2022 අගෝස්තු 17

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමරිකාවේ වර්ණවාදය

“ඔබ කල්ලෙක් නම්, ආපසු හැරී යන්න

ඔබ දුඹුරු නම්, දොරෙන් පිටත සිටින්න

ඔබ කහ පැහැති නම්, ඔබට මෘදු ගති ඇත

ඔබ සුදු නම්, ඉතා හොඳ ය.”

මෙය වූ කලි ඇමරිකාවේ වෙසෙන ඇතැම් සුදු ජාතික ළමයින් අතර ජනප්‍රිය වූ කවියකි. මෙයින් පැහැදිලි ව ම කියවෙන්නේ කුමක් ගැනදැයි අනුමාන කළ හැකි ද? ඔව්, ඒ වර්ණවාදය යි. අද වන විට ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් ප්‍රාන්ත අසූවක හා ජර්මනිය, ඉතාලිය ආදී වෙනත් රටවල් බොහෝ ගණනක ද ගිනි ඇවිළී ඇත්තේ මේ කියනා වර්ණවාදය නිසාවෙනි. ඊට ආසන්නත ම හේතුව වී ඇත්තේ දැනට සති දෙකකට පෙර සිදු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මිය යාම වුවත්, අදාළ ගැටලුවේ මුල් දහහත් වන ශතවර්ෂය දක්වා දිව යයි.

දැනට වසර තුන්සියයකට පමණ පෙර මිනිස් වහල් වෙළෙඳාම ලොව පුරා ව්‍යාප්ත ව පැවතිණි. වහලුන් මිළ දී ගත් රටවල් අතරින් මුල් තැන සිටියේ ඇමරිකාව යි. ඒ, ආක්‍රමණය කොට සියැට්ල් ඇතුළු රතු ඉන්දියානුවන් බොහොමයක් මරා දමා අත්පත් කර ගත් දේශයේ වටිනාකම් සූරා ගැනීමට උත්සාහ කළ නිසාවෙනි. පතල් කැණීම ඇතුළු බොහොමයක් බර වැඩ ඔවුන් ඉටු කරවා ගත්තේ වහලුන්ගෙනි. 

මෙසේ ගෙන එන ලද වහලුන්ගෙන් සියයට අනූනවයක් ම කළු ජාතිකයෝ වූහ. එනම්, අප්‍රිකානු මහද්වීපයට අයත් වූහ. සාගරය හරහා ගෙන එන ලද කළු ජාතික පිරිමින්, කාන්තාවන් පමණක් නොව දරුවන් ද ප්‍රසිද්ධියේ වෙන්දේසි කරනු ලැබිණි. එසේ කිසියම් සුදු පවුලකට අයිති වූ කළු ජාතිකයින් හට දවස උදා වූ වේලේ පටන් පැය ගණනාවක් එක දිගට සිදු කරන්නා වූ සේවය වෙනුවෙන් වැටුපක් තබා, මූලික අවශ්‍යතා සපුරා ගැනීමට උපකාරයක්වත් ලැබුණේ නැති. සුළු වරදකට වුව ද ඔවුහු බොහෝ පහර ලදහ. එරට සිටි සියලු කළු ජාතිකයින් වහලුන් වූ අතර, සියලු වහලුන්ගේ තත්ත්වය ඉතා ශෝචනීය විය. මෙම වහල්භාවය වසර ගණනාවක් පුරා පැවතිණි. පසු කලෙක ජනාධිපති ධූරයට පත් වූ ඒබ්‍රහම් ලින්කන් විසින් මෙම වෙළෙඳාම සපුරා තහනම් කරනු ලැබුවේ ය. එහෙත් අදටත් බොහෝ සුදු ජාතිකයින් හට කළු හම ඇත්තන් යනු සිය වහලුන් ය. වර්ණවාදය හරහා පැන නැගී ඇති බොහෝ ගැටලුවලට හේතුව එයයි.

