කළ ඔහුගේ පියා වූ අභාවප්‍රාප්ත ෆයිසාල් රජු පලස්තීනුවන් වෙත ලබා දුන් ආකාරයේ විසඳුමකින් තොර ව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය එක් ව මෑත කාලීන ගිවිසුමට අත්සන් තැබීම ගැන තමා කලකිරීමට පත්වන බව එම කුමරු පැවසීය.

 “1973 දී රාමසාන් යුද්ධයේ දී ඇමරිකානුවන් ඊශ්‍රායලයට වැඩි ආධාර ලබා දීමට තීරණය කිරීමෙන් පසු එක්සත් ජනපදයට තෙල් සම්බාධක පැනවීමට ෆයිසාල් රජු තීරණය කළා. ඒ ඊශ්‍රායලයත් අරාබියත් අතර අවංක තැරැව්කරුවකු බවට පත් වීමට එක්සත් ජනපදයට බල කිරීම සඳහා යි”. තුර්කි කුමරු ජිඩාහි සම්මුඛ සාකච්ඡාවක දී පැවසීය.

“ජනාධිපති ට්‍රම්ප් එතරම් අවංක තැරැව්කරුවකු නොවූ බව මම පැවසිය යුතුය. ඉතින් ඔව්, මම හිතන්නේ නැසී ගිය රජු කලකිරෙන්න ඇති.” ඔහු වැඩි දුරටත් අදහස් පළ කළේ ය.

1973 වසරේ “යොම් කිප්පූර් යුද්ධය” යනුවෙන් හැඳින්වෙන කාලය තුළ දී ෆයිසාල් රජු එක්සත් ජනපදයට, ඊශ්‍රායලයට මෙන් ම ඊශ්‍රායලයට ආධාර කළ වෙනත් රටවලට ද තෙල් තහනමක් පැනවීය. 1967 යුද්ධයෙන් පසු ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබූ අරාබියට අයත් ප්‍රදේශවලින් ඉවත් වීමේ අවශ්‍යතාව ද රජතුමා අවධාරණය කළේය. සෞදි අරාබිය දිගු කලක් තිස්සේ පලස්තීන රාජ්‍යය වෙනුවෙන් කැපවී සිටිය ද එම හැඟීම මෑත වසරවල දී වෙනස් වී ඇති බව පෙනේ. 2018 දී අත්ලාන්තික් සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔටුන්න හිමි කුමරු වන “මොහොමඩ් බින් සල්මාන්” පැවසුවේ ඊශ්‍රායෙල්වරුන්ටත් තමන්ගේ ම කියා ඉඩමක් ලබා ගැනීමට අයිතියක් ඇති බවයි.

එනමුත් තුර්කි කුමරු පවසන්නේ අරාබි සාම වැඩපිළිවෙල සහ ජෙරුසලමේ අගනුවර සමඟ පලස්තීන රාජ්‍යයක් බිහි කිරීම සඳහා අරාබි රාජධානිය තවමත් කැපවී සිටින බව යි. මෙම තුර්කි කුමරු රාජකීය පවුලේ ඔටුන්න හිමි කුමරුගේ ඥාති සහෝදරයෙකු වන අතර මෙයට පෙර ද ඔහු විසින් මැද පෙරදිග එක්සත් ජනපද භූමිකාව විවේචනය කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායලය විසින් අගෝස්තු 13 වන දින අත්සන් කරන ලද “ඒබ්‍රහම් ගිවිසුම්” දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සාමාන්‍යකරණය කිරීමට ගත් පළමු පියවර සනිටුහන් කළේය. පසුගිය සතියේ වොෂිංටනයේ පැවති අත්සන් කිරීමේ උත්සවයකට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ බහරේනයේ විදේශ ඇමතිවරුන් එක් ව සිටි අතර ඊශ්‍රායල අගමැති “බෙන්ජමින් නෙතන්යාහු” සහ ට්‍රම්ප් ද ඊට සහභාගී වූහ.

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author