Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇය පසුපස ජනමාධ්‍ය – රංජිත් කුමාර සමරකෝන්

“මිනිසෙකු විසින් බල්ලෙකු සපා කෑම” නැමති ප්‍රවෘත්තිය සොයා එන කුප්‍රකට මාධ්‍යවේදියාට අවාසනාවකට එවැනි සිදුවීමක් හසු නොවේ. එහෙත් ඔහුට කෙසේ හෝ ඒ අපූරු “නිවුස් එක” අවශ්‍ය නිසා ඔහු කරන්නේ තමා විසින් හෝ බල්ලාව සපා කා “නිවුස් එකක්” නිර්මාණය කිරීමය. වර්තමානයේ බොහෝ මාධ්‍ය සම්බන්ධයෙන් තත්ත්වය ඒකය.

මාධ්‍යයක කාර්භාරය කුමක්ද කියා තේරුම්ගත හැකි වෘත්තීමය මාධ්‍ය කලාවක් අවාසනාවකට අපට නැත. හුදෙක් කිසියම් පාඨමාලාවක් හදාරා එළියට එන සමහරු තමන් මාධ්‍ය ඔස්තාර් කෙනෙක් සේ සලකා හැසිරෙයි. විශේෂයෙන්ම නුපුහුණු ඇතැම් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් යැයි කියාගන්නා සමහරු ආරූඪ කරගත් සිවිල් බලයකින් හැසිරෙන අවස්ථා බොහෝය. සිය පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගන්නට ලද ලයිසමක් සේ ඔවුන් ප්‍රාදේශීය මාධ්‍යවේදීකම සකලති.

මිනිසෙකු බල්ලෙකුව සපා කා නැත්නම් තමන්ම හෝ බල්ලව සපා කා නිවුස් කෑල්ලක් හදා ගන්නට ඔවුන් දෙවරක් සිතන්නේ නැත.
විශේෂයෙන්ම උවදුරකින් මිනිසුන් පීඩා විදින මොහොතක මාධ්‍ය හැසිරිය යුත්තේ කෙසේද යන්න ගැන බොහෝ මාධ්‍ය හෝ මාධ්‍යවේදීන් මායිම් නොකරති.

මාධ්‍ය සදාචාරයට වඩා ඔවුන්ට අවශ්‍ය ‘හිට් වන කට් එක’ පමණි. පසුගිය දිනවල කොරෝනා ව්‍යසනය මෙරට ව්‍යාප්ත වද්දී බොහෝ මාධ්‍ය හැසිරුණේ අපුල දනවන සුලු ලෙසය. ඒ තත්ත්වය තවමත් එලෙසමය.

පළමු කොරෝනා ආසාදිතයා හමුවූ විට වහාම මාධ්‍ය විසින් ඔහුගේ සකලවිද තොරතුරු එළියට දැමූයේ කොරෝනා යනු වෛරසයක් නොව පිළිකුල් සහගත සමාජ රෝගයක් බවට පරිවර්තනය කරමිනි. වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ව සමාජ රෝගීන් මෙන් මාධ්‍ය තුළ ලේබල් කිරීමක් සිදු විය. ඔවුන්ගේ ගෙවල් දොරවල්ද, කන බොන දෑද, ආගිය තැන්ද, පෞද්ගලික සබදතාද යනාදී සියල්ල ලෝකයාට නිරාවරණය කරමින් ඇතැම් මාධ්‍ය හැසිරුණේ ඉතාමත් අශිෂ්ට ලෙසය.

මෙහි බරපතලම ස්වරූපය දකින්නට ලැබුණේ කොරෝනා දෙවෙනි රැල්ල ආ විටය. “ගාමන්ට් පොකුර” යනුවෙන් ආසාදිතයින්ට ගර්හා කරමින් මාධ්‍ය විසින් වාර්තා කරන්නට යෙදුනි. එයිනුදු නොනැවතී ඔවුන්ට කොරෝනා පොසිටිව් වීම ගැන වෙළද කලාපයේ යුවතියන්ව නින්දාවට ලක් කරන වැඩසටහනක් පවා විකාශය විය. ඉතින් ලංකාවට විශාල විදේශ විනිමයක් ලබා දෙන ඇගලුම් කම්හල් සේවිකාවන්ට කොරෝනා වසංගතයෙන් පමණක් නොව රාජ්‍ය සහ මාධ්‍ය ත්‍රස්තවාදයන්ගෙත් බැට කන්නට සිදුවිය.