අනෙක් පසින් බැලූ විට කළු ජාතිකයින්ගේ මානසික තත්ත්වයේ ද වැඩි වෙනසක් ඇති වී තිබෙන බවක් නොපෙනේ. ඔවුන්ගේ සිතිවිලි අදටත් පවතින්නේ වහල් මානසිකත්වයේ ය. ඔවුන් හැම විට ම සිතනුයේ සුදු ජාතිකයින් තම වර්ගය පහත් කොට සලකන බව ය. එහෙයින් කෙනෙකු කළු හම ඇත්තෙකු දෙස ඔරවා බැලුවත්, එය ද තමාට සුදු ජාතිකයින්ගෙන් වන නිග්‍රහයේ කොටසක් ලෙස කළු හම ඇත්තෝ සලකති. කළු ජාතිකයෙකුට එරෙහි ව ගනු ලබන කවර ආකාරයේ ක්‍රියාමාර්ගයක් වුව ද, අඬන්නට සිටිනා මිනිසෙකුගේ ඇසට ඇඟිල්ලෙන් ඇනීමක් බවට පත් වන්නේ අදාළ වහල් මානසිකත්වයේ ප්‍රතිඵලයක් වශයෙනි.

වහල්භාවය නොමැති ව වුවත් පෙර දී කළු ජාතිකයින් හට බොහෝ සීමා පැනවී තිබිණි. ඔවුනට කිසිසේත් රාජ්‍ය පාලනයට සම්බන්ධ විය නොහැකි විය. ඒ තබා, කළු හමට ම වෙන් වූ ප්‍රදේශ හෙවත් කොලනි පවා නම් කොට තිබිණි. ඔවුන් එම ප්‍රදේශවල පමණක් ජීවත්විය යුතු වූ අතර සුදු  ජාතිකයින් වෙසෙන බිම්වලට පැමිණීම තහනම් විය. බොහෝ අලංකාර කඩ සාප්පු කළු ජාතිකයින්ට වැසිණි. ඔවුනට කළ හැකිවූයේ “වින්ඩෝ ෂොපින්” හෙවත් ජනෙල් තුළින් බලා සතුටු වීම පමණකි. පොදු ප්‍රවාහන සේවය පිළිබඳ සැලකීමේ දී ද ඇතැම් බස්රථවලට ඔවුනට නැඟීම තහනම් විය. විනෝද උද්‍යාන, සමාජ ශාලා ආදිය ද කළු හම වෙනුවෙන් වසා තැබිණි. කළු හම ඇති පිරිමින්ටත් වඩා කාන්තාවන්ගේ තත්ත්වය දුක්ඛදායක විය. ඔවුනට සුදු හම ඇත්තන්ගේ ගෞරවයක් කිසිදු විටෙක ලැබුණේ නැත. “ලැන්ග්ස්ටන් හියු”, “මාරිටා ගෝල්ඩන්ට්” වැන්නවුන්ගේ නිර්මාණ තුළ මෙම පහත්කොට සැලකීම පිළිබඳ ඉතා තාත්ත්වික ව ලියවී තිබේ. ජැමෙයිකානු ජාතික “බොබ් මාර්ලේ” සිය ගීත තුළින් දැඩි ලෙස පෙන්වා දීමට උත්සාහ ගත්තේ ද වර්ණවාදයේ ආදීනව යි.

සැබවින් ම කියතොත් සුදු ජාතිකයින්ගේ සිත තුළ කළු හම පිළිබඳ තිබුණේ පිළිකුලකි. එසේ ම ඔවුන් තමන්ට වඩා අපිරිසිඳු බවත්, කිසිදු විටෙක නීති පිළිපැදීමට සමත් නොවන බවත්, ශිෂ්ට සමාජය ඉදිරියේ වැදගත් ලෙස හැසිරීමට නොදන්නා බවත් පවසමින් සුදු ජාතිකයෝ චෝදනා කළහ. දරිද්‍රතාව හේතුවෙන් කළු ජාතිකයෝ නීතිවිරෝධී ව මුදල් සෙවීමට පෙළඹී සිටියහ. එබැවින් යම් ස්ථානයක සොරකමක්, වංචාවක්, මංකොල්ලකෑමක්, මිනීමැරුමක් ආදී කුමන ආකාරයක වරදක් සිදු වී තිබුණ ද, එතැන බොහෝ විට කළු හම ඇත්තෙකු සිටින බව සුදු ජාතිකයින්ගේ අදහස විය. ඔවුන් මෙම කළු සම වෙන් කර ගත්තේ කෙසේද යන වග “මාරිටා ගෝල්ඩන්ට්” සිය “ඩෝන්ට් ප්ලේ ඉන් ද සන්” (2004) කෘතියේ දක්වා ඇත. 

