Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඔස්ට්‍රේලියාවේ හෝටලයක පටිපණු රෝගය

පසුගිය දිනෙක ප්‍රකාශයට පත් කරන ලද ඇමරිකාවේ “ජර්නල් ඔෆ් ට්‍රොපිකල් මෙඩිසින් ඇන්ඩ් සැනිටරි” සඟරාවේ පළ වූ ලිපියක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු පුරවැසියෝ කැළඹීමට පත් වූහ. එහි සඳහන් ව තිබුණේ සතුන් සමඟ කිසිදු සම්බන්ධයක් නොපවත්වන රාජකාරියක නිරත වූ කාන්තාවකට පටි පණු රෝගය වැළඳී ඇති බව යි.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන 25 හැවිරිදි කාන්තාවක පසුගිය මාසයේ දී රෝහල්ගත වී තිබුණේ අධික හිසරදය දරා ගත නොහැකි වීම හේතුවෙනි. පසුගිය අවුරුදු හත තුළ දී ම මෙම කාන්තාව මසකට දෙතුන් වතාවක් තමා හට වධ දුන් හිසරදය ගැන පැමිණිලි කර තිබිණි. එහෙත් දොස්තරවරුන් නිගමනය කර තිබුණේ මෙය ඉරුවාරදය බව යි. ඔවුන් ඒ සඳහා බෙහෙත් නියම කොට කාන්තාව පිටත් කර යවා තිබිණි. කෙසේ වෙතත්, පසුගිය මස ඇයට අලුතින් ම ඇති වූ හිසරදය සතියකට වඩා වැඩි කාලයක් තිස්සේ පැවති අතර මෙවර ඇගේ ඇස් බොඳ වී, වඩාත් දරුණු දෘශ්‍ය රෝග ලක්ෂණ ද ඇති ව තිබිණි. ඇගේ මොළයේ එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයක් සිදු කළ වෛද්‍යවරයා විශ්වාස කළේ මොළයේ හට ගෙන තිබූ ගෙඩියක් ඇගේ වේදනාවට හේතුව විය හැකි බව යි. එහෙයින් ඔවුහු ඇගේ හිස ශල්‍යකර්මයකට භාජනය කළහ. හිස විවෘත කළ විට පෙනෙන්නට තිබූ ගෙඩිය ඉවත් කිරීමෙන් පසුව ඔවුන් සොයාගත්තේ එය සැබවින් ම පටි පණු කීටයන්ගෙන් පිරුණු බෝලයක් බවයි. අදාළ පණු බෝලය ඉවත් කිරීමෙන් පසු ඇයට වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නොවූ බව පෙනිණි.

කිසි දිනෙක විදෙස් ගත නොවූ බව කියවෙන මෙම කාන්තාව, ඕස්ට්‍රේලියාවෙන් හමු වූ පටි පණු රෝගය සහිත ප්‍රථම ස්වදේශිකයා බව එරට අධ්‍යයන අංශ පවසයි. මෙම ආසාදනයට පෙර ඕස්ට්‍රේලියාවෙන් හමු වූ සියලු පටි පණු රෝගීහු සංක්‍රමණිකයන් හෝ නැවත පැමිණි පදිංචිකරුවෝ වූහ. ඔවුන් අප්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමරිකාව වැනි අදාළ රෝගයට ගොදුරු වූ ප්‍රදේශවල සංචාරය කර තිබිණි. රෝගී වන විට කෝපි අවන්හලක සේවිකාවක ලෙස සේවය කරමින් සිටි මෙම කාන්තාව පටි පණු කීටයන් ආසාදනය වීමේ ඉතා අඩු අවදානමක් සහිත පුද්ගලයෙකු ලෙස සලකනු ලැබේ. එනමුත් කෙසේ හෝ රෝග වාහකයෙකු හරහා මුදා හැරුණු පටි පණු බිත්තර, කුමන ආකාරයකින් හෝ අහම්බෙන් ඇයට ශරීරගත වී ඇති බවට විශ්වාස කෙරේ.

මෙම රෝගය වෛද්‍ය විද්‍යාවේ දී හැඳින්වෙන්නේ “නියුරෝසිස්ටිසර්කෝසිස්” යනුවෙනි. එය ඍජුව ම මොළයට බලපාන අතර නිසි ලෙස ප්‍රතිකාර නොකිරීමෙන් වඩාත් දරුණු ස්වරූපයක් ගත් විට රෝගය මාරාන්තික විය හැකිය. සාමාන්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ නියුරෝසිස්ටිකෝසිස් යනු නොසලකා හරින ලද පරපෝෂිතයෙකු ලෙස සැලකේ.