මේ පිළිබ‍ඳව එක්තරා මෘග්ධ මාධ්‍යයක ‘මෝර්නිං ෂෝ’ එකක විකාශය වූ සංවාදය මෙබදුය.
“ඇගලුම් කර්මාන්ත සේවිකාවන් ඉස්සරත් දැනුත් බයෙන් ඉන්නේ කුමක් සම්බන්ධයෙන්ද?”
“පොසිට්ව් වීම සම්බන්ධයෙන්”

ඔවුන්ට අනුව ඉස්සර පොසිට්ව්වීම යනුවෙන් අදහස් කරන්නේ අන් කිසිවක් නොව ලිංගික සබඳතාවයකින් පසු ගර්භණී වී ඇත්ද නැද්ද යන වෛද්‍ය පරීක්ෂණයයි. දැන් කොරෝනා ආසාදිතද නැද්ද යන පරීක්ෂණයයි. තමන්ගේ මාධ්‍ය වැඩසටහන් හිට් කර ගැනීම උදෙසා කාන්තාවන්ව මානසික හිංසනයට ළක් වන මෙවැනි ඇතැම් වැඩසටහන් මෙහෙයවන්නේද තවත් කාන්තාවක්ම වීම තවත් ඛේදජනකය.
දෙවෙනි රැල්ල සමග ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් මහ රෑ නිරෝධායනය පිණිස යැවීම පිණිස ගෙනයාමට ස්ථාන 12කට රැස්වන සේ නියෝගය නිතුක් කර තිබුනේ පොලීසීයෙනි. ආසාදනය වී සිටි යුවතියන්ගේ සකලවිධ තොරතුරු පීර පීරා සොයමින් වාර්තා කරමින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය වනසා දමමින් පැත්ත ගියත් ඇත්ත කියන බව පැවසුවේ ජඩ මාධ්‍යකරුවන් විසිනි.

යම් යුවතියකට කොරෝනා ආසාදනය වී ඇති බවට සැක පුවත වාර්තා වූ විට ඇයගේ සමීපතමයන් සොයන මෙහෙයුම රටට කියන මෙහෙයුම බාර ගත් සමහර මාධ්‍ය විසින් කොරෝනා ආසාදිතයින්ව අපරාධකරුවන් සේ සලකමින් වාර්තා කිරීම් සිදු කලේ රටට ලෝකයට මුහුණ දීමට නොහැකි ආකාරයටය.

අනාරක්ෂිතව පොලීසිය පැමිණ තමන් ‘කුදලාගෙන’ යනු ඇතැයි බිය නිසා එහි සේවක සේවිකාවන් රැය පුරා නවාතැන් මාරු කරමින් පටාචාරාවන් සේ එහෙ මෙහේ ගියහ. එහෙත් මාධ්‍ය කළේ ඒ පිරිස් පිටුපස කැමරා මානාගෙන ඒමය. අහිංසකාවියන් සොයන පොලිස් මෙහෙයුමට මාධ්‍යකරුවෝ පාලම් බැද දුන්හ. ඔය අතර සේවක සේවිකාවන්ගේ වංචල සහ නිශ්චල දේපල රාජසන්තක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කළේය. ශ්‍රී ලංකා ඉතිහාසයෙහි මතක ඇති කාලයක එවැනි නියෝග අසා නැත. සොච්චම් වැටුපක් උදෙසා ජීවිතය වියන සන්නාලියන්ට ආ නියෝගය “දේපල රාජසංතක” කිරීමය! මාධ්‍ය ඒ නියෝග අභිරුචියකින් වාර්තා කළහ.

