Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුවේ බොරුව නිසා ලංකාවට MCC ප්‍රදානය අහිමි වුණා – විපක්ෂයෙන් චෝදනා

ආණ්ඩුවේ ප්‍රතිපත්ති විරහිත සහ රැවටිලි කාරී වැඩ පිළිවෙල හේතුවෙන් අමෙරිකාව විසින් මෙරටට ප්‍රදානය කිරීමට නියමිතව තිබු එම්.සී.සී. ප්‍රදානය රටට අහිමි වූ බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (17 වැනිදා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

‘‘අපිට දැනගන්න ලැබුණා එම්.සී.සී. ගිවිසුමෙන් ඇමරිකාව ශ්‍රී ලංකාව ඉවත් කරලා කියලා. විවිධ රටවල් ගණනාවක් එම වැඩසටහනට එකතු කරන ගමන් ශ්‍රී ලංකාව විතරක් මේ එම්.සී.සී. ගිවිසුමෙන් ඉවත් කිරීමට එම්.සී.සී. ආයතනය තීරණය කරලා තියෙනවා. පසුගිය මැතිවරණයට කලිනුත් මේ ආණ්ඩුව නියෝජනය කරන බොහෝ පිරිස් එම්.සී.සී. ගිවිසුමට එරෙහිව විවිධ මත ප්‍රකාශ කළා. විවිධ චෝදනා කළා. ජනතාව නොමග යැව්වා. අන්තිමට එහි ප්‍රතිඵලයක් ලෙස එම්.සී.සී. ගිවිසුම සංශෝධනය කරලා හරි මේ රටට ලබාගන්න තිබුණු අවස්ථාව නැතිකර දැම්මා.

උදය ගම්මන්පිල අමාත්‍යවරයා අන්තිමට එම්.සී.සී. ගිවිසුමේ සීයට හැත්තෑවක් විතර හොඳයි කිව්වා. එදා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන කොට ඇමරිකාවේ ජනාධිපති ජෝර්ජ් බුශ් මහතාට ලියුමක් ලියලත් මේ එම්.සී.සී. ගිවිසුම යටතේ ලංකාවට උදව් කරන්න කියලා කිව්වා.

අන්තිමට නටලා නටලා ලංකාවට ප්‍රදානයක් ලබාගන්න තිබුණු අවස්ථාව නැතිකරලා දැම්මා. එම්.සී.සී. ආයතනය දැන් කියලා තියෙනවා ඉන්දුනීසියාව, ඉතියෝපියාව, කෙන්යාව හා ටියුනීසියාව වැනි රටවලට මේ වැඩසටහන අලුතින් ලබාදෙනවා කියලා.

අපේ තරුණ පරපුර නොමග යවන්නේ නැතුව ලෝකයෙන් අවශ්‍ය සහාය ලබාගෙන මේ රට සංවර්ධනය කරන්නේ කොහොමද කියන අභියෝගය මැදයි අපි අද ඉන්නේ. ඒ නිසා දේශපාලන සටන් පාඨවලින් මේ රටේ ආර්ථිකය, රටේ අනාගතය විනාශ කරන්න එපා කියලයි අපි කියන්නේ.

ඒ වගේම පත්තරේ තියෙනවා මහර බන්ධනාගාර ගැටුමින් මියගිය අය මැරුණේ වෙඩි තැබීමකින් කියලා.

එදා ලොහාන් රත්වත්තේ ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් කියනවා, මහර බන්ධනාගාර සිදුවීමේදී මියගිය සියලු දෙනාම රැඳවියන් අතර ඇතිවුණු ගැටුමකින් තමයි මියගිහිල්ලා තියෙන්නේ කියලා.

මේක බරපතළ ප්‍රශ්නයක්. මේ ගැන පරීක්ෂණ කරන්න කලින් ලොහාන් රත්වත්තේ ඇමැතිවරයා පාර්ලිමේන්තුව නොමග යැව්වා.

ඒ වගේ මුළු රටම නොමග යවන්නයි උත්සාහ කළේ. ඒ වගේ ප්‍රකාශයක් කිරීම නිසා එතුමා ඉල්ලා අස්විය යුතුයි. වැරැදි වහගන්න බොරු කියන ආණ්ඩුවක් විදිහට මහර සිද්ධිය තුළින් අනාවරණය වුණා.

මිනිස්සුන්ට දැන් හිතාගන්න බැහැ මොන පැණියද බොන්නේ කියලා. බොනවද එන්නත එනකම් ඉන්නවද කියලා හිතාගන්න බැහැ. අපි මේ ගැන මොනවා හරි කිව්වහම කියනවා විපක්ෂය දේශීය හෙළ වෙදකමට විරුද්ධයි කියලා.’’ යනුවෙන්ද ප්‍රකාශ කරන ලදී.