Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එජාපයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද

2021 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද (13) පෙ.ව. 10.30ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ. පක්ෂ මහලේකම් සහ සභාපති යන තනතුරු සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන්ගේ එකඟතාවෙන් පත් කිරීම් කරන අතර නියෝජ්‍ය මහලේකම්, උප ලේකම් සහ ජාතික සංවිධායක යන තනතුරු සඳහා ද මෙහිදී පත් කිරීම් සිදු කිරීමට නියමිතව ඇත.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධූරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා බොහෝ දුරට පත් වීමට ඉඩ ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂ ව්‍යවස්ථාව අනුව දැනට පවතින තනතුරු වල නිල කාලය ඉදිරි මාස තුනක කාලයක් සඳහා වලංගු කිරීමටද හැකියාව පවතී.

2019 වසරේදී පක්ෂ සම්මේලනයේදී සම්මත කැර ගත් පරිදි රනිල් වික්‍රමසිංහ මහතාට 2023 දක්වා පක්ෂ නායකත්වයේ රැඳී සිටීමට අවකාශය ඇති අතර නියෝජ්‍ය නායක තනතුරේද වෙනසක් සිදු නොවන බව සිරිකොත ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

© දිනමිණ

About The Author