ඇගලුම් සේවිකාවක් විසින් මෙවැනි ෆේස්බුක් සටහනක් තබා තිබුනේ ඔවුන්ට එල්ල වූ පීඩනය ගැනය.
“අපිව දැන් බස් එකකටවත් ගන්නෙ නැති තරමට අපිව පහත් කරල. අපේ එවුන්ගෙ හයියෙන්ම ගොඩ ගියපු කඩ කාරයො දැන් අපිව කඬේකටවත් ගන්නෙ නෑ. අපේ එවුන් මේක හිතල හදාගත්තෙ නෑ. අද මට වෙන්න පුලුවන්. හෙට උබට වෙන්නත් පුලුවන්. ගොඩක් ස්තුති උබල ගැන තෙරුම් කලාට. අයෙත් දවසක උබලට අපිව ඕන වෙයි.”

“දිවුලපිටියේ අම්මගෙයි දුවගෙයි කොරොනා නිසා 2000කට පීආර්සී”
රජයේ වෙබ් අඩවියක තිබුණේ එහෙමය.

එක්තරා ජාතික යැයි කියා ගන්නා පුවත්පතක ප්‍රාදේශීය මාධ්‍යවේදීයෙක් ලියා තිබූ ප්‍රවෘත්තියක වූයේ “ ගම්පහ ජාතික පාසැලක නියෝජ්‍ය විදුහල්පතිට කොරෝනා” කියාය. එහි කතෘ මාධ්‍ය ආචාරධර්ම උගන්වන මණ්ඩලයක ප්‍රමුඛ නිලධාරීයෙකි. එහෙත් වගේ වගක් නැතිව අර පුවත පලකොට තිබේ. එම පුවතට අනුව ඇයගේ සැමියාට ද කොරෝනා තිබී ඇත. ඒ පුවතට අනුව ආසාදිත නි. විදුහල්පතිනිය පාසැලටද පැමිණ ඇත.
නමුත් සත්‍ය වශයෙන්ම ඇයට කොරෝනා ආසාදනය වී නැත. ඇයගේ සැමියාට ද කොරෝනා ආසාදනය වී නැත. වෙනත් පරීක්ෂණයක් උදෙසා ඇය පෞද්ගලික රෝහලකින් පරීක්ෂණයක් සිදුකරගෙන ඇත. නමුත් ප්‍රා. මාධ්‍යකරුවන්ට එය “නියම කුණු ගොදුරකි”. මේ මෘග්ධ කටයුත්ත නිසා නියෝජ්‍ය විදුහල්පතිනියට වූ හානිය සුළුපටු නොවේ.

මෙහි බරපතලම තත්වය වන්නේ අදාල පුවත නිවැරදි කරන ලෙස ඉල්ලන්නට ඇයට හැකියාවක් නොමැති වීමය. ඇය එසේ ඉල්ලුවද එකී මාධ්‍ය විසින් එය ඉටු කරන්නේද නැත. අටෝරාසියක් හේතු පවසා ඒවා මඟ හැරීම සිරිතය. පිළිතුරු දීමේ අයිතිය ඒ මාධ්‍ය විසින්ම උල්ලංඝනය කොට තිබේ. ඒ කෙසේ වුවද රටට මාධ්‍ය ආචාරධර්ම උගන්වන්නේද ඔවුන්මය.

ඉහත සිද්ධි අධ්‍යයනය කිරිමේදී පෙනී යන කාරණයක් වන්නේ ලංකාව වැනි රටක කොරෝනා වසංගතය වැළදෙන්නෙකු යනු මහා අපරාධකාරයෙක්ගේ තත්ත්වයකට වැටෙන අයෙකු බවය. එමෙන්ම අදාළ පුද්ගලයා ‘කාන්තාවක්‘ නම් කොරෝනාවෙන් පසු ඇයට නැවතත් සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් කොරෝනා විකුණමින් මුදල් හම්බ කරන ජඩ මාධ්‍ය විසින් සකසා ඇති බවය.
මේ වනවිටත් බොහෝ ප්‍රභූ පවුල්වල සාමාජිකයින්ට කොරෝනා ආසාදනය වී තිබේ. ඇගලුම්කම්හලක අහිංසක යුවතියන් පිටුපස පන්නා “පොසිටිව්” ද කියා සෙවූ එකෙක් හෝ අර ප්‍රභූන් “පොසිටිව්”ද කියා සොයන්නේ නැත.

