Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉන්දු චීන ගැටුම කවදා නිම වේවි ද?

පාකිස්තානය, නේපාලය, බංගලාදේශය ආදී රටවල් කිහිපයකට මායිම් වන ලෙස පිහිටා ඇති ඉන්දියානු අර්ධද්වීපයේ චීන දේශ සීමාව කිලෝ මීටර 3400ක් පමණ වෙයි. එයිනුත් සිකිම් සානුවට අයත් “නාකු ලා” මුර කපොල්ල වූ කලි දෙ රට ම වෙසෙන ජනතාව සිය වන්දනා ගමන් සඳහා නිරන්තරයෙන් භාවිත කරන ස්ථානයකි. භූතානයටත් නේපාලයටත් මැදි ව ඇති එම කුඩා ප්‍රදේශය පිළිබඳ දෙරට අතර අදටත් සම්මුතියක් නැත. 

එපමණක් නොව මෙයට වසර කිහිපයකට පෙර, එනම් 1962 වසරේ පමණ සිට ම දේශසීමා පිළිබඳ ඉන්දියාව හා චීනය අතර යුධ ගැටුමක් හට ගෙන තිබේ. ඒ, ජම්මු – කාශ්මීර් ප්‍රදේශවලට යාබද ව පිහිටා ඇති “අක්සායි චින්” යන ප්‍රදේශය කුමන රටකට අයත් ද යන්න තිරණය කර ගැනීමට නොහැකි වූ නිසා ය. ඉන්දියානු සිතියමේ අදාළ ප්‍රදේශය ඉන්දියාවට අයත් කොටසක් වශයෙන් පිහිටා තිබුණ ද, අවාසනාවකට මෙන් චීන සිතියමේ එය දක්වා ඇත්තේ චීනයට අයත් වූවක් ලෙසිනි. එබැවින් දෙරට ගැටුම සාධාරණ ය. එම දිනවල දී චීනයේ සංචාරයක නියැලුණු ශ්‍රී ජවහර්ලාල් නේරු මහතා පවා එකල අගමැතිවරයා ව සිටි චෞ එන් ලායි මහතා සමඟ මෙම ගැටලුව පිළිබඳ සාකච්ඡා කර තිබුණ ද, නිශ්චිත තීරණයක් ගත නොහැකි ව පෙරළා පැමිණ තිබේ. අදාළ ගැටලුව පිළිබඳ ටිබෙටයේ  මතය ඉන්දියාවට පක්ෂ ව ලැබුණ ද, චීන ජනරජය කිසිසේත් තම සිතියමෙහි ඇතුළත් වන ප්‍රදේශයක් අනෙකෙකුට දී අත පිසදා ගැනීමට සූදානම් නොවීය. 

මත ගැටුම උත්සන්න වී 1962 ඔක්තෝබර් සිට නොවැම්බර් තෙක් වූ මසක පමණ කාලයක් දෙරට අතර දේශසීමා යුද්ධයක් ඇති වූ අතර, එහි දී ප්‍රථමයෙන් “අක්සායි චින්” ප්‍රදේශය ආරක්ෂා කරමින් සිටි හමුදා භටයින් හට පහර දුන්නේ චීනය යි. පසුව චීන රජය ම මැදිහත් වී ඒකපාර්ශ්වික සාම ගිවිසුමකට එළඹ තිබිණි. එනමුත්, නැවත 2017 වසරේ දීත් යුධමය තත්ත්වයක් ඇති විය. ඒ, සිකිම් සානුව හරහා ඇති මායිම් මාර්ගය දීර්ඝ කිරීමට චීන රජය උත්සාහ ගැනීමත් සමඟ ය. මදක් සමනය වූ ප්‍රශ්නය මේ වන විට නැවතත් හිස ඔසවමින් පවතින බව පෙනී යයි. 

සිය දේශ සීමාව ඇතුළත ගොඩ නංවමින් යන මහාමාර්ගයක ඉදි කිරීමේ කටයුතුවලට ඉන්දියානු භටයින් බාධා එල්ල කරන බව පවසමින් මීට සති කිහිපයකට පෙර සිට ම චීනය ඉන්දියාවට චෝදනා එල්ල කරමින් සිටියේ ය. අදාළ සිකිම්හි දේශසීමාවේ පමණක් නොව අනෙකුත් ඉන්දු – චීන දේශසීමාවල පවා දෙ රටෙහි ම භටයින් අතර පපුවට ගැසීම්, තල්ලු කර ගැනීම්, වචන හුවමාරු හා ගල් ගසා ගැනීම් ආදී සුළු ගැටුම් ඇති වීම සාමාන්‍ය ය. ඒහෙත් සිකිම්හි තත්ත්වය මදක් දරුණු වී ඇති හෙයින් මේ වන විට සියලු වන්දනා නඩවලට “නාකු ලා” මුර කපොල්ල හරහා යාම තහනම් කර ඇත්තේ ද චීන රජය විසිනි. 

මාර්තු මස 9 වන දින අදාළ උනුසුම් තත්ත්වය තවදුරටත් වැඩි වර්ධනය වූ අතර දෙ රට හමුදා භටයින් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබේ. ගැටුමෙන් චීන භටයින් හත් දෙනෙකු සහ ඉන්දීය භටයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙන බවට වාර්තා වේ. වහා මැදිහත් වූ ප්‍රාදේශීය අණ දෙන නිළධාරීන් ගැටුම මැඬ පවත්වා ඇත ද, මේ වන විටත් දෙපාර්ශවයේ ම රැවුම් ගෙරවුම් එලෙස ම පවතින බව පෙනී යයි.

එකල මෙන් ම වර්තමාන ජන නායකයින්ගේ ද විදෙස් ප්‍රතිපත්තිය වී ඇත්තේ සාමය පවත්වා ගැනීම යි. “අක්සායි චින්” අදටත් දෙරටට ම අයත් ව ඇත්තේ එබැවිනි. රටවල් දෙකෙහි ඉතිරි භූමි ප්‍රමාණය ගැන සැලකීමේ දී “අක්සායි චින්” මෙන් ම “නා කුලා”  ප්‍රදේශය ද නොතැකිය හැකි තරම් කුඩා කොටස් බව පෙනේ. එහෙත් බල ලෝභීත්වය අදට පමණක් නොව එදාට ද වලංගු වූ බැවින් නිරන්තරයෙන් එකිනෙකා වෙත චෝදනා එල්ල කර ගනිමින් ඉන්දියාව මෙන් ම චීනය ද දිගින් දිගට ම සටනේ නියැලෙමින් සිටිති. 

ශ්‍රීනි ලංකා ජයකොඩි.