“අප සාමාන්‍යයෙන් ‘බ්‍රවුන් පේපර්’ යනුවෙනු හඳුන්වන කඩදාසි බෑගය යම් පුද්ගලයෙකුගේ අත මත තබා බැලූ විට, එම අත බෑගයට වඩා තද පැහැති නම්, ඔහු ශිෂ්ට සමාජයට වද්දා ගත නොහැකි පුද්ගලයෙක් වේ.”

කලක් ගත වන විට සිය කළු සමට කිසිදු වටිනාකමක් නොමැති බවත්, එය වෙනස් කර ගත යුතු බවත් කළු ජාතිකයෝ තීරණය කළහ. තව ද, ඒ වන විට ඔවුන්ගේ සිත් තුළ සිය හමේ වර්ණය පිළිබඳ යම්කිසි ආකාරයක හීනමානයක් ද තිබූ බව පෙනේ. එබැවින් ඔවුහු හමේ තද පැහැය මදක් හෝ අඩු කර ගැනීම පිණිස නොයෙක් ක්‍රියාපිළිවෙත් අනුගමනය කිරීමට පටන් ගත්හ. ඇතැමෙක් තම දරුවන් මෙම අසාධාරණයෙන් ගලවනු පිණිස සුදු ජාතික කාන්තාවක හෝ පිරිමියෙකු විවාහ කර ගත්හ. එවිට ඊළඟ පරපුර මදක් ලා පැහැති සම සහිත වූහ. ඇතැම්හු නොයෙක් බෙහෙත් වර්ග බීමට ගත්හ. තවත් සමහරෙක් භයානක ශල්‍යකර්මවලට ලක් වීමට පවා නිර්භය වූහ. මෙලෙස කළු ජාතිකයෙකු ව ඉපදී, පසු ව සුදු හම ඇත්තෙකු බවට පත් වූ ප්‍රසිද්ධ චරිතයක් වන්නේ මයිකල් ජැක්සන් ය. එහෙත්, සිය අනන්‍යතාව එලෙසින් ම පවත්වා ගනිමින් වර්ණවාදයට එරෙහි ව ඉදිරියට යාමට “බොබ් මාර්ලේ”, “ලයනල් රිචී”, “එකෝන්”, “මොහොමඩ් අලි” වැන්නෝ සමත් වූහ. 

සුදු ඇත්තන්ගෙන් කළු හමට සිදු වූ මදිපුංචිකම්වලට විරෝධය දැක්වීම පිණිස කළු ජාතිකයින් සංවිධානය වන්නට පටන් ගත්තේ 1920 වර්ෂයේ පමණ සිට ය. එහි දී පෙරට පැමිණියේ “ෆ්‍රාන්ස් බොවාස්”, “රූත් බෙනඩික්ට්”, “එලිනෝර් රූස්වෙල්ට්” වැන්නවුන් ය. පසුකාලීන ව කළු ජාතිකයින් හට ඡන්දය ඉල්ලීමට අවසර ලැබුණු අතර 1957 දී මන්ත්‍රීවරයෙකු බවට පත් වූ “මාර්ටින් ලූතර් කිං” ඔවුන්ගේ විමුක්තිය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි විශිෂ්ටයෙක් විය. ඔහුගේ පසුපසින් සියලු කළු ජාතිකයින් ගමන් කළ බව පෙනේ. එහෙත් 1968 දී, එකල ජනාධිපති ව සිටි “රිචර්ඩ් නික්සන්”ගේ අනුදැනුම සහිත ව ඔහු මරා දැමිණි. කිංගේ මරණයෙන් පසු වුව ද “මැල්කම් එක්ස්” වැනි මන්ත්‍රීවරු මෙය ඉදිරියට ගෙන යාමට උත්සාහ කළහ. එහි දිගුවක් ලෙස 2009 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා ලෙස “බරක් ඔබාමා” තේරී පත් විය.

වැඩි දෙනෙකුගේ අදහස වූයේ ඔබාමාගේ නායකත්වය යටතේ වර්ණවාදය සහමුලින් ම තුරන් වනු ඇති බව යි. එහෙත් එය සිහිනයක් විය. 2014 වසරේ නිව්යෝර්ක් නගරයේ දී “එරික් ගාර්නර්” නමැති කළු ජාතිකයා ගෙල සිරකොට මරා දැමුණේ ඔහුගේ ආණ්ඩුව යටතේ තිබූ පොලිස් නිළධාරීන් මුල් වීමෙනි. කළු ජාතිකයින් වෙනුවෙන් හඬ නැඟීම පිණිස “බ්ලැක් ලයිව්ස් මැටර් මූව්මන්ට්” නමැති සංවිධානය ගොඩනැඟුණේ ද එකල ය.

