Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව ආයතන සංග්‍රහය උල්ලංඝනය කරලා – වෘත්තීය සමිති 32 ක් විරෝධතාවයක

රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද අභ්‍යාසලාභී උපාධිධාරීන්ට මෙතෙක් ලබාදුන් වැඩ කරන දින අසු හතරේ ප්‍රසූත නිවාඩු කාලය සති හයක් දක්වා අඩු කිරීමට විරෝධය පළ කරමින් රාජ්‍ය සංවිධාන හා වෘත්තීය සමිති තිස්දෙකක් ඒකාබද්ධව අත්සන් කරන ලද ප්‍රකාශයක් ජනාධිපතිවරයාට ලබාදී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූයේ තරුණ මවුවරුන්ට රැකියාවෙන් තාවකාලිකව ඉවත්වී වී යළි රැකියාවට එක්වීමට ක්‍රමවේදයක් සකස් කරමින්, කාන්තාවනට අභිමානවත් ලෙස ජීවත් වීමට වටපිටාවක් නිර්මාණය කරන බව පවසමින් වුවත්, ඔහුගේම පාලන කාලයේදී මවුවරුන්ට අසාධාරණයක් සිදුකිරීම සදාචාරසම්පන්න නොවන බව ඔවුහු පවසති.

එම එකමුතුවේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ පැවසුවේ මෙම ප්‍රසූත නිවාඩු කප්පාදුව සිදුනොකොට වැඩ කරන දින අසූහතරක කාලය නැවත ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ පවුල් සෞඛ්‍ය සේවක සංගමය, ලංකා ගුරු සේවා සංගමය සහ ලංකා බැංකු සේවක සංගමය ඇතුළු සංවිධාන ගණනාවක් මෙම ප්‍රකාශයට අත්සන් තබා ඇත. ඔවුන් ඉල්ලා සිටින්නේ අසාධාරණ ලෙස සිදුකර ඇති මෙම ප්‍රසූත නිවාඩු කප්පාදුව සිදුනොකරන ලෙසයි.

මෙලෙස ප්‍රසූත නිවාඩු කප්පාදුව සිදුකර ඇත්තේ මෙම වසරේ සැප්තැම්බර් මස රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීනියන්ගේය. එම මාසයේදී උපාධිධාරීන් 50000කට පිරිසක් බඳවා ගෙන ඇති අතර, ඉන් 38000කට වැඩි පිරිසක් උපාධිධාරිනියන්ය.

ධම්මික මුණසිංහ මහතා පැවසුවේ ආයතන සංග්‍රහයේ දහඅට වැනි වගන්තියේ ප්‍රසූත නිවාඩු යටතේ දක්වා ඇත්තේ ස්ථිර තාවකාලික, අනියම් හෝ අභ්‍යාසලාභී නිලධාරිනියන්ට මෙම වගන්තිය යටතේ ප්‍රසූත නිවාඩු හිමිවේ යනුවෙන් සහ සෑම නිලධාරිනියකම සෑම සජීවී දරු උපතක් සඳහාම වැඩ කරන දින 84ක කාලයක් සම්පූර්ණ වැටුප් සහිත නිවාඩුවක් හිමිවේ යනුවෙන් බවයි. නමුත් වර්තමාන රජය මෙම නිලධාරිනියන්ගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව ද හෙතෙම කීවේය.

© අශිකා ජයවීර – අරුණ පුවත් පත

About The Author