එහෙයින් බොහෝ විට සෞඛ්‍ය සේවා සපයන්නන් විසින් මෙම තත්ත්වය එතරම් අවබෝධ කර නොගැනෙයි.

පටි පණුවෝ සාමාන්‍යයෙන් මිනිසාගේ බඩවැල්වල වාසය කරති. එය “ටෙනියාසිස්” ලෙස හැඳින්වේ. ඇතැමුන් හට බෙහෙත් නොමැතිව ම රෝගය සමඟ සටන් කළ හැකි වේ. මෙම පරපෝෂිතයා බහුලව සම්ප්‍රේෂණය වන්නේ මිනිසුන් ඌරු මස් අනුභව කරන විට ය. ඌරන් බොහෝ විට අතරමැදි පටි පණු ධාරකයන් බවට පත් වේ. නැතහොත් පණු බිත්තරවලින් දූෂිත ආහාර, ජලය සහ පස සමඟ සම්බන්ධ වීමෙන් රෝගය වැළඳේ.

සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ස්නායු සෛල තුළට මෙම පටි පණුවන් ඇතුළු වන ආකාර කිහිපයකි.

1. පටි පණු බිත්තර ගිල දැමීමෙන් පුද්ගලයෙකුගේ ස්නායු සෛලවලට මෙම පණුවා ඇතුළු වේ. 

2. මෙම පණුවන් වැඩි වශයෙන් ජීවත් වන්නේ ඌරන් තුළ ය. එහෙයින් ඌරු මස් වැඩි වශයෙන් අනුභව කරන පුද්ගලයෙකුගේ මළ මූත්‍රා හරහා රෝගය බෝ වේ. 

3. සුවල්ප වශයෙන් පිසින ලද ඌරු මස් අනුභව කිරීමෙන් බෝ වේ.

4. යම් ආසාදිත පුදගලයෙකුගේ මළ මූත්‍රාවල පණු බිත්තර රැඳෙන බැවින් නාන කාමරය භාවිත කිරීමෙන් පසු දෑත් නිසි ලෙස නො සේදීම හරහා බෝ වේ.

5. කිසියම් කෙනෙකු රෝගයෙන් අපවිත්‍ර වූ ආහාර අනුභව කරන්නේ නම් ඒ හරහා පණු බිත්තර ශරීරය තුළට ගමන් කළ පසු පැටවුන් බිහි වී මොළයට යන මාර්ගය සොයා ගන්නා කීටයන් බවට පත් විය හැකිය. 

“නියුරෝසිස්ටිකෝසිස්” රෝගයෙන් මොළයේ ස්නායු සෛලීය ආසාදනය සිදු වීමේ අවදානම සහිත පුද්ගලයින් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනා ගෙන ඇති කොට්ඨාස කිහිපයකි.

1.ඍජු ව ඌරු මස් හරහා ආසාදනය ඇති වන්නන්. (මෙය ස්වයංක්‍රීය ආසාදනය ලෙස හැඳින්වේ.)

2. පටි පණු රෝගය සහිත අයෙකු සමඟ එක නිවසක ජීවත් වන්නන්.

3. අදාළ ආසාදනය සහිත අයෙකු විසින් සාදන ලද ආහාර අනුභව කරන්නන්.

පටි පණු රෝගය යනු වළක්වා ගත හැකි රෝගයකි. හොඳින් අත් සේදීමේ පුරුදු ඇති කර ගැනීමෙන් සහ බඩවැල් පටි පණුවන් ආසාදනය වූ අයට ඉක්මනින් ප්‍රතිකාර කිරීම මඟින් රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස අඩු කළ හැකි ය.

මෙම ආසාදනයෙන් ආරක්ෂා වීමට ඇති හොඳම ක්‍රම වන්නේ ආරක්ෂිත උෂ්ණත්වයට අනුකූල ව මස් පිසීම, කෑමට පෙර සබන් යොදා ඔබේ අත් සේදීම සහ සනීපාරක්ෂක තත්ත්වයන් යටතේ පිසින ලද බවට ඔබට සහතික විය හැකි ආහාර පමණක් අනුභව කිරීමයි.

මේ වන විට ඉහත සඳහන් කළ කාන්තාව නිසා ඇය වෙසෙන ප්‍රදේශයේ “නියුරෝසිස්ටිසර්සර්කෝසිස්” රෝගය පැතිරීමට පටන් ගෙන ගෙන ඇති බැවින් මොළය අනුභව කරන ඇමීබාවන් ඉවත් කොට, අදාළ ප්‍රදේශයේ ජල සැපයුම විෂබීජහරණය කිරීමට මාස ගණනාවක් ගතවනු ඇතැයි බලධාරීහු පවසති.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author