Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඕන ලෙඩකට තෙරියාක්.

බඩේ රුදාවට අසමෝදගම් සමඟ වයින්.

ආමශූලය, බඩ කොර වීම හෝ තද බඩෙහි රුදාව සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ දී මිනිසුන් හට වැළඳෙන රෝග වේ. මේ වන විට කිසියම් පැණියකින් හැන්දක් බීමෙන් බඩේ අමාරුව කොහෙන් ගියා ද කියා සොයා ගත නොහැකි වුව ද, මෙයට වසර ගණනාවකට ප්‍රථම එවැනි රෝගීන් හට නියම කෙරුණේ මහත් කරදරකාරී ලෙස සකසා ගත් ඖෂධයකි. 

දුරු හා අසමෝදගම් එක හා සමාන ප්‍රමාණවලින් ලබා ගන්න. සුදු වයින් කෝප්පයක් සූදානම් කර ගෙන, ඔබ විසින් සොයා ගන්නා ලද ඖෂධ දෙවර්ගය එම වයින් බඳුන තුළ සම්පූර්ණයෙන් ගිල්වන්න. මෙලෙස සකසා ගන්නා ලද මිශ්‍රණය එක ම ස්ථානයක දින තුනක් නොසොල්වා තබා ගන්න. එනම්, දහවල් තුනක් හා රාත්‍රී තුනක් ඇතුළත් වන ලෙස ය. ලෑලි පුවරුවක් ගෙන, ඒ මත පුච්චන ලද අළු අතුරා ගන්න. දුරු හා අසමෝදගම් සියල්ල වයින් තුළින් පිටතට රැගෙන, අළු අතුරන ලද පුවරුව මත තබා, තවත් අළු ස්වල්පයකින් ඒවා වසා දමන්න. එනම්, කොස් ඇට වැනි ආහාර කල් තබා ගැනීම සඳහා උණු අළු පල්ලේ දමන්නා සේ, අළු යට තබා වියළා ගන්න. මෙය මෙසේ දින නවයක් දක්වා වියළීමට තැබිය යුතු ය. 

දින නවය අවසානයේ දී අළු ගසා දමා දුරු හා අසමෝදගම් පමණක් ඉවතට ගෙන, ඒවා මැටි බඳුනකට දමන්න. මැටි බඳුන හොඳින් වසා, දර ලිපක් මත තබා, ඇතුළත ඇති ඖෂධ කබලේ බැද ගන්න. හොඳින් බැදුණු පසුව, ඒවා සිහින් කුඩු වන සේ කොටා ගත යුතු ය. මෙසේ සකසා ගන්නා ලද කුඩු ඕනෑ ම බඩේ රුදාවකට යෝග්‍ය ය. ඔබට ඒවා බඳුනකට ස්වල්පයක් දමා තබා ගෙන, වරින් වර කෑ හැකි ය. නැතහොත් අප තේ බොන්නා සේ කෝප්පයකට උණු වතුර ස්වල්පයක් දමා, ඊට මෙම කුඩු ද දමා කලවම් කොට, මඳ වේලාවක් තැම්බෙන්නට හැර, පෙරා බීමට ගත හැකි ය.

මෙම පානය සෑදීමට සති දෙකක්වත් ගත වේ. එබැවින් එකල විසූ බොහෝ රෝගීන් ඒවා වෛද්‍යවරුන් වෙතින් මිළට ගෙන ඇති බව පෙනේ. සැබැවින් ම මෙම දුරු අසමෝදගම් පානය ඕනෑ ම කෙනෙකුට සිය නිවසේ දී ම සකස් කර ගැනීමට හැකියාවක් තිබූ දෙයකි. එනම්, ප්‍රථමාධාරයක් ලෙස භාවිත කළ හැකි වූ ඖෂධයකි. මෙහි ඇති ඖෂධීය ගුණය පිළිබඳ සැලකුවහොත් වර්තමාන තත්ත්වයට වඩා වැඩි වෙනසක් තිබූ බවක් නොපෙනේ. අදටත් කුඩා දරුවන්ට දෙන ග්‍රයිප්වෝටර් තුළ ද, වැඩිහිටියන් සඳහා රුපියල් සියයක් වැනි මුදලකට වෙළෙඳපොළෙහි මිළ දී ගන්නට තිබෙන පානයෙහි ද ඇත්තේ අසමෝදගම් ය. එනමුත් අසමෝදගම් ඇට ස්වල්පයක් ගෙන, කුඩු කොට බඩේ රුදාව සඳහා ඉතා පහසුවෙන් ම පානයක් සාදා ගැනීමට හැකියාව තිබියෙ දී එකල ජීවත් වූ මිනිසුන් මෙතරම් දුක් වින්දේ මන්ද යන්න සිතා ගත නොහැකි ය.