ෆ්ලොයිඩ් හරහා ගොඩ නැඟී ඇති වර්තමාන තත්ත්වය පිළිබඳ සැලකිමේ දී පෙනී යන කරුණ වන්නේ ඔහු සියයට සියයක් ම නිවැරදි යැයි අදාළ උද්ඝෝෂකයින් ද නොසිතන බව යි. ඔහු යම් වරදක් සිදු කළ බව මෙන් ම, ෆ්ලොයිඩ් යනු කොවිඩ් 19 ආසාදිතයෙකු බව ද මේ වන විට තහවුරු වී හමාර ය. වැඩිදුරටත් සොයා බලන කල පෙනී යන තවත් කරුණක් වන්නේ මෙම උද්ඝෝෂකයින් අතර කළු හම ඇත්තන් පමණක් නොව අමිශ්‍ර සුදු ජාතිකයින් හා ආසියාතිකයින් ද සිටින බව ය. එසේ නම් ඔවුන් සියලුදෙනාගේ බලාපොරොත්තුව කුමක් ද? සැබවින් ම උද්ඝෝෂකයින් අසන්නේ ” ෆ්ලොයිඩ් කළ වැරදි නිසා ඔහු මරා දැමිය යුතු ද?” යන ප්‍රශ්නය යි. තව ද, අදාළ පොලිස් නිළධාරියා හා ෆ්ලොයිඩ් මෙයට පෙර එක ම ආයතනයක සේවය කළ බව හෙළි වී තිබීමෙන්, මෙම මරණය පිටුපස පෞද්ගලික කෝන්තරයක් තිබේ ද? යන සැකය පහළ වී තිබේ. මෙය වර්ණවාදය තුළ බල ගැන්වෙන මානව හිමිකම් පිළිබඳ ගැටලුවක් බවත්, කළු හම සහිත ව ඉපදීම යනු මිය යාමට හේතුවක් නොවන බවත් සියලුදෙනාගේ වැටහීම ය.

එහෙත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් මේ පිළිබඳ මහත් උදාසීන ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන බව පෙනේ. ඔහු ස්වභාවයෙන් ම ජාතිවාදියෙකු බව ප්‍රසිද්ධ රහසකි. එසේ තිබියෙදීත් මේ වන විට ට්‍රම්ප් සිය ධවල මන්දිරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පමණක් හමුදාව යොදවා තිබේ. පසුගිය දිනෙක ඔහු උද්ඝෝෂකයින්ට බියෙන් බංකරයක සැඟවී සිටි බව ද කියවේ. මේ වන විට අතිවිශාල පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් ව ඇති අතර, ඇතැම් නිළධාරීන් කළු සුදු හෝ තරුණ මහලු බව නොබලා උද්ඝෝෂකයින්ට පහර දෙන බවට සාක්ෂි ලැබී ඇත. එසේ ම අද වන විට නිව්යෝර්ක් පොලිසියට අයත් නිළධාරීන්ගෙන් හැටකට ආසන්න සංඛ්‍යාවක් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. බරක් ඔබාමා, පැට්‍රික් ශනහන් ඇතුළු පෙර බලවත් ව සිටි නිළධාරීන් පමණක් නොව වොෂින්ටනයේ කතෝලික අගරදගුරුතුමා පවා ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳ අප්‍රසාදය පළ කරනු දක්නට ලැබේ. ට්‍රම්ප් හට සිය වරද දැනවීම පිණිස වොෂින්ටනයේ නගරාධිපතිනි මුරියල් බවුසර්, ධවල මන්දිරයෙන් පිටත පාර පුරා “බ්ලැක් ලයිව්ස් මැටර් ප්ලාසා” යනුවෙන් කහ තීන්තෙන් ලිවීමට කටයුතු කර තිබේ. 

මිය ගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවමංගල්‍ය උත්සවය අඟහරුවාදා දිනයේ දී පැවැත්වූ හෙයින් තවත් දින කිහිපයක් ගත වන විට උද්ඝෝෂණ තත්ත්වය මඳින් මඳ පහ ව යනු ඇත. එහෙත් වර්ණවාදය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති ආකල්පමය ගැටලුව වෙනස් වන්නේ කවදා ද?

ශ්‍රීනි ලංකා ජයකොඩි