මධ්‍යතන යුගයේ මුලුමහත් යුරෝපයම මහාමාරිය රෝගය විසින් ගිල ගනු ලැබීය. ඇල්ජීරියාවේ ඔරාන් නගරය මහාමාරිය බිලිගත් අයුරු ඇල්බෙයා කැමූගේ ‘පිටස්තරයා’ තුලින් ඉදිරිපත් කරයි. මැරී වැටෙන මී කුණක් දකින ඔරාන් නගරයේ වෛද්‍යවරයා වූ ‘රියේ‘ තම නගරයට මහාමාරිය මාරයා කඩා වැදී ඇතිබව තහවුරුකර ගනී. තම ප්‍රියම්බිකාව පවා මහාමාරියට ගොදුරුව මරණමංචකයේ සිටිදී පවා රියේ වෛද්‍යවරයා ඈ වෙත නොගොස් ඔරාන් නගරය ආරක්ෂිත කලාපයක් කරන්නට වෙහෙසෙයි.

වෘත්තීමය වගකීම දෙවුර දරාගෙන නගරය බේරාගැනීමේ අප්‍රමාණ වෙහෙස අතරේ රියේට එරෙහිව අනේක බාධක එයි. නගරයෙන් එපිට සිටින තම හිතේෂීවන්තයින් මහාමාරිය මාරයා ගිල ගනිද්දී ඔවුන් හමුවීමට යාමට නගරයේ දහසක් දෙනා වෙහෙසෙයි. එහෙත් මාරාන්තික රෝගය නගරයට එනු වැළැක්වීමට වෛද්‍ය රියේ ගන්නා බරපතල තීන්දුව හේතුවෙන් නගරවාසීන්ට නගරයෙන් පිට වීමට ඉඩ නොලැබෙයි. පීඩනය දරාගත නොහැකි නාගරිකයෝ වෛද්‍යවරයාට එරෙහිව අවි ඔසවයි. පරිභව කරයි. පීඩා කරයි. ජීවකයා නොසෙලී සිටී. ඔහු නිළ නොලත් පාලකයෙකු වෙයි. පව් සමාකර නොගත්‘ නිසා මහාමාරියට මිනිසුන් ගොදුරු වූ බව කියන පූජකයින්ද එහි වෙයි. එහි එන ‘පනිලූ පියතුමා‘ වැන්නන් අදත් සමාජයේ සැරිසරයි. එහෙත් දේවස්ථානයේ දෙවියන්ට කිට්ටුවම සිටින පියතුමාටද අවසානයේ මහාමාරියා වැළදෙයි.

ඔය අතර පිටතින් එන පත්තරකාරයෙකු නැවත නගරයෙන් පිටවීමට උත්සාහ කරයි. එහෙත් ඔහුගේ අවසර පත පවා නොදෙන්නට තරම් වෛද්‍යවරයා දැඩි තීරණයක සිටියි. ඒ වැරදි පුවත් සමාජගත වෙතැයි සැකය නිසාවෙනි. මාධ්‍යවේදියාත් පසුව වෛද්‍යවරයාට සහය වෙයි. ව්‍යසනයක් පැමිණිවිට එහි වාසිය ගන්නට වෙහෙසෙන ආගමික හා දේශපාලන මාධ්‍ය කණ්ඩායම් වලට කැමූ පිටස්තරයා හරහා දැඩි උපහාසයක් ගෙන එයි.

කොරෝනා යනු වෛරසයක බලපෑමකින් සිදුවන රෝගයක් බැවින් එහි අක්මුල් සොයන්නට කාන්තාවන් ආ ගිය, කෑ බී, නිදාගත් තැන් සෙවීම පිටුපසින් නොදුවා වසංගතයකින් ආරක්ෂා වන ආකාරය ගැන සමාජය දැනුවත් කිරීම මාධ්‍යයක වගකීම බව, මාධ්‍ය සදාචාරය උගන්වන අය ‘පිටස්තරයාගෙන්’ හෝ උගෙන ගන්නා දිනක් වනතුරු පුරවැසි අපිට බලා සිටින්නට සිදුවනු ඇත.

එසේම එවන් දිනක් පැමිණෙනතුරු ඔවුන්ගේ මෙම ජඩ මාධ්‍ය රංගනයන් නැරඹීමට අපට සිදුවනු ඇති බවද නොඅනුමානය.

© රංජිත් කුමාර සමරකෝන්

About The Author