ඕනෑ ම ලෙඩකට තෙරියාක්.

පුරාණ කාලයේ දී රජෙකු වීම භයානක විය. රජෙකු මරා දැමීම සඳහා කවුරු හෝ හැම විට ම කුමන්ත්‍රණය කරමින් සිටියහ. පුරාවෘත්තයන්ට අනුව, පොන්ටස් රාජ්‍යයේ රජ කළ හයවන මිත්‍රාඩේට්ස් නමැති රජු ද එසේ බියට පත් ව සිටි අයෙකි. කිසියම් පුද්ගලයෙකු විසින් තමාට වස දෙනු ඇතැයි බිය ව සිටි ඔහු, සෑම දිනක ම නොයෙක් වර්ගවල විෂ ක්‍රමයෙන් වැඩි වන මාත්‍රාව බැගින් පානය කරමින් විෂවලට ප්‍රතිරෝධී වීමට උත්සාහ කළේය. තව ද මරණීය දණ්ඩනය නියම කරන ලද සිරකරුවන් යොදා ගනිමින් විෂ විද්‍යාත්මක අත්හදා බැලීම් කරමින් ඔහු කීර්තියට පත් විය. පසු කාලයේ දී ඔහු විසින් එම සියලු විෂ වර්ග ඒකාබද්ධ කොට එක් ප්‍රබල සූත්‍රයකට අනුව ඖෂධයක් නිර්මාණය කර ගත්තේ ය. එය “මිත්රිඩේට්” යනුවෙන් හැඳින්විණි. එම රජු විසින් මෙම ඖෂධය සිය සතුරන්ට එරෙහි ව ජෛවීය අවියක් වශයෙන් යොදා ගත් බව පෙනේ.

කෙසේ වෙතත් එය රෝම හමුදාවන්ට එරෙහි ව ක්‍රියා නොකළ අතර ක්‍රි.පූ 66 දී හමුදා නායක පොම්පේ අතින් මිත්‍රාඩේට්ස් රජු පරාජය විය. පසුව මෙම රහස් ඖෂධ වට්ටෝරුව හමුදාව හරහා රෝමයට පැමිණියේය. නීරෝ අධිරාජ්‍යයාගේ වෛද්‍යවරයා වූ “ඇන්ඩ්‍රොමචස්” විසින් එය අමුද්‍රව්‍ය 64කින් යුත් සංයුතියක් බවට වර්ධනය කළ අතර නව ඖෂධය “තෙරියාක්” යන නමින් ප්‍රසිද්ධ විය. අබිං ද ඇතුළු නොයෙක් ඖෂධ එක් කොට තැනූ තෙරියාක්හි කැපී පෙනෙණු අංගය වූයේ පොළොං මස් භාවිත කිරීම යි.

ඖෂධය පිළිබඳ බොහෝ දෙනෙකු හට සැක සංකා තිබියදීත්, එය වටිනා මෙන් ම මිල අධික ප්‍රතිකාරයක් ලෙස සිදු කිරීම ආරම්භ විය. 12 වන ශතවර්ෂය වන විට වැනීසිය මෙම අමුතු ඖෂධයේ ප්‍රමුඛ අපනයනකරුවා වූ අතර එය යුරෝපීය, අරාබි සහ චීන වෛද්‍ය විද්‍යාව තුළ ඉහළ විශ්වාසයකින් පිළි ගැනිණි. කෙසේ වෙතත්, 1745න් පසු විලියම් හෙබර්ඩන් විසින් තෙරියාක් ඖෂධයේ තිබෙන සුව කිරීමේ බලය සම්පූර්ණ අසත්‍යයක් බව ඔප්පු කළේ ය. ව්‍යවසායක රෝමානුවන් විසින් තමන්ගේ වාසි තකා මිත්‍රාඩේට්ස් කතාව අතිශයෝක්තියට නංවා ඇති බවට ප්‍රසිද්ධ වීමෙන් පසු තෙරියාක් සඳහා තිබූ ඉල්ලුම ක්‍රමයෙන් හීන විය.

එසේ වුවද, 19 වන සියවස අග භාගය වන තුරු ම තෙරියාක් ඖෂධය ඇතැම් යුරෝපීය ඖෂධවේදීන් විසින් භාවිත කළ බවට සාක්ෂි තිබේ.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author